×

බේකන්ගේ ප්‍රබන්ධ – අධිරාජ්‍යයන් මේ වගේ ය!

ඔබට තවත් ලැබීමට ඇත්තේ ඉතා ස්වල්පයක් වීමට පුළුවන. නමුත් ඒ සියල්ලම ලැබීමෙන් ඔබ සතු කරගෙන සිටින ප්‍රීතිය, භීතිය නමැති මාරක විෂ මගින් ඉතා දුක්ඛදායක ලෙස යටපත් කරනු ලබයි.


 රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් බේකන් සාමිවරයා හට ඇත්තේ අතිශය සාර්ථක අත්දැකීම් සමූහයකි. ඔහු විනිසුරුවරයෙකු වශයෙන්, රාජ්‍ය පරිපාලකයෙකු වශයෙන් හා ප්‍රකට දේශපාලනඥයෙකු වශයෙන් ලැබූ අත්දැකීම් ද මෙම දිගු නිබන්ධනයට බොහෝ සෙයින් පසුබිම් වී තිබේ. රජුන් ඇසුර කිරීම අනතුරුදායක කාර්යයකැයි ඔහු මෙහිදී නිසැක වශයෙන්ම පවසයි. එය සපුරා සත්‍යයක් බව ඔහුගේ දුක්ඛදායක අවසාන කාලය නිරීක්ෂණය කිරීමෙන් ද හෙළිවෙයි. “රජුන්ට සේවය කළෝ කඩුවෙන්ම නසින්නෝය’’ යන්න ප්‍රකට සිංහල කියමනකි. පහත පරිවර්තනය සැකසෙන්නේ ඔහුගේ ‘අධිරාජ්‍යය‘ පිළිබඳ ප්‍රබන්ධය ලිහිල් බසින් සිංහලයට නැගීමෙනි.

රජුන්ට සේවය කිරීම, කඩු මුවහත ලෙව කෑමක් වැනි යැයි ද, සිංහයෙකු වැලඳගැනීමක් වැනි යයි ද, සැපින්නකගේ මුඛය සිඹීමක් වැනි යැයි ද සංස්කෘත කවියෝ පවසා ඇත්තාහ.

ඔබට තවත් ලැබීමට ඇත්තේ ඉතා ස්වල්පයක් වීමට පුළුවන. නමුත් ඒ සියල්ලම ලැබීමෙන් ඔබ සතු කරගෙන සිටින ප්‍රීතිය, භීතිය නමැති මාරක විෂ මගින් ඉතා දුක්ඛදායක ලෙස යටපත් කරනු ලබයි. සාමාන්‍යයෙන් රජුන් සම්බන්ධව නම් මෙම කාරණය පරම සත්‍යයකි. රජුන් හට තවත් ලැබිය යුතු සැප සම්පතක් නොමැති තරම්ය. අඩුපාඩුකම්ද නැතිබැරිකම්ද නොමැති තරම්ය. එහෙත් ඔවුන් පවා බිය විය යුතු, තැතිගත යුතු අවස්ථා එමටය. “රජෙකුගේ හදවත, මිනුම් කළ නොහැකි වස්තුවකි’’ යැයි පණ්ඩිතයන් කියා ඇත්තේ ඒ නිසාය.

රජ දරුවන්ගේ ආශා, ප්‍රාර්ථනා හා බලාපොරොත්තු අහස තරමට උස්ය. විශාලය. ඇතැමෙක් බෝනික්කන්ට ප්‍රිය කරති. එවිට තවෙකෙක් ආශා කරන්නේ ගොඩනැගිලිවලට ය. තවෙකෙක් තමන්ට ඇති සැපත, රාජ ආඥා පුරවැසියන්ට පැනවීම යැයි තරයේ සිතයි. එසේම පුද්ගලයෙකු උසස් තත්ත්වයට පත්කරලීමට එසේත් නැතිනම් කිසියම් කලාවක කෙළ පැමිණීමට තවත් රාජයෙකු ආශා කරනවා වීමට පුළුවන. වීණා ශිල්පයෙහි කෙළ පැමිණි නීරෝ අධිරාජ්‍යයා, තම රෝමය ගිනි ගනිද්දී ද විණාව වැයුවේය. දොමිටියන් අධිරාජ්‍යයා ධනු ශිල්පයෙහි හසල ශූරයෙකු විය. කොමෝඩස් පතාක යෝධයෙකු වූයේ පංචා කෙළියෙහිය. කැරකලා අධිරාජ්‍යයා යුද්ධ රථ පැදවීමේ ශිල්පයේ මහා පුරුෂයෙකු විය. රජ දරුවන් පිළිබඳ මේ සත්‍ය පුවත්, කෙතරම් උස් ස්ථානයක වැජඹුණත් මිනිස් සිත, ඉතා සුළු කාර්යයන්ගෙන් පවා සතුටට පත්වන බව නොඅදහන බොහෝ පුද්ගලයන්ට විශ්වාස කටයුතු ආරංචියක් වනු ඇත.

තම රාජ්‍ය යුගයේ මූලාරම්භක අවධියේ පටන් සියල්ලම දික්විජය කර ජය ලබාගන්නා, විදේශ රාජ්‍ය අත්පත් කරගන්නා බොහෝ රජ දරුවන් තම රාජ්‍ය කාලයේ පශ්චිම යුගයේ දී පශ්චතාප වන්නේ තවත් දික්විජය කිරීමට දේවල් නොමැති නිසාවෙනි. මහා ඇලෙක්සැන්ඩර් රාජ්‍යයා මියගිය බවට ජනප්‍රවාදවල කියැවෙන්නේ එකල දැන සිටි මුළුමහත් ලෝකයම අත්පත් කරගෙන සිටි බැවින් “තවත් මට දිනාගන්නට රටවල් නැතැයි’’ හටගත් සන්තාපය නිසා, අධික ලෙස සුරා පානය කළ නිසාවෙනි. එම අධික සුරාපානය නිසා කායික හා මානසික වශයෙන් දුර්වල වූ ඔහු මිය ගියේ උණසන්නිපාතය වැළඳීමෙනි. එසේම ක්‍රිස්තු වර්ෂ 305 දී ජර්මානු අධිරාජ්‍ය ඩියොක්ලිෂන් ද ක්‍රිස්තු වර්ෂ 1556 දී පස්වෙනි චාල්ස් රජ ද පිළිවෙළින් ඇල්මේනියාවට හා ස්පාඤ්ඤයට පලා ගියෝය. හේතුව කුමක්ද? ඒ දෙදෙනාටම තවත් අත්පත් කර ගැනීමට රටක් නොමැතිකමින් සිත් කලකිරී තිබීමයි. ඉදිරියටම යන තැනැත්තා හට තම ඉදිරි ගමනට එරෙහි යම් බාධකයක් පැනනැගුණු කල ඔහු එයින් නිරුත්තර වෙයි. තවද ළත වෙයි.

අධිරාජ්‍යයක් පවත්වා ගැනීමත් අහිමි කර ගැනීමත් සම්බන්ධව බොහෝ කාරණා සැඟවී පවතියි. එම කාරණා දෙවර්ගය එකිනෙකාට ප්‍රතිවිරුද්ධය. උදාහරණයක් වශයෙන් ඇපලෝ නියස් සහ වෙස්පාසියන් අතර මෙබඳු සංවාදයක් ඇතිවූයේලු.

වෙස්පාසියන් :- නීරෝගේ පිරිහීමට හේතුව කුමක්ද?

ඇපලෝනියස් :- ඔහු වීණා වාදනයෙහි අති දක්ෂයෙකි. එහෙත් අධිරාජ්‍ය පාලනයේදී ඔහු විටෙක තත ඉතා බුරුලටත්, විටෙක තත ඉතා තදටත් වාදනය කරන්නට පුරුදුව සිටියේය.

මෙයින් හෙළිදරව් වනුයේ කුමක්ද? බලය සීමාතික්‍රාන්ති වීම හා බලය නිසි තැන නොයෙදීම අධිරාජ්‍යයක පරාභවයට හේතුකාරක වන බවයි.

රජ දරුවන් පිළිබඳව මෑතකාලීන ඉතිහාසය සිහිපත් කරන කල්හි රජ දරුවන්ගේ ඇසුරෙන් සැපතට හා විපතට පත්වූවන්ගේ විත්ති වැල නොකැඩී අනාවරණය වන්නට පටන් ගනී. එයින් එක් කරුණක් ඉතාම කදිමට පැහැදිලි වෙයි. එය නම්, “ඔවුන්ව දුරින් ඇසුරු කිරීම සැපතට හේතු නොවේ. ඒ ආකාරයටම ඔවුන්ව ළඟින් ඇසුරු කිරීම වඩාත් විපත්තිදායක වේ.’’ හේතුව මෙයයි. ගිනි පුලිඟුවක් කිනම් වෙලේ ඇවිලෙන්නේද යන්න කිසිවෙකු හට කල්තබා පැවසීමට නොහැකිය.

රජ දරුවන් විසින් පවරන ලද රාජකීය කාර්යයන්හි නිරත වීම ඉතාම භයංකාරය. තවද අන්තරායකරය. බොහෝ විට එම බිය සිත තුළ ඇති වන්නකි. “රජ දරුවන්ගේ සිතුම් පැතුම් බොහෝ විට පරස්පර විරෝධීය.’’ යන්න ප්‍රකට ආත්තෝපදේශයකි.

රජවරුන් හට තමන්ගේ අසල්වැසියන් සමග, භාර්යාවන් සමග, දරුවන් සමග, පූජකයින් සමග, සුළු රදළයන් සමග, වෙළෙන්දන් සමග, සාමාන්‍ය ජනයා සමග හා යුද්ධ භටයන් සමග නිරන්තරව කටයුතු කිරීමට සිදුවෙයි. මෙහිදී ඉහත පුද්ගලයින් සමග ඉතා ප්‍රවේශමෙන් කටයුතු නොකළහොත් ඕනෑම මොහොතකදී ඔහුට නපුරක් සිදුවීමට ඉඩ තිබේ.

රජ දරුවන් අසල්වැසි රාජ්‍යයන් සමග කටයුතු කළ යුත්තේ අසුවල් ආකාරයටැයි කලින් පැවසිය නොහැක්කේ ඒ ඒ අවස්ථාවලට උචිත පරිදි කටයුතු කළ යුතු නිසාවෙනි. එසේ නමුත් රජවරු නිතරම තම අසල්වැසි රාජ්‍යය කුමන හෝ අංශයකින් තම රාජ්‍යය අභිබවා නැගි සිටින්නේ දැයි පරීක්ෂාකාරී වෙති. එයට හේතුව අසල්වැසි රාජ්‍යයේ නැගීම තම රාජ්‍යයේ බැසීමට හේතුවක් වන නිසාය. එසේනම් අසල්වැසි රාජ්‍යයේ දියුණුවට බාධා කිරීම පිණිස උපදේශක මණ්ඩල ඇති කළ යුතුමය. අතීතයේ එංගලන්තයේ අටවැනි හෙන්රි ෆ්‍රැන්සිස් රජ සහ ජර්මනියේ පස්වැනි චාල්ස් රජු යන රජ තුන් කට්ටුව කෙතරම් දුරකට එකිනෙකාගේ රාජ්‍යයන් පිළිබඳව ඇස ගසාගෙන සිටියේදයත්, මේ තිදෙනාගෙන් එක් අයෙකුටවත් අන් දෙදෙනාට නොදැනෙන්නට තම රාජ්‍යය අහලකින්වත් වර්ධනය කරගත හැකි වූයේ නැත. එහි ප්‍රතිඵලය ඉතා යහපත් එකක් විය. ත්‍රිවිධ රාජ්‍යයටම තිබුණේ බොහෝ දුරකට එක සමාන බලයකි. එක් රාජ්‍යයකින් හෝ තම සීමාවෙන් පිටතට පැන, දේශ සීමාව වර්ධනය කර ගැනීමට තැත් කරත්ම ඉතිරි අධිරාජ්‍ය දෙක හදිසි සමගි සන්ධානයකින් මිත්‍රශීලී බවට පැමිණෙති. ඉන්පසු ඉදිරියට ආ අධිරාජ්‍යයට අභියෝග කර සිටිති. මෙලෙසින් යුද්ධයක් ඇති වන තෙක් ස්ථාවර සාමයක් පැවතෙයි. රාජ්‍යයන් දෙකක් අතර යුද්ධයක් ඇති නොවන්නේ යන වියත් බහ සැක කටයුතු වූවකි. එයට හේතුව යුද්ධයක් ඇතිවීම සඳහා අනතුරක් සිදුවීමට ඉඩ ඇත නමැති සැක සහිත සිතිවිල්ලම ප්‍රමාණවත් වන නිසාය. බොහෝ යුද්ධවල සාධාරණ හේතුව බවට පත්වන්නේ සැකයයි.

මිනිසා වඩාත්ම ප්‍රවේශම් විය යුත්තේ රජවරුන් සහ භාර්යාවන් සම්බන්ධව කටයුතු කිරීමේදීය.

ලිඩියා රැජින ඇගේ ස්වාමිපුරුෂයාට වස දී මැරුවාය. ක්‍රිස්තු වර්ෂ 1553 දී මුස්තාපා සුල්තාන් මිය යාමට හේතුව සොලිමාන්ගේ භාර්යාව වූ රෝක්සලානාය. ඇය සුල්තාන්ගේ සුළු මව වූවාය. එංගලන්තයේ දෙවැනි එඩ්වඩ් රජුවූ සිංහාසනයෙන් නෙරපීමට මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ඔහුගේම අග බිසවයි. එසේ හෙයින් රජ දරුවන්, විශේෂයෙන්ම පරපුරුෂ සේවනයට නැඹුරු භාර්යාවන් හිමි රජ දරුවන් තම භාර්යාවන්ගෙන් විශේෂයෙන් ප්‍රවේශම් විය යුත්තේමය.

රජවරුන් හට තම රජ දරුවන් හේතුකොට ගෙන ද ඉතා විශේෂ අන්තරායන්ට මුහුණ දෙන්නට සිදුවෙයි. විශේෂයෙන්ම පිය රජවරුන්, තමන්ගේ පුත් කුමරුවන් සැක කිරීමට පටන් ගත් වේලේ පටන් ඇතිවන්නේ ඉතා කණගාටුදායක, එපමණටම අනතුරුදායක තත්ත්වයකි. ඉහත කී මුස්තාපා, ඔහුගේ සුළු මව විසින් මරණයට පත්කිරීමෙන් තුර්කි රාජ්‍ය වංශයට වූ පාඩුව කිසි දිනෙක පිරිමසාලිය නොහැකිය. ඉතාමත්ම දුර්ලභ ගණයේ අනගි ගති පැවතුම්වලින් හෙබි ක්‍රිස්පස් රාජ කුමාරයාව මරා දමනු ලැබුවේ ඔහුගේම පිය රජු වූ මහා කොන්ස්ටැන්ටිනස් අධිරාජ්‍යයා විසිනි. එසේ නමුත් මෙම ම්ලේච්ඡ ක්‍රියාවේ අවසන් ප්‍රතිඵලය වූයේ කුමක්ද? ඔහුගේ තවත් පුතුන් දෙදෙනෙකු වූ කොන්ස්ටැන්ටිනස් හා කොන්ස්ටන්ස් ද මරණයට පත්වීමයි.

ඔවුන්ට ඉතිරිව සිටි එකම පුත්‍රයා වූ කොන්ස්ටැන්ටිනස් රෝගියකු බවට පත්වී අන්ත දුක් විඳ මිය යාමයි. මැසිඩොනියාවේ දෙවැනි පිලිප් රජු තමන්ගේ පුත් කුමාරයා වූ දෙමිට්‍රියස් ව මැරෙව්වේය. අවසානයේ එම ශෝකයෙන්ම රෝගාතුර වී ඉතා දුක්ඛදායක ආකාරයකට මරණයට පත්වන්නට ඔහුට සිදු විය. පිය රජුන් මේ ආකාරයට තම අහිංසක පුත් කුමාරවරුන් සම්බන්ධයෙන් හැසිරී ඇතුවා පමණක් නොව සාහසික පුත් කුමරුවරුන් ද තම පියරජුන් සමග සටන් වැද ඔවුන්ව මරණයට පත්කරවන සාහසික ආකාරයට හැසිරී තිබේ. උදාහරණයක් පවසන්නේ නම් බොජාසෙට් රජුට එරෙහිව යුද්ධ කළේ ඔහුගෙම පුත්‍රයා වූ සෙලයිමයිය. එංගලන්තයේ පස්වැනි චාල්ස් රජුට විරුද්ධව අවි ඔසවාලූයේ ඔහුගේම පුත්‍රයන්ය.

තමන්ගේ ආගමික පූජකවරුන් තමන්ට වඩා බලසම්පන්න වූ විටත් අහංකාර වූ විටත් රජවරුන් කරදරයේ වැටෙති. අතීතයේ මහ රජුගේ කඩුපත හා ගැටෙන ලෙස තමන්ගේ කුරුසි සවිකළ පාරිදර්ශක සැරයටි රැගෙන කැන්ටබරියේ අගරදගුරුවරු පැමිණියහ. ඒ අනුව අගරදගුරු ඇන්සෙල්මස්, පළමුවැනි හෙන්රි රජු සමගත්, අගරදගුරු තෝමස් බෙකට්, දෙවැනි හෙන්රි රජු සමගත් ගැටුණහ. සාමාන්‍යයෙන් මෙවැනි පූජක පාක්ෂිකයෝ රජුන් විසින් තම කැමැත්තට අනුව පත්කළ අය නොවූ විටත්, තම රජයටත් වඩා විදේශ රාජ්‍ය කෙරෙහි තම අණසක පතුරවන්නට තරම් සමත්කමක් ඇති අය වූ විටත් මෙම තත්ත්වය වඩාත්ම දැකගත හැකිය.

රදළවරුන්ව හැකිතාක් දුරස්ව තබාගැනීම නුවණට හුරුය. එවිට රජුට තම නිෂේධ බලය භාවිතා කිරීමට තරම් ඉතා කදිම නිදහසක් ලැබෙයි. නමුත් රදළවරුන්ව හැමවිටම කොන්කර තිබීම ද ඉතාමත්ම අනතුරුදායකය. උදාහරණයක් වශයෙන් රදළවරුන්ගෙන් තොරව පාලනය ගෙන ගිය නිසාම සත්වන හෙන්රි රජුගේ පාලනය අතිශය කරදර සම්පන්න එකක් බවට පත්විය. ඔහු රදළ ඇසුර දුරින් දුරු කොට සිටි කෙනෙක් වූයෙන් මතුපිටින් ඔහු සමග හිතවත් බවක් ඇඟවූ රදළයෝ, ඔහුට රහසින් රාජ්‍යයේ සියලු කටයුතු අවුල් වියවුල් කර දැමූහ.

එහෙත් ක්‍රියාවට වඩා කතාවට මුල්තැන දෙමින් පුරාජේරු ගසන රදළයන්ගෙන් රජුට එතරම් බරපතළ අවැඩක් සිදුවීමට ඉඩක් නැත. එවැන්නෝ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලට ඇඟිලි ගසනවාට වඩා මහජනයා අතරේ නම් හොඳ නම රඳවා ගැනීමට ප්‍රිය කරති. එනමුත්, මහජනයා සමග සමීපම සබඳකම තිබෙන්නේ මොවුන් හට වන හෙයින් රජුන් කෙරෙහි අප්‍රසාදජනක හැඟීම් ඇති කිරීමට ඉතා හොඳ හැකියාවක් මොවුන්ට ඇති බවද අමතක කළ යුතු නැත.

රටක ආර්ථිකය නමැති සිරුරේ රුධිරය ගෙන යන ප්‍රධාන රුධිර නාලය එරටෙහි වෙළෙඳ ප්‍රජාවයි. ඔවුන්ගේ දියුණුවක් සිදු නොවන්නේ නම් එහි අදහස, රාජ්‍යය – දේශය, අවයව හොඳින් ඇති සම්පූර්ණ දේහයක් වුවත් එම දේහය පුරා රුධිරය වෙනුවට ඇල් ජලය සංසරණය වන බවයි. එයින්ම එම සිරුර රෝගී වන බවයි. වෙළෙඳ ජනයාට පනවන අය බදු ඉහළ දැමීම රජයට හිතකර නමුත් එයින් ඉතා විශාල හානියක් ද රජයට සිදු වෙයි.

රජුන් මහජනයා පිළිබඳ බිය විය යුතු නැත. එහෙත් මහජනයා අතරින් ප්‍රබල හෝ අත්තනෝමතික නායකයින්, ප්‍රබලයින් පැන නැගීමට උත්සාහයක් තිබේ නම් එවිට රජ මහජනයාගෙන් ප්‍රවේශම් විය යුත්තේමය. තවද රජයේ ආගම, සිරිත් විරිත් හා ජීවනෝපාය පිළිබඳ ජනතාව ප්‍රශ්න කරන විටදී රජ මහජනයා සම්බන්ධව ඉතා විශේෂ සැලකීමකින් කටයුතු කළ යුත්තේමය.

යුද භටයින් එකා මෙන් නොසිටින තාක්කල් එම යුද්ධ හමුදාව එරටේ රාජ්‍යයට හානියක් හෝ තර්ජනයක් නොවේ. එහෙත් එය එසේ වන කළ රජුන් පැතිය යුත්තේ දෙවියන්ගේ පිහිටයි. රෝම පුරයට කඩා වැදුණ ජැනිසාරිස් හමුදාව නිසා රෝම අධිරාජ්‍යයා හට අත්වූ ඉරණම අමුතුවෙන් පවසාලිය යුතු නොවේ. ඒ නිසා යුධ භට හමුදාව පුහුණු කරවිය යුත්තේ වෙන් වෙන් වශයෙන්, වෙන් වෙන් පළාත්වල, විවිධ අණදෙන නිලධාරින් යටතේය.

රජ දරුවන්, සුබ පල ඇතිකරන රාශි චක්‍රයේ ග්‍රහ තාරකාවන් වැනිය. ඔවුහු ඉමහත් ලෙස ගෞරව ලබති. එහෙත් කිසිම විටෙක නිදහසක් හෝ විවේකයක් නොලබති.

“ඔබ මිනිසෙකු බව සිතාගත යුතුය. එහෙත් ඔබ දෙවියෙකු බවත් නැතහොත් දෙවියන්ගේ නියෝජිතයා බවත් එලෙසින්ම ඔබ සිතාගත යුතුය.’’

රජුන් සම්බන්ධයෙන් දිය හැකි හොඳම ආප්තෝපදේශය මෙය විය යුතුය.

– ක්‍රිෂාන්ති රාජපක්ෂ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි