×

මන්නාරම සමූහ මිනී වළේ ඇටසැකිළි ස්ථර දෙකක්! – BBC ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය

මහාචාර්ය රාජ් සෝමදේව ඇතුළු කණ්ඩායම මන්නාරම සමූහ සුසානයේ කැණීම් කටයුතුවල. ඇටසැකිළි ස්ථර දෙකක්. කිසිම මළ සිරුරක ඇඳුම් නැහැ. දරුවන් 6 දෙනෙකුත් ඒ අතර


මන්නාරම සමූහ මිනී වළ පිළිබඳ BBC පුවත්සේවය විසින් අද දින (27) Sri Lanka mass grave: Dozens of skeletons found in Mannar (‘‘ශ්‍රී ලංකා සමූහ සුසානය: ඇටසැකිළි දුසිම් ගණන් මන්නාරමේ) යනුවෙන් විශේෂාංගයක් පළ කර තිබේ. මන්නාරම සිට Anbarasan Ethirajan විසින් ලියන ලද මෙම ලිපියේ සම්පූර්ණ සිංහල පරිවර්තනය පහත පළ වේ.

ඉදිකිරීම් සේවකයන්ට මිනිස් අවශේෂයන් හමුවීමෙන් පසු වෝහාරික පුරාවිද්‍යාඥයන් කැඳවනු ලැබිණි. | BBC

ඉදිකිරීම් සේවකයන්ට මිනිස් අවශේෂයන් හමුවීමෙන් පසු වෝහාරික පුරාවිද්‍යාඥයන් කැඳවනු ලැබිණි. | BBC

ශ්‍රී ලංකාවේ විශේෂඥයෝ උතුරුකරයේ අතීත යුධ කලාපය තුළ තිබෙන සමූහ සුසානයක් තුළින් හමු වූ මිනිස් ශරීර දුසිම් ගණනක් හඳුනා ගැනීමට උත්සාහ කරමින් සිටිති.

වයඹ දිග මන්නාරම නගරයෙන් මේ දක්වා මිනිසුන් 90 දෙනෙකුට අධික සංඛ්‍යාවක අස්ථිමය අවශේෂයන් ගොඩ ගෙන තිබේ.

2009 වසරේ යුද්ධය අවසන් වීමෙන් පසු උතුරුකරයෙන් සොයාගත් දෙවැනි විශාලතම සමූහ මිනීවළ මෙයයි.

හමුදාව සහ බෙදුම්වාදී දමිල ගරිල්ලන් අතර 26 වසරක යුද්ධය හේතුවෙන් අවම වශයෙන් 100,000 ක ජනතාවක් මියගිය අතර, බොහෝ සංඛ්‍යාවක් අතුරුදන් වී සිටිති.

අධිකරණ නියෝගයක් මගින් මෙම ක්ෂේත්‍රයේ සිදුකරන කැණීම් පිළිබඳ වැඩිදුර විස්තර සපයයි. එයට අනුව මෙය එකල ප්‍රධාන බස් පර්යන්තය අසල පිහිටා තිබූ තොග බඩු වෙළඳ මධ්‍යස්ථානයකි. මේ වසරේ මුල භාගයේ නව ගොඩනැගිල්ලක් මෙම ස්ථානයේ ඉදිකිරීම සඳහා එහි අත්තිවාරම කණිමින් සිටින අවස්ථාවේදී මිනිස් අවශේෂයන් හමු වී ඇත.

‘‘සම්පූර්ණ ප්‍රදේශයම කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. එක කොටසක් තුළ විධිමත් සුසාන භූමියක් පිහිටා තිබෙනවා. දෙවැනි කොටස තුළ විධිමත් නොවන ආකාරයකට වළ දැමූ මිනිස් ඇටකටු එකතුවක් තිබෙනවා“ යැයි කැලණිය සරසවියේ වෝහාරික පුරාවිද්‍යාඥයෙකු වන, මෙම ක්ෂේත්‍රයේ විශේෂඥ කණ්ඩායමක් මෙහෙයවමින් සිටින මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.

කිසිදු වින්දිතයෙක් හඳුනාගෙන නැත | BBC

කිසිදු වින්දිතයෙක් හඳුනාගෙන නැත | BBC

තවදුරටත් මෙම භූමියේ කැණීම් කටයුතු කළ යුතුව තිබෙන බව පැවසූ ඔහු, එහිදී තවත් ඇටසැකිළි සොයාගත හැකි වේ යැයි ද පැවසීය. ඔහුගේ කණ්ඩායම විසින් සොයාගත් අවශේෂයන්වලට අවම වශයෙන් දරුවන් සය දෙනෙකුගේ අවශේෂයන් ද ඇතුළත් වේ.

මෙම වින්දිතයන් කවුරුද සහ ඔවුන් ව ඝාතනය කළේ කවුද සහ කවදාද යන්න තවමත් පැහැදිලි නැත. මන්නාර නගරයේ ප්‍රධාන වශයෙන් ජීවත් වන්නේ වාර්ගික සුළුතරය වන දමිළයන් ය.

කිසිවෙකුට මෙම ස්ථානයට ඇතුල් විය නොහැකි බව පොලිස් ආරක්ෂකයන් පවසන අතර වෝහාරික පුරාවිද්‍යාඥයන්ට බාධාවකින් තොරව, වෙහෙසකාරීව හිස්කබල් සහ සෙසු අස්ථි කොටස් අපවිත්‍ර පොළොවෙන් ඉවත් කර ගැනීමට හැකියාව ලැබී තිබේ. බුරුසු සහ කුඩා කැපුම් කටු ඔවුන් භාවිතා කරන නිසා අවශේෂයන්ට හානි සිදු නොවේ.

වින්දිතයන් සොයාගැනීමට උපකාරී වන ඇඳුම් හෝ වෙනත් අයිතමයන් කිසිවක් මිනීවළ තුළින් සොයාගෙන නැත.

සිවිල් යුධ සමයේ මන්නාරම ටවුම ප්‍රධාන වශයෙන්ම හමුදා පාලනය යටතේ පැවතියදී දමිල කොටි කැරළිකරුවන් ඒ අවට ප්‍රදේශවල සහ දිස්ත්‍රික්කයේ බොහෝ සෙසු කොටස්වල සිය අණසක ගෙන ගියහ. දරුණු සටන්වලින් පසු හමුදාව මෙයට වසර 10කට පමණ පෙර සම්පූර්ණ දිස්ත්‍රික්කයම අල්ලා ගත්හ.

සමූහ මිනී වළ තුළ සිරුරු සකසා තිබූ ආකාරය විශේෂඥයන් ව ප්‍රහේලිකාවකට මැදිකර තිබේ.

‘‘රේඛීය ස්වභාවය ගැන අපි සැලකිලිමත් වෙනවා. මේක සම්පූර්ණයෙන්ම අවුල් සහගතයි. දළ වශයෙන් ඇටසැකිළි ස්ථර දෙකක් මෙහි තිබෙනවා“ යැයි මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේය.

ඔහුගේ කණ්ඩායම මිනිස් අවශේෂයන් හඳුනාගනිත්ම ඒවා මන්නාරම අධිකරණ භාරයට පත් කිරීම ද සිදුකරනු ලබයි. කැණීම් කටයුතු සම්පූර්ණ කළ පසු අනාගතයේදී ඒවාට කළ යුතු දෙය අධිකරණය විසින් තීරණය කරනු ඇත.

මහාචාර්ය රාජ් සෝමදේව සහ ඔහුගේ කණ්ඩායම විසින් වින්දිතයන් මිය ගියේ කෙසේද යන්න ද නිශ්චය කළ යුතුව ඇත. මළසිරුරුවල වයස පසුව විශ්ලේෂණය කිරීමට නියමිත ය.

මෙම ඝාතන සම්බන්ධයෙන් මේ දක්වා කිසිවෙකු වෙත දෝෂාරෝපණ එල්ල වී නැත.

සිය කාර්යය, පිළිතුරු සෙවීමට උපකාරී වේ යැයි මහාචාර්ය සෝමදේව සිතයි. | BBC

සිය කාර්යය, පිළිතුරු සෙවීමට උපකාරී වේ යැයි මහාචාර්ය සෝමදේව සිතයි. | BBC

යුද්ධය අවසන් වීමෙන් පසු මේ දක්වා ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති කලාපයෙන් සමූහ මිනී වළවල් ගණනාවක් සොයාගෙන තිබේ.

මේ දක්වා සොයාගැනුණු කිසිවක මන්නාරමේ තවත් කොටසක් වන තිරුකේතීස්වරම් හි ප්‍රමුඛ පෙළේ හින්දු කෝවිලකට යාබදව සොයාගත් මළ සිරුරු සංඛ්‍යාව තරම් මළ සිරුරු ගණනක් මෙතෙක් සොයාගෙන නැත. එම ස්ථානයෙන් 2014 වසරේදී 96 දෙනෙකුගේ අවශේෂයන් සොයා ගැනිණි.

නමුත් එතැන් පටන් වසර 4 ක් ගත වී ගිය ද මෙම සිදුවීම පිළිබද, ඝාතනය කරනු ලැබුවේ කවුද සහ කවුරුන් විසින් ද යන්න පිළිබඳ පැහැදිලිතාවයක් නොමැත.

හමුදාව සහ දමිල කොටි සංවිධානය යන දෙපිරිසම පුළුල් ලෙස සිවිල් ජනයා ඝාතනය කළ බවට අයිතිවාසිකම් සංවිධාන චෝදනා කරති. අවම වශයෙන් 20,000 ක පමණ පිරිසක් යුධ සමයේ අතුරුදහන් වී තිබේ.

නමුත් සිවිල් වැසියන්ගේ මරණ සහ අතුරුදහන් වීම්වලට රජයේ හමුදාවේ කිසිදු සම්බන්ධයක් නැති බව පවසන ආණ්ඩුව හැම විටම ඒවා ප්‍රතික්ෂේප කරයි.

වසර ගණනක අන්තර්ජාතික පීඩනයකින් පසුව ආණ්ඩුව විසින් ස්වාධීන ආයතනයක්, අතුරුදන් වූවන්ගේ කාර්යාලය (OMP) මේ වසර මුලදී පිහිටවූයේ අතුරුදන් වීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ය. මන්නාරම තුළ සිදුකෙරෙන කැණීම් කටයුතු සඳහා OMP විසින් ද අරමුදල්වලින් කොටසක් සැපයීම සිදුකරයි.

අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ සභාපති සාලිය පීරිස් අවධාරණය කරන්නේ මන්නාරමෙන් සොයාගත් අලුත්ම සමූහ මිනී වළ පිළිබඳ සවිස්තරාත්මක විමර්ශනයක් සිදුකිරීම වැදගත් බවයි.

‘‘අතුරුදන් වූවන්ගේ කාර්යාලයේ මූලිකම කාර්යය අතුරුදන් වූවන් හඳුනා ගැනීම සහ ඔවුන්ගේ අතුරුදන්වීම ආශ්‍රිත තොරතුරු ඥාතීන් වෙත දැනුම් දීමයි.

යුධ සමයේදී පුද්ගලයන් රාශියක් භාරයට ගැනුණු අතර දහස් ගණනක් අතුරුදහන් වූහ. | BBC

යුධ සමයේදී පුද්ගලයන් රාශියක් භාරයට ගැනුණු අතර දහස් ගණනක් අතුරුදහන් වූහ. | AFP

‘‘ස්වභාවයෙන්ම මෙම හඳුනාගැනීමේ එක් අංගයක් වන්නේ සමූහ සුසාන තිබේද යන්න සහ , සමූහ සුසානවල එම අතුරුදන් වූ පුද්ගලයන් මිහිදන් කර තිබෙන්නේ ද යන්නයි.“

නමුත් මීට පෙර සමූහ සුසානවලින් ගොඩ ගත් මිනිස් අවශේෂයන් පිළිබඳ විමර්ශනය කිරීමට බලධාරීන් අසමත් වී ඇති හෙයින්, නව පරීක්ෂණයේ සාර්ථකත්වය පිළිබඳ දමිල ජනතාව අතර සැක සංකා පවතියි.

‘‘යුධ සමයේ මන්නාරම දිස්ත්‍රික්කයේ පාලනනය නොකළ ප්‍රදේශවල සිට පාලනය කළ ප්‍රදේශ වෙත ගමන් කරන අතරවාරයේ සිය ගණන් මිනිසුන් අතුරුදන් වුණා“ යැයි මන්නාරම කතෝලික දියොකීසියේ දේවගැති වික්තර් සොසෙයි පැවසීය.

‘‘දමිල ජාතිකයන් ගණනාවක් යුද සමයේ ඉන්දියාවට බෝට්ටුවලින් පළා යාමට උත්සාහ කිරීමේදී අතරමගදී අල්ලා ගත් බවට චෝදනා තිබෙනවා. ඔවුන්ගේ ඉරණම ගැන කිසිවෙක් දන්නේ නැහැ“

මන්නාරම කතෝලික අගරදගුරු එම්මානුවෙල් ෆර්නෑන්ඩෝ සමග ඔහු මෙම අලුත්ම සමූහ සුසාන භූමිය නැරඹීට, එහි කැණීම්වල මූලික අදියරේදී ගියේය.

‘‘අපිට වැටහුණා දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ ඇටසැකිළි හමු වී තිබෙන බව. මේ මිනිසුන් කවුද, ඔවුන් මිය ගියේ කෙසේද සහ ඒ සඳහා වගකිව යුත්තන් කවුද කියා අපට සොයාගන්නට විශාල අවශ්‍යතාවයක් තිබෙනවා“. සොසයි පියනම කියයි.

දමිල කොටි සංවිධානය, ප්‍රතිවිරුද්ධ දමිල සන්නද්ධ කල්ලිවල සටන්කරුවන් සහ ඔවුන්ගේ උදව්කරුවන් සිත්පිත් නැති අන්දමින් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා තිබිණි. යුද්ධයේදී අල්ලාගත් ශ්‍රී ලංකා හමුදා සොල්දාදුවන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් චෝදනා ලබා තිබිණි.

යුද්ධයේ ක්‍රෑරකම් පිළිබඳව දෙපාර්ශවයටම චෝදනා එල්ල විය. | HUMAN RIGHTS WATCH

යුද්ධයේ ක්‍රෑරකම් පිළිබඳව දෙපාර්ශවයටම චෝදනා එල්ල විය. | HUMAN RIGHTS WATCH

යුද්ධයේ අවසන් දිනවලදී ඊශානදිග මුලතිව් දිස්ත්‍රික් වෙරළ තීරයේ පළා යමින් සිටි සිවිල් වැසියන්ට වෙඩි තැබීම සම්බන්ධයෙන්, යුද්ධය අවසන් වූ වහා ඇතැම් දමිල ජාතිකයෝ දමිල සටන්කරුවන්ට චෝදනා කළහ. විශාල ක්‍රෑරකම්වල යෙදුණු බවට හමුදාව ද චෝදනා ලැබීය.

නමුත් මන්නාරම සමූහ මිනී වළෙන් සොයාගත් සිරුරු සමග යම් සම්බන්ධයක් තිබෙන බවට කරන ඕනෑම යෝජනාවක් හමුදාව ප්‍රතික්ෂේප කරයි.

‘‘මේ මිනී වළ සහ හමුදාව අතර නියත වශයෙන්ම කිසිම සම්බන්ධයක් නැහැ. මේ දක්වා කිසිම අයෙක් හමුදාවට චෝදනා කරලත් නෑ‘‘ යැයි හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු පැවසීය.

නමුත් සුළුතර දමිල ප්‍රජාව අතරින් බොහෝ දෙනා පවසන්නේ ශ්‍රී ලංකාවට සිය අතීතය පිළිගැනීමට සත්‍ය වශයෙන්ම අවශ්‍ය වන්නේ නම්, සමූහ සුසාන විමර්ශනය කිරීම මගින් අතුරුදන් වූවන්ගේ ගැටළුව අවංක ලෙස ආමන්ත්‍රණය කළ යුතුව ඇති බවයි.

බලපෑමට ලක් වූ පවුල්වලට යථා යෝග්‍ය පරිදි ශෝකවීමටත්, එතැනින් ඔබ්බට පිය මැනීමටත් හැකි වනු ඇත්තේ එවිට පමණි.

*****

ප්‍රධාන ඡායාරූපය : Tamil Diplomat



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි