BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මරණයට අත වනන ගුහා යට ලෝකය 

විටෙක ගුහාව තුළ ඇතැම් තැනක් දිස්වන්නේ වාතය පිරුණු කුටීරයක් ලෙස ය. එහෙත් ඇත්ත වශයෙන්ම එහි තිබෙනුයේ වාතය නොව ජලයයි.

තායිලන්තයේ ගුහා පද්ධතිය තුළ සිරවූ දරුවන් මේ වන විට ලෝකයේ ම අවධානය දිනා ගනිමින් පුවත් මවමින් තිබියදී ගුහා යට පරිසර පද්ධති පිළිබඳ ඔබ නොදත් තොරතුරු සම්භාරයකි, මේ.
මෙක්සිකෝවේ මහ වන මැද කළු පැහැ ජලය පිරුණු කුහර දිස්වේ. ඒවායේ ජලය වසර දහස් ගණනක් මුළුල්ලේ එකම ආකාරයකට පවතින්නා සේ ය. බැලූ බැල්මට අජීවි බවක් ද ඒවායින් පෙනේ. එහෙත් එය එසේ නොවේ. මෙයට වසර පන්සියයකට පෙර මායා ශිෂ්ටාචාරයට පණ පෙවූ දිය පිරුණු මහා විල් මේවා ය.
මෙක්සිකෝවේ යුකැටන් අර්ධද්වීපයේ ගංගා ඇළදොළ කිසිවක් නැත. එනිසා මායාවරුන්ගේ පැවැත්ම සහමුලින්ම රඳා පැවතුණේ සිනෝටීස් ලෙස හඳුන්වන මහා ජල කඳක් නිරන්තරව පිටාර යන අඳුරු ගුහා තුළ ය. මුළු යුකැටන් අර්ධද්වීපයටම තිබූ එකම ජල මුලාශ්‍රය එය විය.
සිනෝටීස් හැඳින්වීමට වඩාත් නිවැරැදි යෙදුම යෝධ මිරිදිය ළිං යන්නයි. කිඹුල්ලු ද, තාරාවෝ ද මනරම් මත්ස්‍යයෝ ද මෙහි වෙසෙති. ජීවකාරක හිරු කිරණවලින් බොහෝ ඔබ්බේ පිහිටා ඇති හෙයින් මේ මහා ගුහා විවර තුළ පැළෑටි නොමැති යැයි කෙනකුට සිතන්නට හැකි වූවත් එය එසේ නොවේ.
ගුහා තුළ තිබෙන අත්‍යන්ත අන්ධකාරය තුළ නිවර්තන ශාක වල යෝධමුල් සැඟවී තිබේ. ඒවා හුණුගල්වල කුඩා පැලුම් අතරින් රිංගා මෙකී ගුහා විවර වෙත ජලයට ඉව කරමින් ඇදී විත් තිබේ. යුකැටන් වනය මෙතරම් හරිත පැහැයෙන් සරුසාර වන්නට හේතුවද මේ මහා ජල කඳ තුළ රුක් මුල් සැඟවී තිබීමයි. ඒවා නොතිබිණි නම් වනයේ වනස්පතීන් මෙතරම් බිහිවන්නේ නැත.
සැතපුම් ගණන් දුරට විහිදෙන, අඩි සිය ගණනක් ගැඹුරු මේ ගුහා දිය මත තම ජීවය ද රැඳී ඇති බව මායාවරු දැන සිටියහ. නුතන මානවයා එහි ගැඹුර සහ දිග පළල තවමත් ඔවුන් තරමට නොදන්නවා විය හැකිය.
නූතන තාක්ෂණයේ දියුණුතම උපකරණවලින් මිස මෙකී ගුහා තුළින් විහිදෙන මං පෙත් සොයා ගැනීමට ඔහු කිසිදා සමත් නොවේ. එහෙත් අද දක්වා ද මේවා ගවේෂණය කර තිබෙනුයේ සැතපුම් තුන්සිය පනහක දුරක් දක්වා පමණි. එනිසාම ඒ නොදන්නා ලෝකයේ ගැඹුර කොතෙක්දැයි කිසිවෙක් නොදනිති.
දිය යට ගුහා අති අවදානම් ය. එබඳු ගුහාවකට පය තබන කිමිදුම්කරුවකු හට, තවත් සැතපුම් සිය ගණනක් ඉදිරියට පිහිනා යන තෙක් එයින් පිටවන මගක් හමුනොවන්නට ද ඉඩ තිබේ. ගුහා පත්ලට ළඟාවත්ම වාතයද ක්‍රමයෙන් අඩුවෙයි. ඒ මදිවාට පත්ලෙන් සහ පැතිවලින් විහිදෙන ස්ටැලගමයිට් හුණු ගල් කූරු මාරක ස්ථම්භ සේ දෙපසින්ම අවි අමෝරාගෙන ය.
මෙවැනි ගුහාවකදී මං මුළාවීම වළක්වා ගැනීම සඳහා නුතන පිහිනුම්කරුවෝ අපූරු උපායක් අනුගමනය කරති. එය නම්, ස්පූල් ඔෆ් ස්ප්‍රින්ග් නමැති උපකරණය රැගෙන යාමයි. එය මණ්ඩාවක් හෝ හාපුනයක් වැනි ය. ඕනෑම මොහොතක ආ මග ඔස්සේ ආපසු යාමට මඟපෙන්වන නූලක් එම උපකරණයට ඇදී තිබේ. එය මිනුම් පටියක් ලෙස භාවිතා කිරීමට ද පුළුවන. මෙක්සිකෝවේ පිහිටා තිබෙන, ලොව දැවැන්තම භූගත ගුහාව මැනීම සඳහා භාවිතා කෙරුණේ මෙම රැහැනයි.
ගුහා ගවේෂණයේදී තියුණු ගල් කුලු හා ගල් පතුරු අතර ඇති පටු ඉඩ තුළින් රිංගා යාම අවශ්‍යයෙන්ම කළ යුත්තකි. මෙහිදී කිමිදුම්කරුවන් දරුණු රැවටීම්වලට හසුවීමට ඉඩ තිබේ. විටෙක ගුහාව තුළ ඇතැම් තැනක් දිස්වන්නේ වාතය පිරුණු කුටීරයක් ලෙස ය. එහෙත් ඇත්ත වශයෙන්ම එහි තිබෙනුයේ වාතය නොව ජලයයි. මේ අතර මිරිදිය ජලය ලවණ ජලය සමඟ එක්වන ස්ථානයන් ද මෙහිදී හමුවේ.
එබඳු ස්ථාන හෙයිලෝක්ලයින් ලෙස හැඳින්වේ. මෙහිදී සිදුවන දෙය අපුරු ය. වනයේ සිට ගලා එන මිරිදිය ජලය සයුරේ ලවණ ජලය මතින් ගලා යයි. එහිදී ඝනත්වයෙන් වෙනස් ජල ස්ථර දෙකක් ලෙස ඒවා එක මොහොතකට දිස්වෙයි. කරදිය ස්ථරයේ ඔක්සිජන් ප්‍රතිශතය ඉතාම අඩුය. එවිට එය ජීවය සඳහා අතිශයින්ම අසීරු තැනකි.
නමුත් මෙම අසීරු පරිසරයේ පවා ජීවත් වන්නට සමත් වන්නෝ සිටිති. රෙමිපේඩ් ලෙස හඳුන්වන පුරාණතම ක්‍රස්ටේසියා සාමාජිකයා හෙවත් කකුළුවා ඒ අතරින් එකෙකි. අඳුරු ගුහා ජලයේ කරදිය සහ මිරිදිය මුසුවන තැන්හි සුදුපැහැ විදුලි සැර ලෙස පිහිනා යන්නේ උන් ය. මෙහි දහවල ද උත්සවකාරී රාත්‍රියක් මෙනි.
මේ භූගත ගුහා පද්ධති අවසානයේ උමං ගංගා සමඟ එක්වේ. ඒ දිය මං පෙත් අවසානයේ අර්ධද්වීපයේ කුමක් හෝ තැනකින් මහ සමුදුර වෙත ගලා බසියි.
අවසාන අයිස් යුගයේ සිටම බාහිර පරිසරයෙන් වෙන්ව තිබූ මේවා සැඟවුණු ලෝකයේ විස්මයක් බඳු ය.

සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

හිරෝෂිමාවේ ශෝකාන්තය : න්‍යෂ්ටික බෝම්බ හෙළා අදට වසර 77ක්

ඉන්දියාවේ ‘මනාල වෙළඳපොළ’ ක් ….

ලෝකයක් වසඟ කළ සරාගිනිය; මැරිලින් මොන්රෝ

ගෝලීය උණුසුම හේතුවෙන් ෆ්ලොරිඩාවේ සෑම මුහුදු කැස්බෑවෙකුම පාහේ ගැහැණු සතුන් ලෙස උපත ලබයි.

විශ්වයේ නව මානයන් හෙළිකරන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය

සුන්බුන් අතර ජීවිත සොයන පාකිස්ථානුවන් ;මෝසම් වර්ෂාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 437 ඉක්මවයි.

කැරට් 170ක විශාලතම රෝස දියමන්තිය අප්‍රිකාවෙන් සොයා ගැනේ.

error: Content is protected !!
error: Content is protected !!