×

කැස්පියන් මුහුද 5 ට බෙදෙයි!

දැන් එය විලක් නොවේ, මුහුදක් ද නොවේ!


කැස්පියන් මුහුදේ සම්පත් බෙදා ගැනීම පිළිබඳ දශක 2 ක් මුළුල්ලේ පැවති විසම්මුතිය අවසන් කරමින් අසල්වැසි රටවල් 5 විසින් ඒවා බෙදාගැනීම පිළිබඳ සම්මුතියකට එළඹ තිබේ. Convention on the Legal Status of the Caspian Sea

getty images

‍කැසිපියන් මුහුද රටවල් 5 න් වට වී ඇති අයුරු | getty images

ඒ අනුව රුසියාව, ඉරානය, අසර්බයිජානය, කසාක්ස්ථානය සහ තුර්කිමෙනිස්ථානය (ටර්කිමෙනිස්ථානය) යන රටවල් විසින් ඒවා බෙදාගැනීම පිළිබඳ එකඟතාවයකට එළඹුණේය.

‘කැසිපියන් මුහුදේ නෛතික තත්වය පිළිබඳ සම්මුතිය‘ (Convention on the Legal Status of the Caspian Sea) යනුවෙන් හැඳින්වෙන මෙම අන්තර් රාජ්‍ය එකඟතාවයට ඊයේ (අගෝස්තු 12) දින කසාක්ස්ථානයේ අකතාවු නගරයේදී ඒ අනුව අත්සන් තබනු ලැබීය.

මෙම සම්මුතියෙන් ප්‍රධාන කරුණු දෙකක් ආවරණය වේ.

1. කැසිපියන් මුහුදේ සම්පත් බෙදීයාම සිදුවන ආකාරය පිළිබඳ සූත්‍රය
2. ලෝකයේ වෙනත් රාජ්‍යයන්ට කැසිපියන් මුහුදේ හමුදා කටයුතු තහනම් බව

ලෝකයේ විශාලතම අභ්‍යන්තර ජලාශය වන්නේ කැසිපියන් මුහුදයි. එය අයිති කාටද යන්න පිළිබඳ රටවල් ගණනාවක් අතර නොසන්සුන්කාරී බවක් පැවතියේය.

කැසිපියන් මුහුද ඇත්තටම අයිති කාටද?

BBC

caspian_map_| BBC

කැසිපියන් මුහුද අයිති, කැසිපියන් මුහුදටම බව පැවසීම වඩා නිවැරදි ය. නමුත් සිව් දිගින්ම ගොඩබිමෙන් වට වූ, එනිසාම විලක් ලෙස ද සැලකෙන මේ ව.කි. 370,000 ක් (වර්ග සැතපුම් 143,000) ක ජල තීරය වෙත මිනිසාගේ කෑදර බැලුම් හෙළීමට දිගු අතීතයක් තිබේ.

සෝවියට් සංගමය (USSR) 90 දශකයේදී විසුරුවා හරින තෙක්ම සෝවියට් සංගමය කළේ එය තමන් සහ ඉරානය අතර බෙදා ගැනීමයි.

නමුත් ඉන්පසුව සෝවියට් සංගමයේ ලොකුම බලවතා වන වත්මන් රුසියාව පවා පසුව පැවසුවේ එය ජලාශයක් නොව ‘මුහුද‘ක් බව ය. ඒ අනුව විටින් විට රුසියාව විසින් එයට අයිතිය කියා පෑම සහ අයිතිය අත්හැරීම දැකගත හැකි විය.

විලක් හෝ මුහුදක් වීමේ වෙනස

කැසිපියන් මුහුද විලක් (ජලාශයක්) නොව ‘මුහුදක්‘ ලෙසම සලකන්නේ නම් එය පාලනය වන්නේ අන්තර්ජාතික සාගර නීතිය මගිනි. එම නීතියේ නිල නාමය United Nations Law of the Sea හෙවත් ‘එක්සත් ජාතීන්ගේ සාගර නීතිය‘ යි.

එම නීතිය මගින් දක්වන්නේ ලෝකයේ රටවල් සාගර සහ මුහුදු භාවිතා කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳ සීමාවන් ය. එම මුහුද/සාගරය තුළ තිබෙන ස්වභාවික සම්පත්වල කළමනාකරණය, දේශභූමීය අයිතිය සහ පරිසරය එහි කොටස් ය. එසේම සමුද්‍රාශ්‍රිත තත්වය ද එයට අයත් වන අතර, එහි අදහස, සෙසු රටවලට ද එහි සම්පත්වලට හිමිකම් කීමට හැකි බවයි.

නමුත් කැසිපියන් මුහුද විලක් හෝ ජලාශයක් ලෙස සලකන්නේ නම් තත්වය වෙනස් වේ. එවිට එය, කැසිපියන් මුහුද වටකරගෙන සිටින රටවල් 5 අතර බෙදී යා යුතු වෙයි. එහිදී යම් රටකට ලැබෙන්නේ කුමක්ද, යම් රටක් විසින් අත්හළ යුතු අයිතිය කුමක්ද යන්න සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතුය. උදාහරණයක් වශයෙන් අසර්බයිජානය සහ කසකස්ථානය වැනි ඇතැම් රටවල් මුල් කාලයේ කැසිපියන් මුහුදේ විශාල කොටසටක අයිතිය කියූ අතර, පසුව වෙනත් රාජ්‍යයන්ගේ විරෝධය නිසා ඔවුන්ගේ පාලනය සීමා සහිත විය.

ඉරිදා එළඹුණු එකඟතාවය මගින් මෙවැනි ආරවුල් නිරාකරණය කර ගත හැක.

රුසියාව විසින් හෙළිකර ඇති ආකාරයට මෙම නව එකඟතාවයට අනුව කැසිපියන් මුහුද ‘විලක් නොවේ. මුහුදක් ද නොවේ“. එයට හේතුව එයට පිරිනමා තිබෙන්නේ ‘විශේෂ නෛතික තත්වයක්‘ (“special legal status”) වන නිසා ය.

මේ අනුව කැසිපියන් මුහුදේ ජල තලය පමණක් මුහුදක් ලෙස සැලකීමට නියමිත ය. එහිදී සියලුම දේශසීමා ජලතලයන් හිදී බලපවත්වන සාගර නීතිය කැසිපියන් ජල තලය සඳහා අදාළ වේ. නමුත් කැසිපියන් මුහුදු පත්ල අති විශේෂ ය. එය ස්වභාවික සම්පත්වලින් අනූන ය. එ් අනුව මුහුදු පත්ලේ සීමාවන් පමණක් මේ රටවල් 5 අතර බෙදා ගැනීමට නියමිත අතර, ඒ සඳහා ඉදිරියේදි සාකච්ඡා පැවැත්වීමට නියමිත ය.

මේ අනුව මෙම නවතම සම්මුතිය මගින් කැසිපියන් මුහුදේ අයිතිය කාට, කෙසේ ලැබේද යන්න නිරාකරණය වනු ඇත. එය ඉතා වැදගත් වන්නේ පහත හේතු නිසා ය.

කැසිපියන් මුහුදු පත්ල තෙල් සහ වායුවලින් ඉතා පොහොසත් ය.

getty images

සෝවියට් තෙල් අණසක| getty images

අති දැවැන්ත තෙල් සහ වායු සංචිත කැසිපියන් මුහුදු පත්ලේ බොර තෙල් බැරල් බිලියන 500 ක් සහ ස්වභාවික වායු කියුබික් අඩි ට්‍රිලින 300 ක් පමණ එහි ඇති බව පැවසේ.

මීට පෙර එදිරිවාදී රටවල් විසින් කැසිපියන් මුහුදේ තිබෙන මෙම තෙල් සහ වායු සම්පතට ඇස ගසාගෙන නෞකා රඳවා තබාගැනීම් ගැන ද වාර්තා විය. 1990 දශකයේදී අන්තර්ජාතික තෙල් සමාගම් කැසිපියන් මුහුද වෙත ලහි ලහියේ පැමිණ තිබූ නමුත් පසුව ඔවුන්ට එම කලාපයෙන් ඉවත් වීමට සිදුවිය. එසේම කැසිපියන් මුහුද හරහා ස්වභාවික වායුව ගෙන යන නළයක් ඉදිකිරීමට ද මීට පෙර යෝජනා වී තිබිණි. ඉදිරියේදී මේ කාරණා විසම්මුතියකින් තොරව සලකා බැලීමට හැකි වෙතැයි පැවසේ.

කේවියර් (caviar) හෙවත් ‘කැවියර්‘ නමින් හඳුන්වන මිල අධික – කළුපාට මාළු බිත්තරවලට කැසිපියන් මුහුද රජ දහනකි.

කැසිපියන් මුහුදේ විවිධ විශේෂවලට අයත් ස්ට්‍රර්ජන් මසුන් වෙසෙති. අධි මිලැති කේවියර් රස බොජුන් තැනෙන්නේ උන්ගේ බිත්තරවලිනි. ලෝකයේ කේවියර් වෙළඳපොළෙන් 80%-90%කටම වග කියන්නේ කැසිපියන් මුහුද බව පැවසේ. නමුත් ගතවූ දශක කිහිපය තුළ එය සපයා ගැනීමේ දුෂ්කරතා මතු වූ නිසා මෙම තත්වය පහළ බැස තිබිණි.

එය ස්ට්‍රර්ජන් මසුන්ගේ රජ දහනකි | Getty Images

එය ස්ට්‍රර්ජන් මසුන්ගේ රජ දහනකි | Getty Images

මේ අතර 2002 වසරේදී කළ පර්යේෂණයකින් හෙළි වූයේ කැසිපියන් මුහුදේ ජීවත් වන ස්ට්‍රර්ජන් මසුන්ගේ ගහණය වේගයෙන් අතුරුදහන් වෙමින් යන බව ය. එසේම කැවියර් සාදන පරිණත මසුන් වෙනුවට අසාමාන්‍ය ආකාරයකට, ළාබාල මත්ස්‍ය ගහණයේ ඉහළ යාමක් ද වාර්තා විය. ඒ අනුව ස්ට්‍රර්ජන් මසුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් සීමා ගණනාවක් පැනවුණු අතර, ඉරිදා එළඹුණු එකඟතාවය මගින් ඒ ඒ රටවලට ‘ජාතික කෝටා‘ ක්‍රමයක් මේ සම්බන්ධයෙන් හඳුන්වා දීමට නියමිත ය.

පරිසර දූෂණය ඉහළ කලාපයක්

බොර තෙල් සහ වෙනත් කර්මාන්ත හේතුවෙන් කැසිපියන් මුහුද ආශ්‍රිත කලාපය පරිසර දූෂණයෙන් ඉහළ කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ. පෙර කී ස්ට්‍රර්ජන් මසුන් වඳවී යාමට එක් හේතුවක් ලෙස ‘තෙල් දූෂණය‘ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ද හඳුනාගෙන තිබිණි. ස්ට්‍රර්ජන් මසුන් අසර්බයිජානයේ අබ්ෂෙරොන් අර්ධද්වීපය අසල අති දූෂිත ජල තීරය හරහා පිහිනා යාමේදී මරණයට පත් වන බව ද සොයාගැනුණි. මෙම කලාපයේ උන්ට ආහාර සහ ඔක්සිජන් ලැබෙනුයේ ඉතා අඩුවෙනි.

මේ අතර ඉරානයෙන් කැසිපියන් මුහුදට මුදා හරින අති දැවැන්ත අපද්‍රව්‍ය තොගය නිසා කැසිපියන් මුහුදට බැක්ටීරියා ආසාදයනයක් වැළඳී ඇති බව ද පසුගියදා සොයා ගැනුණි.

කැසිපියන් මුහුදේ තෙල් දූෂණය | getty images

කැසිපියන් මුහුදේ තෙල් දූෂණය | getty images

මේ දක්වා කැසිපියන් කලාපයේ පරිසරය රැකීමට විශාල බාධාවක් ලෙස ද පැවතියේ විශාල තෙල් ඉහිරීමක් හෝ වෙනත් පරිසර දූෂණ සිදුවීමක දී වුවද නීති සාධන ආයතනවලට ඒ සඳහා මැදිහත්වීමට තිබූ බාධකයන් ය. එම බාධකයන් ඇති ව තිබුණේ කැසිපියන් මුහුදේ නෛතික තත්වය නිර්වචනය වී නොතිබීම නිසා ය. මේ අනුව මෙම නව සම්මුතිය කැසිපියන් මුහුදට හිතකර එකක් බව විචාරකයෝ පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි