BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

මුව ගුහාවේ දුගඳක් නැති රහසක්

මුව ගුහාව කෙතරම් දැවැන්තදැයි කිවහොත්, එහි හුණුගල් පෘෂ්ඨවල නේක සත්වයෝ අසංඛ්‍යය්‍ය සංඛ්‍යාවක් ජීවත් වෙති. ගුහාව තුළ තත්ත්වය ඊටත් වඩා සංකීර්ණ ය.

භූගර්භයේ පවතින සැඟවුණු ලෝකය සහමුලින් ම පාහේ හුණුගල්වලින් නිර්මිත ව ඇත්තා සේ පෙනේ. හුණුගල් හෙවත් ලයිම් ස්ටෝන් සමන්විත වන්නේ සිප්පිකටු හෝ කොරල්පර මෙන්ම කැල්සියම් කාබනේට් රසායනිකයෙනි. එහෙත් වැසි දියේ කාබන්ඩයොක්සයිඩ් වායුව දියවීම මගින් තැනෙන දුර්වල කාබොලික් අම්ලය, ශතවර්ෂ ගණනක් මුළුල්ලේ එකම ආකාරයකට හුණුගල් පර මතින් ගලා යාම නිසා තැනෙන ලොව විස්මිත ය. බෝනියෝ දූපතේ දී එය විසින් මවා තිබෙනුයේ අහස වෙත විහිදුණු ඉදිකටු ජාලයකි. මේ යෝධ ඉඳිකටුවල තුඩු ඉතා තියුණු ය. එහෙත් එයින් මැවෙන සැර බව, එහි පසුබිම තනන හරිත වනාන්තරය විසින් දියකර හරිනුයේ ලොවේ සුන්දර ම දසුනක් මවමිනි.

වැසි දිය විසින් මෙසේ හුණුගල් දියකර හැරීම නිසා පොළොවෙන් යට සිදුවන දෑ ඊටත් වඩා විස්මිත ය. සැතපුම් ගණන් දුර දිවෙන යෝධ සහ අඳුරු ගුහා පද්ධති ඒ නිසා තැනෙයි. එවිට පොළොව තුළ ද දියඇලි ය. ඒවා ගුම් නද දෙමින් තව තවත් භූ අභ්‍යන්තරය ට ම කඩා හැළෙයි. එසේ නිර්මාණය වූ ලොව විශාලතම භූගත මං තුළින් ලොව විශාලතම ජම්බෝ ජෙට් යානාවලට පවා පියාසර කළ හැකිය. බෝනියෝ දූපතේ ම තවත් තැනකින් මේ අඳුරු – සොඳුරු අරුමය ද දැකගත හැකි ය. එය නම් ‘ඩියර් කේව්’ හෙවත් ‘මුව ගුහාව‘ යි.

මුව ගුහාව කෙතරම් දැවැන්තදැයි කිවහොත්, එහි හුණුගල් පෘෂ්ඨවල නේක සත්වයෝ අසංඛ්‍යය්‍ය සංඛ්‍යාවක් ජීවත් වෙති. ගුහාව තුළ තත්ත්වය ඊටත් වඩා සංකීර්ණ ය. ‘රැලි වැටුණු තොල් සහිත වවුලන්’ හෙවත් ‘වින්ක්ල්-ලිප්ඩ් බැට්ස්’ මිලියන තුනක් හෙවත් ලක්ෂ තිහක් ඕනෑම මොහොතක මේ තුළ රැස්කමින් සිටින අයුරු දැකගත හැකිය. උන්ගේ සිරි සිරිය මී මැසි පොදියක මී මැස්සන් දඟලන්නාක් මෙනි. එය එකම කර්ණකටුක මැසිවිල්ලකි. ඒ හඬ බියජනක ය. මූසල ය. අපි‍්‍රයජනක ය. එහෙත් මේ උන්ගේ ලෝකයයි. උන්ගේ රජදහනයි. උහු එහි ප්‍රපාතාකාර බිත්තිවල උස් මට්ටම්වල හා පියැස්සේ මහත් නිදහසින් එල්ලී ජීවිතය ගත කරති. ලොවේ අන්කවර තැනකදීටත් වඩා මෙතැනදී උන් ආරක්ෂිත ය. පිටස්තර උවදුරු කිසිත් නැත. සතුරන් ද ඉතා හිඟ ය.

ඉතා උස් මට්ටම්වල එල්ලී සිටීම මගින්, මේ උතුර දකුණ මාරු වී ඔළුවෙන් සිටගෙන ඉන්නා මේ ක්ෂීරපායියා තමන්ගේ ම වූ අති විශේෂ දෙයක් ද නිෂ්පාදනය කර ගනියි. එය නම්, අවම වශයෙන් අඩුම තරමේ මීටර සියයක්වත් ඉහළ ට විහිදෙන වවුල් වසුරු තට්ටුවකි. බෝනියෝ දූපත් පිහිටා තිබෙන්නේ දකුණු අමෙරිකාව ට නුදුරින් වන නිසා, මේ වවුල් වසුරුවලට අති විශේෂ නමක්ද ව්‍යවහාර වෙයි. එය නම් ‘ගුඅනෝ’ ය. ස්පාඤ්ඤ බසින් සීල් මසුන්ගේ, සමුදුරු පක්ෂීන්ගේ සහ ගුහා වවුළන්ගේ මළ මූත්‍ර හඳුන්වන්නේ එම විශේෂ නමිනි. ගුඅනෝ පොස්පරස් හා නයිට්‍රජන්වලින් ඉතා පොහොසත් ය. ගන්ධයෙන් ද අඩු ය. මුව ගුහාවේදී එය තනිකර ම කළු, දුඹුරු, අළු පාට එකම යායකි.

එහෙත් ඒ ගුඅනෝ යායේ මතුපිට නිරන්තරයෙන් ම දිලිසෙයි. නළියයි. ඒ මන්දැයි ඔබ දන්නවාද? එය මුළුමනින් ම කැරපොත්තන්ගෙන් වැසී තිබෙන නිසා ය. කැරපොත්තන්ට මේ ගුඅනෝව රස බොජුනකි. සුව යහනකි. උහු මිලියන ගණනක් මෙහි වෙසෙති.

හිරුගේ එළිය හා ශක්තිය නොලබන ආහාර දාම මෙලොව තිබෙනුයේ ඉතා අල්පයකි. ගුහා එයට එක් නිදසුනකි. මෙවැනි ස්ථානයක හරිත පැළෑටියක් පේන තෙක් මානයක නොවේ. එනිසා මෙහි ආහාර දාමය මුළුමනින් ම පදනම් ව තිබෙන්නේ නොකඩවා පතිත වන වවුල් බෙටි මත ය. එහි වෙසෙන කැරපොත්තන්ගේ ආහාරය ගුඅනෝව මෙන්ම ඒ මතට පතිත වන වෙනත් ඕනෑම දෙයක් ද විය හැකිය. ඒ ඕනෑම දෙය, එක්කෝ කෘමියකු හෝ මී පැටවකු වීම ට පුළුවන. ඌ දන්නේ, තමන් යම්කිසි ගොහොරුවක ට වැටී එරී යන බව පමණි. තව තවත් එරී යනවා මිස ගොඩ ඒමක් නම් නැත. පණ ඇති සතකු ගුඅනෝව මතට වැටුණුවිට කැරපොත්තන් සේනාවක් ම පැමිණ ඌ වෙළාගනියි. එවිට නියත ඉරණම මරණයයි.

මේ ගුහාවල යෝධ හැකරැල්ලෝ ද වාසය කරති. උන්ගේ ආහාරය බව ට පත්වන්නේ, ගුඅනෝව මත නොව ගුහාවේ බිත්ති මත සැරිසරන කැරපොත්තන් ය. කකුළු වර්ග පවා මෙහි ජීවත්වන බව ඇසීමෙන් ඔබ පුදුමයට පත්වනු ඇත. එහෙත් එය සත්‍යයකි. උහු නිතර ම වවුල් වසුරු අවුස්සති. උන් පෙළෙන්නේ පෝෂණ ද්‍රව්‍ය සඳහා වන සාගින්නකිනි.

මේ සියලු සත්වයෝ මුළු ජීවිත කාලය ම ගුහාව අභ්‍යන්තරයේ ගත කරන්නෝ වෙත්. උන්ගේ පෝෂණය රැඳී පවතින්නේ එක් සත්ව වර්ගයක මළ අපද්‍රව්‍ය මත වීම, විස්මිත සොබාදහමේ දුගඳක් නැති රහසකි.


සෙනෙට් සභාවේ සාධුකාර මැද බයිඩන් ඉතිහාසගත වේ; ජාතික දේශගුණික හා බලශක්ති ප්‍රතිපත්තියක් වෙනුවෙන් ඩොලර් බිලියන 369ක් වෙන් කරයි.

හිරෝෂිමාවේ ශෝකාන්තය : න්‍යෂ්ටික බෝම්බ හෙළා අදට වසර 77ක්

ඉන්දියාවේ ‘මනාල වෙළඳපොළ’ ක් ….

ලෝකයක් වසඟ කළ සරාගිනිය; මැරිලින් මොන්රෝ

ගෝලීය උණුසුම හේතුවෙන් ෆ්ලොරිඩාවේ සෑම මුහුදු කැස්බෑවෙකුම පාහේ ගැහැණු සතුන් ලෙස උපත ලබයි.

විශ්වයේ නව මානයන් හෙළිකරන ජේම්ස් වෙබ් අභ්‍යවකාශ දුරේක්ෂය

සුන්බුන් අතර ජීවිත සොයන පාකිස්ථානුවන් ;මෝසම් වර්ෂාව හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 437 ඉක්මවයි.

කැරට් 170ක විශාලතම රෝස දියමන්තිය අප්‍රිකාවෙන් සොයා ගැනේ.

error: Content is protected !!
error: Content is protected !!