×

පාසල් විවෘත කිරී‌මෙන් දකුණු කොරියාව වැඩ වරද්දා ගත්තා ද?

යෝජිත ක්‍රමය තුළ, සතියක් පාසල් පැමිණීම, සතියක් නිවාඩු ලබා දීම, හෝ එක් දින පාසල් පැවැත්වීම, හා එක් දින නිවාඩු ලබා දීම ආදී වශ‌යෙන් පාසල් විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.


‌කො‌‌රෝනා වසංගත තත්ත්ව‌යෙන් පසු පාසල් යළි විවෘත කිරීමට ඉකුත් දින දකුණු කොරියාව කටයුතු කර තිබිණි.

වසංගතයේ අවදානම පහවෙමින් පැවතියද, ඉටෙවොන් නම් දිස්ත්‍රික්ක‌යේ‌‌ කොරෝනා අවදානම තවමත් පහව ගොස් නැති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර, පාසල් විවෘත කිරීමෙන් අනතුරුව, දිගටම දරුවන් යළි පාසල් වෙත කැඳවීමට කටයුතු කරමින් සිටින බවට වාර්තා ‌වේ.

එ‌මෙන්ම ‌‌පොදු ගමනාගමනය පරිහරණය කරන විට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය කර තිබේ.

දකුණු කොරියාව පසුගිය කාලවකවානුවේ බෙහෙවින් අවධානයට යොමුවූ‌‌‌යේ ආරම්භක අවධියේදී ඉතා සාර්ථක අන්දමින් කො‌රෝනා වසංගත තත්ත්වය පාලනය කිරීමත්, දෙවනුව එම පාලනයේ සිදුවූ බිඳ වැටීමක් නිසා ආසාදිත පුද්ගලයින් ඉහළ සංඛ්‍යාවක් වාර්තා වීමත් සමඟය.

ඊයේ (25) දින වන විට, දකුණු කොරියාවේ සමස්ත කොරෝනා ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 11,205 ලෙස සටහන් වී තිබූ අතර, මරණ සංඛ්‍යාව 268 ලෙස වාර්තා වී ඇති බව එරට KCDC (Korean Center for Disease Control and Prevention) ආයතනය පවසයි.

ඉහළ අධ්‍යාපන පාසල් (High-school) පාසල් විවෘත කිරීම පසුගිය සතිය තුළ සිදුවූ අතර, පාසල් සිසු සිසුවියන් පාසල් වෙත ගෙන්වා ගැනීමේ වැඩි බවක් පෙනෙන්නට තිබිණි.

කෙසේ වෙතත්, පාසල් වෙත ගෙන්වා ගත් දරුවන් දෙදෙනෙකු හට කොරෝනා ආසාදනය වී ඇති බව ‌හෙලිදරව් වීමත් සමඟ ඉන්චියොන් නම් වරාය නගරයේ පාසල් 66 ක් නැවත වසා දැමීමට කටයුතු කරන ලදී.

මේ අතර, ඩේගු නගරයේ අධ්‍යාපනය හදාරන සිසුන් නි‌වෙස් වෙත යැවීමට කටයුතු කරන ලද අතර, පන්ති පැවැත්වීම සඳහා ‌වෙනත් ස්ථාන තෝරා ගැනීමට කටයුතු කරන ලදී.

පාසල් පරිශ්‍රයන්ට ඇතුළු වන සිසු සිසුවියන් ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීම, පන්ති කාමර, සේදුම් කාමර, වැසිකිලි හා ආපන ශාලා තුළ සමාජ දුරස්තකරණය පවත්වා ගැනීම, අනිවාර්ය කර ති‌බේ.

එමෙන්ම, වෙනත් පන්ති කාමර සමඟ අන්තර්සම්බන්ධතාවයන් ඇතිවීම වළක්වාලීම සඳහා බිම් සැලසුම් (floor plans) කිරීම ද මේ වන විට සිදුවේ.

මීට අමතරව, පාසල් විවෘත කිරී‌මේ දෙවන අදියරක් ‌ලෙස එළ‌ඹෙන බදාදා (27) දින තවත් කණ්ඩායමක් පාසල් වෙත ගෙන්වා ගැනීමට සැලසුම් යොදා ඇත.

මේ අනුව ක්‍රමක්‍රමයෙන් පාසල් විවෘත කිරීම සිදුවන අතර, දරුවන් ගෙන්වා ගැනීමේ ප්‍රමාණය වැඩිවෙමින් පවතින බවට දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරන අතර, ඉහළ පාසල් වල දෙවන ශ්‍රේණියේ සිසුන්, මධ්‍යම පාසල් (middle-school) වල ඉහළ ශ්‍රේණියේ සිසුන්, ප්‍රාථමික පාසල් (elementary school) වල පහළම ‌ශ්‍රේණි‌ දෙකෙහි සිසුන් හා පෙරපාසල් (kindergarten) සිසුන් මේ අන්දමින් යළි ගෙන්වා ගැනීමට කටයුතු යොදා තිබේ.

‌කෙ‌සේ වෙතත්, අවදානම තවමත් පහව ‌ගොස් ‌නොමැති බැවින්, පාසල් තුළ සමස්ත ධාරිතාවයෙන් 50% පමණ ධාරිතාවයකින් යුතු ව අධ්‍යාපන කටයුතු මෙහෙයවනු ඇති බවට වාර්තා ‌වේ. එමඟින් සමාජ දුරස්තකරණය සඳහා වැඩි අවකාශයක් සපයා දීම අරමුණ වී තිබේ.

යෝජිත ක්‍රමය තුළ, සතියක් පාසල් පැමිණීම, සතියක් නිවාඩු ලබා දීම, හෝ එක් දින පාසල් පැවැත්වීම, හා එක් දින නිවාඩු ලබා දීම ආදී වශ‌යෙන් පාසල් විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවට වාර්තා වේ.

කෙසේ වෙතත්, ‌මෙය අනිවාර්ය නොවන අතර, ඒ ඒ පාසල් වල අභිමතය පරිදි අදාළ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට නිදහස ලබා දී තිබේ.

මේ අන්දමින් ප්‍රගතියක් ලබා ඇති බව පෙනෙන්නට තිබුණ ද, ඉහත සඳහන් කළ ඉටෙවොන් නම් දිස්ත්‍රික්ක‌යේ‌‌ කොරෝනා අවදානම හේතුකොට ගෙන හා එහි බොහෝ නිශාචර ජීවිත ගතකරන ප්‍රජාවන් ජීවත්වීම හේතුකොට ගෙන මේ වන විටත් එම දිස්ත්‍රික්කය හා සබඳතා පැවැත්වූ 237 දෙනෙකු ආසාදිතයින් බවට තහවුරු වී තිබේ.

එමෙන්ම එම දිස්ත්‍රික්කය හා සබඳතා පැවැත්වූ පුද්ගලයින් 82,000 ක් පරීක්ෂා වෙත යොමු කර තිබේ.

ඒ අනුව රට තුළ කොරෝනා අවදානම පහව ගොස් ඇතැයි පුරෝකතනය කිරීම නුසුදුසු බව බොහෝ විද්වත්හු පෙන්වා දෙති.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි