×

ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වසර 2 කට අත්හිටුවයි ! – ”ඊළඟ වතාවෙ ධවල මන්දිරයෙදි බලාගමු” යැයි ට්‍රම්ප් කියයි !

හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම් වසර 2 ක කාලයක් සඳහා අත්හිටුවීමට ෆේස්බුක් සමාගම තීරණය කළේය.


මෙම සමාජ ජාල දෙකේම හිමිකාරිත්වය දරන්නේ මාර්ක් සකර්බර්ග් ය.

ජනවාරි මාසයේදී ට්‍රම්ප්ගේ ෆේස්බුක් සහ ට්විටර් ගිණුම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කෙරුණේ ඇමරිකාවේ කැපිටල් හිල් ගොඩනැගිල්ල (කොංග්‍රස් ගොඩනැගිල්ල) වෙත සිදුකෙරුණු මැර ප්‍රහාරය, ඔහුගේ සමාජ ජාල භාවිතය විසින් උසි ගැන්වුණක් බවට පැහැදිලිවම පෙනී ගිය නිසා ය.

ෆේස්බුක් සමාගම, පසුගිය මාසයේදී සිය Oversight Board හරහා මෙම තීරණ නැවත සලකා බැලූ අතර, තීරණය වූයේ ට්‍රම්ප්ගේ ක්‍රියාවන් ‘ෆේස්බුක් රීති දරුණු ලෙස උල්ලංඝනය කිරීමක් බව’ ය. ඊයේ පටන් ක්‍රියාත්මක නවතම ෆේස්බුක් රීතිවලට අනුව, අසහනය හෝ ප්‍රචණ්ඩත්වය උසි ගැන්වෙන මත පළ කරන ප්‍රසිද්ධ පුද්ගලයන් (public figures) ගේ ෆේස්බුක් ක්‍රියාකාරිත්වය මාසයක සිට වසර 2 ක කාලයක් දක්වා අත්හිටුවීමට සමාගම ක්‍රියා කරයි.

මේ අතර, මෙම තීරණය පසුගිය වසරේදී තමන්ට ඡන්දය දුන් මිලියන ගණනක් වූ ඇමරිකානුවන්ට කරන ලද ‘නින්දාවක්’ යැයි ට්‍රම්ප් කියා තිබේ.

ට්‍රම්ප්ගේ අලුත්ම සටන් පාඨය – ‘‘ඇමරිකාව බේරා ගනිමු!‘

ෆේස්බුක් තීරණය නින්දාවක් බව ට්‍රම්ප් පවසා තිබෙන්නේ Save America නමින් මේ වන විට ට්‍රම්ප් ගොඩ නගාගෙන තිබෙන දේශපාලන කමිටුවක් හරහා ය. ට්‍රම්ප් දැන් ප්‍රර්ධනය කරන්නේ බයිඩන්ගෙන් ඇමරිකාව බේරාගත යුතුය යන අදහසයි.

මාර්ක් සකර්බර්ග් හට තර්ජනත්මක ලෙස අපහාස කිරීමටත් ඔහු මෙය අවස්ථාවක් කරගෙන තිබේ.

“Next time I’m in the White House there will be no more dinners, at his request, with Mark Zuckerberg and his wife,”

”ඊළඟ වතාවෙ මම ධවල මන්දිරයට ආවාම, මාර්ක් සකර්බර්ග් සහ ඔහුගේ බිරිඳ කොයිතරම් ඉල්ලීම් කළත් ධවල මන්දිරයේ රාත්‍රී භෝජන සංග්‍රහ ඔවුන් වෙනුවෙන් පවත්වන්නේ නැහැ..”

“It will be all business!”

යනුවෙන් ද ඔහු අනතුරුව කියා තිබේ. මෙයින් අදහස් කරන්නේ තමන් නැවත වරක් ඇමරිකාවේ ජනාධිපති වූ විට සකර්බර්ග් ව ධවල මන්දිරයට ගෙන්වා ඔහු සමග මෙය බේරුමක් කර ගන්නා බවකි!

ප්‍රධාන ඡායාරූපය – GETTY IMAGES



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි