තලෙයිබාන් පාලනය යටතේ ඇෆ්ගනිස්ථානයේ උසස් අධ්‍යාපනය කුමක් වැනිද? තලෙයිබාන්ලා ප්‍රජාතන්ත්‍රවාදය වෙත පිවිස ඇතැයි පාරම් බෑ අයට ඔවුන් ස්ත්‍රීන්ට සලකන ආකාරය විසින් කියා දෙන්නේ කුමක්ද? මේ සතියේ සරසවිවල දෙවැනි අධ්‍යයන වාරය එළඹුණා පමණි. ඉදිරියේදී තත්වය තවත් වෙනස් වනු ඇත.
ඇෆ්ගනිස්ථාන් අධ්‍යාපන දෙපාර්තමේන්තුවට ඇෆ්ගන් සරසවි සමිතිය විසින් ඉදිරිපත් කළ යෝජනාව එක පයින් සම්මත කරනු ලැබිණි. එය, ඇෆ්ගනිස්ථානයේ තිබෙන යුනිවසිටි කොලීජි 131 ක එකතුවකි. එම යෝජනාවෙන් කියැවුණේ ගැහැණු-පිරිමි වෙන් කළ යුතු බව ය.
පන්ති කාමරවල වෙන් වෙන්ව සිටිය යුතු වනවා පමණක් නොව, ඔවුන් සරසවියට පිවිසිය යුතු වන්නේ ද වෙන වෙනම පිවිසුම් දොරටුවලිනි. ශිෂ්‍යාවන් ගණන 15 ට අඩුයි නම් පමණක්, මිශ්‍ර පන්ති පැවැත්වෙන අතර, එවිට ද පංති කාමරය තිර රෙදි ඇද දෙකට බෙදිය යුතු ය.
පුද්ගලික සරසවිවල ද ගැහැණු පිරිමි වෙන් කළ යුතු බව තලෙයිබාන් යෝජනාවේ දැක්වේ. සියලු සරසවිවල ශිෂ්‍යාවන්ට ආගමික වතාවත් වල යෙදීමට වෙනම තැනක් ද වෙන් කළ යුතු ය.
‘‘සියලු ශිෂ්‍යාවන්, කථිකාචාර්යවරියන් සහ සේවිකාවන්, ෂරියා නීතියට අනුව හිජාබය පැළඳීමට බැඳී සිටිති‘‘ යනුවෙන් ද එම ලේඛනයේ දැක්වේ.
‘‘අනාගතයේදී විශ්ව විද්‍යාල විසින් ශිෂ්‍යාවන්ට ඉගැන්වීම සඳහා කථිකාර්යවරියන් පමණක් යෙදවීමට සැලකිලිමත් විය යුතුය. මේ අතර, ශිෂ්‍යාවන්ට ඉගැන්වීම සඳහා විශ්වාස කළ හැකි අය ලෙස නම් දරා සිටින වයස්ගත මහාචාර්යවරුන් පත් කිරීමට කටයුතු කළ යුතුය‘‘ යනුවෙන් ද එහි දැක්වේ.
කාබුල් හි භක්තාර් සරසවිය මේ අතර සූදානම් වන්නේ මුර ක්‍රමයට එක් වරකට ගැහැණු ළමුන්ටත්, අනෙක් වතාවේ පිරිමි ළමුන්ටත් පංති පවත්වන්නට ය.
ඇෆ්ගනිස්ථානයේ සරසවි සිසුන්ගෙන් 20%ක් එනම් 2,000 ක් දෙනා ශිෂ්‍යාවන් ය.
මෙම වෙනස්කම් ගැන ශිෂ්‍යාවන් අතර තිබෙන්නේ මිශ්‍ර ප්‍රතිචාරයන් ය. තලෙයිබාන් සංවිධානය මේ වතාවේ කාන්තාවන්ට අධ්‍යාපනය ලබාදීම තහනම් නොකිරීම ගැන ඇතැම්හු සතුටු වෙති. නමුත් මේ පංති කාමර නීති ‘අන්තවාදී‘ බව ද ඒ අතරම ඔවුහු කියති.
ඇෆ්ගනිස්ථානය සමග ඇමරිකාව අවසන් කළේ ඇමරිකාවේ දීර්ඝතම යුද්ධයයි. මේ මස 11 වැනිදාට, එනම් තව දින 3 කින් එය ආරම්භ වී වසර 20 ක් සපිරේ. වසර 20 ක් යනු පරම්පරා වෙනසේ ආයු කාලයයි. මේ තරුණ පරපුර තලෙයිබාන් අන්තවාදය සිය එදිනෙදා ජීවිතවල මේ තරමින් අත්දකින්නේ ප්‍රථම වතාවට ය. ඔවුන් ඉපදුණේ ද හැදී වැඩුණේ ද ඇමරිකාව විසින් ගෙන ආ ලිබරල් වාතාවරණය තුළ ය. තමන් කැමති ඇඳුමක් ඇඳීමේ නිදහස ඒ තුළ විය. ගැහැණු-පිරිමි මිතුරු දම් ඔවුන්ට ‘මැජික්‘ වුණේ නැත.
සිබා (සත්‍ය නම නොවේ), කාබුල් නුවර වෙසෙන 21 හැවිරිදි සරසවි යුවතියකි. සරසවි උපාධි ධාරිනියක් වීමේ සිහිනය තමන් විසින් අත්හැර දැමූ බව ඇය කියයි. ආරක්ෂාව පිලිබඳ තර්ජනය හමුවේ නිවසට වී සිටීම වඩා යහපත් බව ඇගේ පිළිගැනීමයි.
මේ අතර 19 හැවිරිදි මීනා, එයට වඩා වෙනස් මතයක් දරයි. උසස් පාසලෙන් පිටවූ ඇය මේ වසරේදී සරසවියට ඇතුළත් වීමට බලා සිටින්නීය.
‘‘තලෙයිබාන් පාලනය හිජාබය දාගෙන ඉගෙන ගන්න කිව්වොත් මම ඉගෙන ගන්නවා. මොන තත්වයක් යටතේ වුණත් ගැහැණු ළමයෙක් ඉගෙන ගන්න එක වැදගත්. නැතිනම් අනාගතයේදි හඬක් නගන්න බෑ..‘‘ යැයි ඇය කියන්නීය.
නමුත් අධ්‍යාපනය ලබා කුමක් කළ හැකිද කියා අදහසක් ඇයට නැත. බාගවිට දරුවන් ලබා, සම්ප්‍රදායික බිරිඳක්ව ගෙදර නතර වී සුසුම් හෙළන්නටත් ඇයට සිදුවනු ඇත. බොහෝ විට ඉරණම එයයි.
අවසන් වතාවට තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලයේ සිටියේ 1996 සිට 2001 වසර දක්වා ය. එම යුගය තුළ කාන්තාවන් සහ ගැහැණු ළමුන් ට අධ්‍යාපනය ලැබීම සහ රැකියා කිරීම යන දෙකම තහනම් කරනු ලැබිණි. ඔවුන්ට ඒ අවස්ථාව ලැබුණේ 2001 වසරේදී තලෙයිබාන් පාලනය පරාජය කළ පසු ය.
දැන් තලෙයිබාන්ලා නැවත පැමිණ තිබේ. වත්මන් නායකයත්වය විසින් සමාජය තුළ කාන්තාවට ‘ප්‍රමුඛ භූමිකාවක්‘ ලබාදෙන බවටත්, ඔවුන්ගේ රෙජීමය ට කාන්තාවන් ද අන්තර්ග්‍රහණය කර ගන්නා බවත් තලෙයිබානය නැවත නැවතත් කියා තිබිණි. නමුත් ඊයේ පත් කළ කැබිනට්ටුවේ කාන්තා අමාත්‍යාංශයක් පවා නැත. ජනගහනයෙන් 52%ක් කාන්තාවන් වන ලංකාවේ ද එවැන්නක් නැති නිසා, ඒකට කමක් නැතැයි කියා කියන්නට ද කෙනෙකුට පුළුවන.
* * *
ප්‍රධාන ඡායරූපය- Students attend class at Avicenna University in Kabul, Afghanistan, on September 6, 2021, in this picture obtained by Reuters from social media.