×

සෞදි මාධ්‍යවේදී ජමාල් ගෙළ කපා මරා දැමූ බවට ප්‍රබල සැකයක්

සෞදි තානාපති කාර්යාලය තුළදී අබිහරස් ලෙස අතුරුදහන් වූ, වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ මාධ්‍ය වේදී ජමාල් කාෂෝගි  සෞදි බලධාරීන් විසින් ඝාතනය කළේද යන්න ගැන මේ වන විට බරපතළ සැක සංකා මතු ව ඇත.


සීඑන්එන් වැනි පුවත්සේවාවන්  Jamal Khashoggiගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශනය පිළිබඳ මේ වන විට සජීවී අප්ඩේස්ට් ද නොකඩවා ලබාදෙමින් සිටියි.

ඇතැම් වාර්තාවකට අනුව, මේ වන විට උද්ගත වී ඇති තත්වය අනුව ජමාල් ව ඝාතනය කළ බව පිළිගැනීම හැරෙන්නට සෞදි අරාබියට වෙනත් කළ හැකි දෙයක් නැත.

කෑ ගසන හඬ ඇසිලා!

සෞදි තානාපති කාර්යාලය තුළට ගිය ජමාල් කෑ ගසන හඬ ඇසුණු බවත්, වෙඩි ශබ්ද ඇසුණු බවත්, ජෙට් යානා දෙකක් හදිසියේම පැමිණි බවත් මේ වන විට සාක්ෂි මගින් හෙළි වී ඇත. ජමාල්ගේ ඉරණම පිළිබඳ මුලින්ම සෞදි අරාබිය වෙතට චෝදනා එල්ල කර සිටියේ තුර්කියයි.

 

ජමාල් කොන්සල් කාර්යාලය වෙත ඇතුල් වූ අන්දම | AFP/Getty Images

ජමාල් කොන්සල් කාර්යාලය වෙත ඇතුල් වූ අන්දම | AFP/Getty Images

තුර්කි බලධාරීන් විසින් කොන්සල් කාර්යාල සෝදිසි කරන අන්දම | Chris McGrath/Getty Images

තුර්කි බලධාරීන් විසින් කොන්සල් කාර්යාල සෝදිසි කරන අන්දම | Chris McGrath/Getty Images

නිව්යෝක් ටයිම්ස් පුවත්පත ද, ජමාල්ගේ කෑ ගැසීම් ඇතුළත් හඬපට, තානාපති කාර්යාලයෙන් ලබාගෙන ඇති බව තහවුරු කරයි.

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙක්

ජමාල් වරින් වර වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරුලිපි රචකයෙකු වශයෙන් කටයුතු කළ අයෙක් නිසා, ඇමරිකාව මත ද මෙම මාධ්‍යවේදියා සම්බන්ධයෙන් විශාල වගකීමක් පැවරී ඇත.

මිතුරා කතා කරයි.

ජමාල්ගේ සමීපතම මිතුරෙකු වන තුරාන් කිස්ලැකි අද (18) උදෑසන මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා තිබෙන්නේ තුර්කි බලධාරීන් සමග සිදුකළ සාකච්ඡාවලින් පසු, ජමාල්ව ඝාතනය කර ඇති බව තහවුරු වූ බවයි.

‘‘මා තුර්කි රජය සහ ආරක්ෂක අංශ සමග කතා කළා. ඔවුන් කිව්වා, ජමාල් ව ඝාතනය කළ බව. ඔහුව ම්ලේච්ඡ අන්දමින් ඝාතනය කළ බව… තානාපති කාර්යාලය තුළදී ඔහුව ඝාතනය කර තිබෙන්නේ අතිශයින්ම ම්ලේච්ඡ අන්දමින්.“ යැයි තුරාන් මහත් කම්පනයට පත් වූ ආකාරයෙන් අද දින කියා සිටියේය.

ජමාල්, සෞදි රජය මහත් සේ විවේචනය කළ අයෙකි. තමන්ට කිසියම් දිනෙක යම් ප්‍රශ්නයක් මතු වුවහොත් පුද්ගලයන් දෙදෙනෙකු අමතා ඒ ගැන පවසන්නැයි ඔහු විසින් ඔහුගේ සහකාරිය වෙත කියා තිබේ. එයින් එක් අයෙක් වන්නේ, ඔහුගේ සමීප මිතුරෙක් වන තුරාන් කිස්ලැකි ය.

ඇමරිකාවේ ජීවත් වන ජමාල්, සෞදි තානාපති කාර්යාලය වෙත ගොස් තිබෙන්නේ සිය විවාහයට අදාළ ලිපි ලේඛන ගොනු කිරීම සඳහා ය. ඔක්තෝබර් 2 වැනිදා එසේ තානාපති කාර්යාලය වෙත ගිය ඔහු පිළිබඳ ඉන් අනතුරුව කිසිදු තොරතුරක් ලැබී නැත. තුර්කි පොලිසිය ද මේ වන විට සෞදි තානාපති කාර්යාලය සෝදිසි කර තිබේ. මේ අතර සෞදි බලධාරීහු දිගින් දිගටම ජමාල් ව ඝාතනය කළ බව පිළිගැනීම ප්‍රතික්ෂේප කරන අතර, ඔහුට සිදුවූ දෙය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමක් ලබාදීමට අසමත් ව සිටිති.

ඝාතකයන් සෞදි කුමාරයාගේ මිතුරන්ද?

ජමාල් කාෂෝගි අතුරුදන් වීම සිදුවූ කාලසීමාවට ආසන්න කාලය තුළ සෞදි ජාතිකයන් 15 දෙනෙක් පමණ තුර්කියේ ඉස්තාන්බුල් නගරය වෙත ගොස් ඇති බව මේ අතර තුර්කි බලධාරීහු පවසති. කාෂෝගි ව ප්‍රශ්න කිරීම සහ අනතුරුව ඝාතනය කිරීමට අදාළ හඬපට තිබෙන්නේ ඔවුන් සන්තකයේ බවට විශ්වාස කෙරේ. එම පුද්ගලයන් 15 දෙනාගේ ඡායාරූප ද තුර්කි බලධාරීන් විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

මේ අතර මෙම 15 දෙනාගෙන් එක් අයෙක් වෝහාරික විශේෂඥයෙක් බව පවසා සිටින්නේ නිව්යෝක් ටයිම්ස් පුවත්පතයි. එසේම මෙම සැකකරුවන්ගෙන් කිහිප දෙනෙකු සෞදි කුමාරයා සමග සමීප සබඳතා පවත්වාගෙන යන අය බව ද කියැවේ.

ගෙළ කපා මරා දැමුවේදැයි සැකයක්

තුරාන් පවසන්නේ තානාපති කාර්යාලය තුළට ගිය ජමාල් හට එහි නිලධාරීන් විසින් අත්සන්කිරීම සඳහා යම් ලියවිල්ලක් ලබාදී ඇති බවත්, එයට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජමාල් ව මරා දමන්නට ඇති බවත් ය.

තුර්කි බලධාරීන් පවසන්නේ ජමාල් කාෂෝගිව ගෙළ කපා මරා දමන්නට ඇති බවත්, අනතුරුව ඔහුගේ සිරුර සෞදි කොන්සල් ජනරාල්වරයාගේ නිල නිවස වෙත ගෙන යන්නට ඇති බවත් ය. එය පිහිටා තිබෙන්නේ කොන්සල් කාර්යාලයේ සිට සැතපුමක් පමණ දුරිනි.

ඩොනල්ඩ් ට්‍රම්ප්ට චෝදනා

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇමරිකානු පුවත්පතක තීරු ලිපි රචකයෙකු වූ මෙම ජමාල්ගේ අතුරුදන් වීම සහ, එයට සෘජුව චෝදනා ලබා තිබෙන්නේ ඇමරිකාවේ මිතුරෙකු වන සෞදි අරාබිය වීම නිසා මහත් සේ අපහසුතාවකට පත්ව සිටින බව පෙනී යයි. ඊයේ දිනයේ මාධ්‍ය වේදීන් ට්‍රම්ප්ගෙන් විමසනු ලැබුවේ, එම චෝදනා ලත් සෞදි ජාතිකයන් ට රැකවරණය ලබාදීමට ඔහු උත්සාහ කරන්නේ ද යන්නයි.

‘‘නැහැ. කොහෙත්ම නැහැ. මට අවශ්‍ය සිදුවූ දේ සොයාගැනීමටයි‘‘ යනුවෙන් එවිට ඩොනල්ඩ් ට්‍රම්ප් කියා තිබේ. ‘සතිය අග වන විට‘ මෙයට වගකිවයුත්තන් සොයාගත හැකි වනු ඇතැයි ද ට්‍රම්ප් කියා ඇත.

මේ අතර ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මේ වන විටත් තුර්කි ජනපති තායිප් එර්දොගන් සහ විදේශ ඇමතිවරයා මුණ ගැසී ඇත. කෙසේ නමුත් එම හමුවේ වැඩි දුර විස්තර අනාවරණය කිරීමෙන් රාජ්‍ය ලෙකම්වරයා වැළකී සිටියි.

පෙර ලිපි –

සෞදි මාධ්‍යවේදියෙක් තානාපති කාර්යාලයේදී අතුරුදහන්

ජමාල් කෝ?

සෞදිය ලෝක අමාරුවක වැටෙන හැඩ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි