×

හිටපු නිසාන් ලොක්කා පෙට්ටියක හැංගී ජපානයෙන් පළා ගිය හැටි

ජපානයේ නිසාන් මෝටර් රථ සමාගමේ ප්‍රධානී කාලෝස් ගෝස්න් මීට පෙර අවසන් වශයෙන් පුවත් මැව්වේ පෙට්ටියක සැඟවී රටෙන් පළා ගිය පුවතත් සමගිනි.


දැන්, වසර එකහමාරකට පසු එම නාටකයේ ජවනිකා රැසක් හෙළි වෙමින් තිබේ.

2019 දෙසැම්බරයේ සීතල රාත්‍රියක ලෝක මෝටර් රථ වෙළඳපොළේ පතාක යෝධයෙකු සේ සැලකුණු මිනිසෙක් පෙට්ටියක් තුළ සැඟවී ගුවන් ගත වන්නට බලා සිටියේය. අරමුණ, ජපානයෙන් පළා යාමයි.

‘‘යානය රෑ 11 ට ගුවන් ගත වන්නට නියමිත ව තිබුණා..‘‘ යැයි කාලෝස් පවසයි. ‘‘ගුවන් යානයේ පෙට්ටිය තුළ විනාඩි 30 ක් බලා සිටින්නට මට සිදුවුණා. එය, මගේ ජීවිතයේ අත් දුටු දිගම පැය බාගයයි.‘‘

ඔහු නිසාන් සහ රෙනෝල්ට් යන මෝටර් රථ සමාගම් දෙකේම ප්‍රධානියා ව සිටියේය.

BBC පුවත් සේවය සමග අති විශේෂ සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින්, තෝකියෝ අගනුවර ජනාකීර්ණ වීදිවලදී මිනිස් ඇසෙන් සැඟවී තමන් පැමිණියේ වෙස් වළාගෙන බව ද පැවසීය. ගුවන්ගත වන්නට ඔහු තෝරාගෙන තිබුණේ සංගීත භාණ්ඩ ගුවනින් ගෙන යාමේදී භාවිතා කරන ආකාරයේ විශාල ලෝහ පෙට්ටියකි. ඔහුට උවමනා වී තිබුණේ ලෙබනනය කරා යන්නට ය.

‘‘අන්තිමට මම කවදහරි මේ කතාව කියනවා කියල මම හිතාගත්තා.. ඒක තමයි ත්‍රාසය.‘‘

නිතරම ‘out of box’ සිතූ මිනිසෙකු වූ ඔහුට අවසානයේ පෙට්ටියක සැඟවී පළා යන්නට සිදු විය.

ඒ වන විට ඔහුගේ ජීවිතයට කණ කොකා හඬලා තිබිණි. 2018 නොවැම්බරයේදී ඔහුව අත්අඩංගුවට ගනු ලබන්නේ නිසාන් සමාගම විසින්ම කළ පැමිණිලිවල ප්‍රතිඵලයක් ලෙස ය. ඔහු විසින් සිය වැටුප වසං කළ බවටත්, සමාගමේ අරමුදල් අනිසි ලෙස භාවිතා කළ බවටත් චෝදනා නැගී තිබිණි. නමුත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

මේ කාලය වන විට ගෝස්න් නිසාන් සමාගමෙ සභාපතිවරයා ය. තවද ප්‍රංශයේ රෙනෝල්ට් සමාගමේ ද සභාපතිවරයා විය. මෙම මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙක අතර සහ ජපානයේ මිට්සුබිෂී සමාගම අතර සම්බන්ධතා ගොඩනැගීම භාරව කටයුතු කළේ ද ඔහු ය.

ඔහු මුලින්ම නිසාන් සමාගමේ වියදම් කපා හැරියේය. එය සමාගම් සේවකයන්ගේ විවේචනයන්ට ලක් වූයේ ලොක්කා ලොකු වැටුපකට සුර සැප විඳින බව ට ඔවුන් අතර මතයක් වූ නිසා ය. ඒ රටවල තිබෙන මූල්‍ය විනිවිදභාවය පිළිබඳ නීති අනුව, තමන්ගේම ආයතනයේ ප්‍රධානියාට එරෙහිව පැමිණිලි කිරීමට සේවකයන්ට සහ පාලනාධිකාරියට පුළුවන.

කෙසේ නමුත් අවසානයේ සමාගම ලාභ ලබන තත්වයට පත් කර ගැනීමට ඔහුගේ මෙම වියදම් කපාහැරීම සමත් විය. නමුත් ජපන් සමාගමට 43%ක කොටස් අයිතියක් තිබෙන රෙනෝල්ට් සමාගම විසින් තමන්ව ඒ හා සමාන්තරව ‘අමාරුවේ දැමීමට‘ කටයුතු කළ බව ඔහු කියා සිටියි. පැහැදිලිවම, ඔහුගේ පැත්තෙනුත් මෙයට කතාවක් තිබෙනවා විය යුතුය.

අත්අඩංගුවට ගත් මොහොත

මෙයට තුන් වසරකට පෙර තෝකියෝ ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගත් අවස්ථාව ඔහු මෙසේ විස්තර කරයි.
‘‘ඒක හරියට එක සැරේටම බස් එකක හැප්පුණාම දැනෙන හැඟීමට සමානයි. මම ත්‍රස්ත වුණා.. ඒ මොහොත ගැන මට මතක එකම දේ, මම දැඩි කම්පාවකට පත් වූ බව විතරයි..‘‘

ගෝසන් ව ටෝකියෝ රැඳවුම් මධ්‍යස්ථානයට ගෙන යනු ලැබිණි. එහිදී ඔහුට සිරකරුවන් අඳින ආකාරයේ ඇඳුම් ලබාදී කුටියක සිරගත කෙරිණි.

‘‘එක සැරේටම මට අත් ඔරලෝසුව නැතිව, පරිගණකය නැතිව, දුරකථනය නැතිව, ප්‍රවෘත්ති නැතිව, පෑනක්වත් නැතිව.. කිසිම දෙයක් නැතිව ජීවත් වෙන්න සිද්ධ වෙලා තිබුණා..‘‘

වසරකටත් වඩා එසේ ගත කළ ඔහු අවසානයේ ඇප ලබා නිදහස් වන්නේ තෝකියෝවේ නිවාස අඩස්සියක් ගත කිරීමට ය. නඩුව ඇරඹෙන්නේ කවදාදැයි කිව නොහැකි විය. නරකම දේ වූයේ නඩුව වසර ගණනාවක් ඇදී යාමට තිබූ ඉඩ කඩයි.

ජපානයේ conviction rate 99.4% ක්!

ජපානයේ අපරාධයකට චෝදනා ලැබුවෙකු, එම චෝදනාව සත්‍ය බව සනාථ වී දඬුවම් ලැබීමේ ප්‍රතිශතය (conviction rate) ඉතා ඉහළ ය. එය, 99.4%කි. එය ලෝකයේ ඉහළම අගයකි. අනතුරුව ද ගෝසන්, ඔහුට එල්ල වී තිබූ චෝදනා අනුව වසර 15 ක සිර දඬුවමක් විඳීමට බොහෝ දුරට ඉඩකඩ තිබිණි.

සිය භාර්යාව සමග පවා කිසිදු සම්බන්ධයක් පැවැත්වීමට අවසර නැති බව හිටපු නිසාන් ප්‍රධානියාට දැනුම් දුන්නේ නිවාස අඩස්සියේ සිටියදී ය. ඒ අනුව ඔහු තීරණයක් ගනියි. හොඳින් හෝ නරකින් මෙතැනින් ඉවත් ව යා යුතුය.

සැලසුමක් සැකසිණි. සැලසුම වූයේ මුහුණ සඟවාගෙන පළායාම ය. ‘‘ඒකෙදි මට කරන්න තිබුණු එකම දේ පෙට්ටියක් වගේ දෙයක හැංගිලා පැනල යන එකයි.. එතකොට කාටවත්ම මාව අඳුනගන්න බෑ.‘‘ යැයි ඔහු කියයි.

සංගීත භාණ්ඩ බහාලන පෙට්ටිය හොඳම විකල්පය ලෙස තෝරාගැනුණු බව ද ඔහු කියයි. ‘‘ඒක තමයි තාර්කිකම දේ වුණේ. ඒ කාලයේ ජපානයේ සංගීත සන්දර්ශන ගොඩක් පැවැත්වුණා..‘‘ එවිට කිසිවෙකු ඔහුව සැක නොකරනු ඇත.

නමුත් කලෙක සුප්‍රකටව සිටි – දැන් කුප්‍රකටව සිටින ඔහු වැනි අයෙක් තවදුරටත් ප්‍ර වේශම් විය යුතුය. නිවසින් පළා ගොස්, අගනුවර ගුවන්තොටුපොළ වෙත ද ගොස් ගුවන් යානාවකින් පළා යාමට තරම් මේ සැලසුම ප්‍රමාණවත් වේවිද…?

සැලසුමේ වැදගත්ම කොටස වූයේ හැකිතාක් සාමාන්‍ය පරිදි හැසිරීමයි.

‘‘ඉතාම සාමාන්‍ය දවසක, සාමාන්‍ය විදිහට ඇවිදින ගමන්, සාමාන්‍ය ඇඳුම් ඇඳගෙන මේක කරන්න ඕනෙ.. හිටිහැටියේම කාටවත් හිතාගන්න බැරි විදිහට හැම දේම වෙනස් වේවි…‘‘ ඔහු සිතුවේය.

නමුත් අංක එකට, ඔහු සතුව ‘ඉතා සාමාන්‍ය ඇඳුම්‘ තිබුණේ නැත. වසර ගණනක් ඔහුගේ ඇඳුම් අල්මාරියේ එකතු වී තිබුණේ මෝටර් රථ සමාගමක ප්‍රධානියෙකුගේ අධි විධායක ශ්‍රේණියේ සුඛෝපභෝගී ඇඳුම් කට්ටල් ය. නමුත් සාමාන්‍ය ඇඳුම් මිලදී ගැනීමට ඔහුට පිටතට යා නොහැක.

‘‘මොහොත‘‘

තෝකියෝවෙන් ගෝසන් ඔසාකා බලා ගියේ බුලට් දුම්රියෙනි. ඔසාකාවේ ඔහු එන තෙක් පුද්ගලික ජෙට් යානයක් ගුවන්තොටුපොළේ පිටත් වන අංගනයේ බලා සිටියේය. අසල හෝටලයක ගෝසන් වෙනුවෙන් විශාල පෙට්ටියක් ද බලා සිටියේය.

‘‘පෙට්ටියක් ඇතුළට ගියාම ඔබට අතීතය මතක් වෙන්නෙ නෑ. අනාගතය ගැන විතරයි හිතට එන්නෙ..‘‘ යැයි ඔහු කියයි.

‘‘මේක තමයි චාන්ස් එක.. මේක තමයි අවස්ථාව.. මේක තමයි අන්තිම අවස්ථාව..‘‘ යැයි ඔහු තමන්ට ම කියාගත්තේය.

පෙට්ටියේ සැඟවුණු හිටපු ධන කුවේරයාව ගුවන් තොටුපොළ කරා ගෙන යාම පිණිස දෙදෙනෙකු පැමිණ සිටියහ. ඔවුහු ඇමරිකානුවෝ වූහ. එම මයිකල් ටේලර් නමැත්තා සහ ඔහුගේ පුත්‍රයා පෙනී සිටියේ සංගීතඥයන් ලෙස ය. වසර එකහමාරක් සේ හැඟුණු පැය එකහමාරක කාලයක් ඔහු පෙට්ටිය තුළ සැඟව සිටියේය.

නිදහස්!

පුද්ගලික ජෙට් යානය ගුවන් ගත කළ පසුව ඔහු පිටතට ආවේය. ගුවන් යානය මුළු රාත්‍රියම පියාසර කළේය. තුර්කියේදී ඔහු වෙනත් ගුවන් යානාවකට මාරු වී පසුදින උදෑසන බීරූට් නුවරට ළඟා විය.

ලෙබනනයට ජපානය සමග උදර්පණ ගිවිසුමක් නැත. ඒ අනුව ජපානය ඉල්ලීමක් කළත් -නැතත්, මේ ජපන් ජාතිකයාව භාර නොදී සිටීමට ලෙබනය කටයුතු කරනු ඇත.

කාලෝස් ගෝසන් ලෙබනන් – බ්‍රසීල පුරවැසියෙකි. ඔහු උපන්නේ බ්‍රසීලයේ ය. ඔහුට ප්‍රංශ පුරවැසිකම ද විය.

කෙසේ නමුත් පළා යාමට උදව් කළ ඇමරිකානුවන් දෙදෙනාට දැඩි පීඩනයකට හසු වීමට සිදු විය. නිසාන් ප්‍රධානියා පළා ගිය පුවතත් සමග ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයේ සැක සහිත පුද්ගලික ජෙට් යානාය ගැන පුවත ඇවිළී ගියේය. මයිකල් ටේලර් සහ පුත් පීටර් ඇමරිකාව විසින් ජපානයට දඬුවම් පිණිස භාර දුන්නේය. දැන් ඔවුහු වසර 3 ක සිර දඬුවමක් විඳිමින් සිටිති.

හිටපු නිසාන් ප්‍රධානියා තමන් සමග නිවාස අඩස්සියට පත් වූ සිය සේවා සගයෙකු ගැන කණස්සල්ල පළ කරයි. ඔහුගේ නඩු විභාගය මේ වසර අගදී අවසන් වනු ඇත. ඉන්පසු බොහෝ විට ඔහු සිරබත් කනු ඇත.

‘‘ජපානයේ ප්‍රාණ ඇපකාර යුක්තික ක්‍රමයේ වින්දිතයන් බවට පත් වුුණු අය ගැන මට කණගාටුයි..‘‘ යැයි ඔහු කියයි.

ඊගෝ පිස්සෙක්!

BBC පුවත් සේවයේ ව්‍යාපාරික පුවත් සංස්කාරකවරයෙක් වන සයිමන් බ්ලැක්, නිසාන් ප්‍රධානියාගේ නැගීම සහ බැසීම හොඳින් අධ්‍යයනය කළ අයෙකි. ඔහු ගෝසන් ව කෙටියෙන් හඳුන්වන්නේ මෙසේ ය.

‘‘නියමුවෙක්.. දැක්මක් තිබූ අයෙක්.. ඊගෝ පිස්සෙක් (ego-maniac).., පිටස්තරයෙක්..‘‘

ඔහුට අනුව මෙම ධන කුවේරයා ජීවත් වූයේ කර්මාන්තයක ප්‍රධානියෙකු ලෙස නොව තමන්ගේම රාජ්‍යයක ලොක්කෙකු ලෙස ය. ඔහුගේ 60 වැනි උපන්දිනය දා සාදය පැවැත්වුණේ ප්‍රංශයේ වර්සායි මාළිගයේ ය. නිසාන් සමාගම බිය වි තිබුණේ සම්ප්‍රදායික ජපන් ව්‍යාපාරිකයාට එරෙහිව සිදුකෙරුණු ප්‍රංශ කුමන්ත්‍රණයක ගොදුරක් බවට ඔහු පත් වෙතියි කියා ය. රෙනෝල්ට් සමාගම ඔහුට සැබවින්ම ප්‍රිය කළේ නැත. පැරිස් සමාජයේ සඟරාවල ඔහුගේ පින්තූර පළ වන විට ඔවුහු මුහුණු හකුළා ගත්හ.

ඕනෑම ප්‍රධාන විධායක නිලධාරියෙකු තමන්ට බලපාන දේශපාලන බලවේග ගැන දැනුවත් ව සිටිය යුතුය. නමුත් නිසාන් සමාගම වසර 20 ක් ගොඩනැංවූ ඔහු ඒ සම්බන්ධයෙන් අන්ධයෙකු මෙන් පසු විය. තෝකියෝවේදී අත්අඩංගුවට ගන්නා තෙක්ම ඔහුට ඒ පිළිබඳ හාංකවිසියකවත් දැනීමක් තිබුණේ නැත. ඔහු තමන් ගැනම අධි තක්සේරුවකින් හා මමත්වයකින් පිරී ජීවත් වූ අයෙකි. එසේ ජීවත් වීම සඳහා සාධාරණ කාරණා ද ඔහු සතු විය.

දැන්, ඔහු හොලිවුඩ් චිත්‍රපටයකට නැගීමට සුදුසු ආකාරයේ පළා යාමකින් පසුව, සිය නීතීඥයන් ලවා නම රැක ගැනීමේ උත්සාහයක යෙදී සිටියි.

කවදා හෝ එය සිදුවන තෙක් ඔහු බීරූට් නුවර ආයුධ සන්නද්ධ ආරක්ෂකයන් කණ්ඩායමකට මැදි වී පිටුවහල් ජීවිතයක් ගත කරයි.

එතෙක් ඔහු, කුඩා පොකුණක සිර කර ඇති විශාල මත්ස්‍යයෙකි.

ජුලි 14 වැනිදා BBC 4 චැනලය ඔස්සේ ගෝසන්ගේ පළා යාම සහ ඔහුගේ කතාව The Last Flight යනුවෙන් වාර්තා චිත්‍රපටයක් ලෙස දිග හැරේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි