×

ගායක හාකාලූ හුන්දීස්සා ගේ ඝාතනයට යුක්තිය ඉල්ලූ රටවැසියන්ට මිනීපෙට්ටියෙන්ම ප්‍රතිචාර!

ඉතියෝපියාවේ ඔරෝමෝ ජාතීන් හට විවිධ කෙණහිලිකම් සිදුවන බවත්, හුන්දීස්සා ගේ සංගීතය එම අසාධාරණයන්ට එරෙහි ශක්තියක් ව තිබූ බවත් කියවේ. හුන්දීස්සා ගේ සංගීතය 2018 වර්ෂයේදී පැවති රජය බිඳවට්ටවා අග්‍රාමාත්‍ය අබි අහ්මඩ් බලයට ගෙන ඒමට ද රුකුලක් වූ බවට සඳහන්. 


මීට දින කිහිපයකට පෙර ඉතියෝපියාවේ ජනප්‍රිය සංගීතඥයකු වන හකාලූ හුන්දීස්සා නාඳුනන පිරිසක් විසින් ඝාතනය වී තිබූ පුවතක් වාර්තා වී තිබිණි.

ඔහු ඉතියෝපියාවේ සංගීත ලොවේ ජනප්‍රියතම තරුවක් වන අතර, එරට ඔරෝමෝ නම් ජාතිකත්වයක් දරණ ප්‍රජාව නියෝජනය කළ පුද්ගලයෙකි.

හුන්දීස්සා ගේ ඝාතකයන් කවුරුන්ද යන්න මේ වන විටත් හඳුනා ගෙන නැත.

කෙසේවෙතත්, හුන්දීස්සා ගේ ඝාතනය තවත් එක් හුදකලා මරණයක් ලෙස කිසිලෙසකත් ඉතිහාසයේ සනිටුහන් නොවනු ඇත. ඊට හේතුව වන්නේ ඔහුගේ ඝාතනයට සමගාමීව ඉතියෝපියා වේ අතිශය දරුණු නොසන්සුන්තාවයක් හටගැනීමයි.

ඉකුත් සඳු දින සිදුවූ මෙම ඝාතනය විග්‍රහ කෙරුනේ ඉතියෝපියාවේ ජාතීන් ඉලක්ක කරගත් පලිගැනීමක ප්‍රතිඵලයක් වශයෙන් හටගත් මරණයක් බවයි.

හුන්දීස්සා ගේ මරණයෙන් උරණ වූ වැසියන් වීදි බැස විරෝධතාවයේ නිරත වීමට පටන් ගත් අතර, මෙම විරෝධතා මධ්‍යයේ හටගත් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 166 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබේ.

හුන්දීස්සා අයත් වූ ඔරෝමෝ ජන කණ්ඩායම ඉතියෝපියාවේ විශාලතම ජාතිකත්වය දරණ ජන ප්‍රජාව වේ.

මෙම මරණය ඉතියෝපියාව තුළ ජාතීන් අතර නොසන්සුන්තාවක් ඇතිකිරීමට සමත් ව තිබේ.

එය රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ප්‍රභල ප්‍රහාරයක් එල්ල කොට ඇති බවට බලධාරීහු පවසති.

මෙම නොසන්සුන්තාව මත සිවිල් වැසියන් මෙන්ම ආරක්ෂක නිලධාරීන් ද ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔරෝමියා කලාපයේ නියෝජ්‍ය පොලිස් කොමසාරිස්වරයා ට අනුව, හුන්දීස්සා ගේ මරණයෙන් ඇවිලුණු ජාති පාදක කෝලාහල තුළ සිවිල් වැසියන් 145 දෙනෙකු ද, ආරක්ෂක නිලධාරීන් 11 දෙනෙකුද, මරණයට පත්ව තිබේ.

මීට අමතරව, ඉතියෝපියානු අගනුවර වන අදිස් අබාබා හි පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

තවද, පුද්ගලයින් 167 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගත කොට තිබේ. ප්‍රහාරයන් ට සම්බන්ධ සැකකරුවන් 1084 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම නොසන්සුන්තාවය හට ගැනීම සහ මරණයන් සිදුවීම තුළ උද්ඝෝෂකයින් හා බලධාරීන් යන දෙපාර්ශවය වෙතම වගකීම පැවෙරෙන බවට නිරීක්ෂකයින් ගේ මතයයි.

හුන්දීස්සා ගේ මරණය ට යුක්තිය ඉටු කිරීමට හැකි උපරිම ක්‍රියාමාර්ග ගනු ඇති බවට බලධාරීන් ප්‍රකාශ කර තිබුණද ඊට අදාළ විමර්ශනයන් පිළිබඳ තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැත.

කෙසේවෙතත් බලධාරීන් අවධාරණය කරන්නේ මේ වන විට නොසන්සුන්තාවය “සම්පූර්ණයෙන්ම අවසාන” බවයි.

ඉතියෝපියාවේ ඔරෝමෝ ජාතීන් හට විවිධ කෙණහිලිකම් සිදුවන බවත්, හුන්දීස්සා ගේ සංගීතය එම අසාධාරණයන්ට එරෙහි ශක්තියක් ව තිබූ බවත් කියවේ.

හුන්දීස්සා ගේ සංගීතය 2018 වර්ෂයේදී පැවති රජය බිඳවට්ටවා අග්‍රාමාත්‍ය අබි අහ්මඩ් බලයට ගෙන ඒමට ද රුකුලක් වූ බවට සඳහන්.

ඒ අනුව මෙම මරණය දේශපාලනික පලිගැනීමක් ද යන සැකය පවා මතුව තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි