×

ගෙදර යන්න දින කිහිපයකට මත්තෙන් සමරිසියන්ගෙන් ද පලිගත් ට්‍රම්ප්!

පිටු 89 කින් සමන්විත මෙම නීති සංග්‍රහය ඔස්සේ සෞඛ්‍ය හා මානව සේවා පද්ධතීන් තුළ LGBT+ පුද්ගලයින් වෙනස්කොට සැලකීම් වලට ලක්වීම සාධාරිණීකරණය කරනු ලබයි.


ඉකුත් බදාදා දින ලොවක් තුෂ්නිම්භූත කරමින් ප්‍රජාතන්ත්‍රවාදයේ රන්දොරටු හිමි කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩා වැදුණු උන්මත්තක ට්‍රම්ප්වාදී සේනාව ඔබට මතක ඇතැයි අපි සිතමු.

ඇමරිකානු රජයේ සභාගර්භය වෙත කඩා වැදුණු දහස් සංඛ්‍යාත ට්‍රම්ප්වාදීන් ඩොනල්ඩ් ට්‍රම්ප් සන්නාමය ද අතැතිව සිය බල පරාක්‍රමය ප්‍රදර්ශනය කරන්න ට පටන් ගත්තේ එක්සත් ජනපදයේ නොදුටු පැතිකඩක් විවර කරමිනි.

සිය ධුරයේ අවසන් දින කිහිපය තුළ මිනිස් ජීවිත සතරක් බිලිගනිමින් දෑත් වල ලේ තවරා ගත් ට්‍රම්ප් එරට වාසය කරන LGBT+ ප්‍රජාවට දරුණු කුළුගෙඩි පහරක් එල්ල කර ඇති බවට LGBT+ පුවත් පිළිබඳ ජනප්‍රිය වෙබ් අඩවියක් වන පින්ක් නිව්ස් වාර්තා කරයි.

බල කාමයෙන් හා ට්‍රම්ප් වියරුවෙන් උමතු වූ සේනා කැපිටල් හිල් ආක්‍රමණය කරන විට ට්‍රම්ප් පරිපාලනයට අයත් සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තමේන්තුව (Department of Health and Human Services – HHS) විසින් නව නීති සංග්‍රහයක් සම්පාදනය කර තිබේ.

මෙම නීති ඔස්සේ එකී දෙපාර්තමේන්තුව යටතේ ලැබෙන ප්‍රතිපාදන වල ප්‍රතිලාභීන් හට ‘ආගමික නිදහසේ’ නාමයෙන් LGBT+ පුද්ගලයින් හට කෙණහිලිකම් කිරීමේ නිදහස ලැබෙන බවයි පින්ක් නිව්ස් අඩවිය වාර්තා කරන්නේ.

මෙම නීති සංග්‍රහය ට්‍රම්ප් පරිපාලනය විසින් යෝජනා කරනු ලැබුවේ ඉකුත් 2019 වර්ෂයේ නොවැම්බර් මස ය.

ඒ අනුව, 2021 ජනවාරි 7 වන බ්‍රහස්පතින්දා දින, එනම් කැපිටල් හිල් කෝලාහලයට දිනකට පසුව අදාළ නීතීන් ක්‍රියාවට නංවා ඇති බවට පින්ක් නිව්ස් පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කරයි.

පිටු 89 කින් සමන්විත මෙම නීති සංග්‍රහය ඔස්සේ සෞඛ්‍ය හා මානව සේවා පද්ධතීන් තුළ LGBT+ පුද්ගලයින් වෙනස්කොට සැලකීම් වලට ලක්වීම සාධාරිණීකරණය කරනු ලබයි.

Photo: Human Rights Watch

ඒ අනුව බැරැක් ඔබාමා පාලන සමය තුළ ඇමරිකානු සෞඛ්‍යය හා මානව සේවා දෙපාර්තමේන්තුවට ලැබෙන ප්‍රතිපාදන ඔස්සේ වයස, ආබාධිත තත්ත්ව, ලිංගභේදය, වර්ගය, සමේ වර්ණය, උපන් ජාතිය, ආගම, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය හා ලිංගික දිශානතිය මත පදනම් වූ වෙනස්කොට සැලකීම් තහනම් කොට පැනවූ නීති අහෝසි වේ.

මෙම නව නීති සංග්‍රහයේ යටතේ නීත්‍යානුකූලව විවාහ වූ සමරිසි පුද්ගලයින් ගේ විවාහය පිළි නොගැනීමට ද ප්‍රතිපාදන වෙන් කොට තිබේ.

නව සෞඛ්‍ය හා මානව සේවා නීති සංග්‍රහයේ මෙසේ වගන්තියක් ඇතුළු වේ.

“It is a public policy requirement of HHS that no person otherwise eligible will be excluded from participation in, denied the benefits of, or subjected to discrimination in the administration of HHS programs and services, to the extent doing so is prohibited by federal statute.”

“HHS වැඩසටහන හා සේවා තුළ වෙනත් කිසිදු අන්දමකින් සුදුසුකම් දරන පුද්ගලයකු මෙම වැඩසටහනට සහභාගී වීම, හෝ එම වැඩසටහනෙන් ප්‍රතිලාභ ලැබීම වැළකෙන පරිදි ඉවත් කිරීමට කටයුතු කිරීම, හෝ වෙනස්කොට සැලකීම් වලට ලක්කිරීම, ෆෙඩරල් ප්‍රතිපත්තියට ප්‍රකාරව තහනම් බව HHS මහජන ප්‍රතිපත්තියේ අවශ්‍යතාවයක් බව සලකනු ලැබේ.”

බැලූ බැල්මට මානව හිතවාදී වගන්තියක් මෙන් පෙණුන ද මෙහි සැඟවී ඇති යතාර්ථය වනුයේ ෆෙඩරල් ප්‍රතිපත්තිය ට LGBT+ ප්‍රජා ආරක්ෂාව ඇතුළත් කර නොතිබීමයි.

වචන වලින් ගේම් දීම දීම ට්‍රම්ප් පරිපාලනයේ සුලභ අංගයකි. මීට වඩාත් ම දක්ෂ පුද්ගලයා වන්නේ ඇමරිකාවේ උපජනාධිපති මයික් පෙන්ස් ය. ඉහත දැක්වෙන්නේ ඊට කදිම නිදසුන කි.

සෞඛ්‍ය හා මානව සේවා ප්‍රතිපාදන “ෆෙඩරල් ප්‍රතිපත්තියට ප්‍රකාරව” මානව අයිතීන් ආරක්ෂා කරනු ලබන බවට සඳහන් කිරීම තුළින් එරට LGBT+ ප්‍රජාවට මෙම සේවාරාමුව තුළ සිදුවන යම් අකටයුත්තකට ගතයුතු පියවර අවහිර කරනු ලබන බවට පැහැදිලි ය.

මන්ද ඇමරිකාවේ සංශෝධිත ෆෙඩරල් ප්‍රතිපත්තිය LGBT+ රැකවරණය පිළිබඳ සඳහන් නොකරයි.

.

නොපෙනෙන පැති ගොඩක්!

එතැනින් ද නොනැවතී නව නීති සංග්‍රහයේ මෙසේ ද සඳහන් වේ.

“HHS will follow all applicable Supreme Court decisions in administering its award programs.”

“HHS සිය ප්‍රතිපාදන වැඩසටහන් පරිපාලනය කිරීමේදී ඊට අදාළ සියළු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු අනුගමනය කරනු ඇත.”

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වලට අනුව “ආගමික විමුක්තිය” ඇමරිකාවේ අනිවාර්ය අංගයක් ලෙස සලකනු ලබයි. ඒ අනුව සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුව යටතේ පවතින,

  1. එච්අයිවී හා ලිංගාශ්‍රිත ආසාදන ආශ්‍රිත සෞඛ්‍ය සේවාවන්,
  2. අවතැන් වූ තරුණ පුද්ගලයින් සඳහා වූ සේවාවන්, හා
  3. මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්තාපනය කරන සේවාවන්

තුළ ආගමික විමුක්තියේ නාමයෙන් LGBT+ ප්‍රජාවට වෙනස්කම් සිදුකිරීමේ ඉඩ අවකාශය ලැබී තිබේ.

එපමණක් නොව, සමරිසි පවුල් ඒකක පිටුදකින ආගමික අන්තවාදීන් හට නීත්‍යානුකූලව විවාහ වූ සමරිසි යුවලකට ද කෙණහිලිකම් කිරීමේ වරම් මින් හිමිවේ.

මෙහි නොපෙනෙන තවත් පැතිකඩක් තිබේ. ඇදහිලි මත පදනම් වූ ආයතන (faith-based organisations) සඳහා ද විවිධ වැඩසටහන් පැවැත්වීම සඳහා මෙම දෙපාර්තමේන්තුවෙන් ප්‍රතිපාදන හිමිවේ.

ඇදහිලි මත පදනම් වූ ආයතන LGBT+ විරෝධී ප්‍රතිපත්තීන් අනුගමනය කරන්නේ නම්, ලිංගික දිශානතිය, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාවය, විවාහක/අවිවාහක බව වැනි කරුණු මත දරුවන් හා පවුල් වලට සේවාවන් සැපයීම ප්‍රතික්ෂේප කිරීමට එවන් ආයතන වලට මින් ඉඩ සැලසේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි