×

වළාකුළු රාජධානියේ මළකුණු බුදින්නෝ

මේ අසාමාන්‍ය මුහුද පත්ලේ ජීවය විකසිත වීම අසිරිමත් සිදුවීමකි. ඇත්තෙන්ම එය නළියන මුහුදු ජීවීන් විමානයකින් සුසැදි සාගර පත්ලකි.


දක්ෂිණ ධ්‍රැවයේ සිට සැතපුම් අටසියයක් උතුරු දෙසට වන්නට එරබස් කඳු Mount Erebus මුදුනේ සෙවණැල්ලට මුවා වී අසිරිමත් බොහෝ දේ සිදුවෙයි. එරබස් කඳු මුදුන මීටර තුන්දස් අටසියයක උසකින් යුතු වන නිසා එහි මුදුනත වලාකුළු රාජධානියේ ගෑවෙන්නා සේ ය. එරබස් ඇන්ටාක්ටිකාවේ පිහිටා තිබෙන දෙවැනි උස ම ගිනි කන්ද ද වේ.

ශීත සෘතුව ට මේ මුළු කන්දම හිම සුදු වලාකුළු ගැවසුණු ධවල පලසකි. එවිට උෂ්ණත්වය සෙල්සියස් අංශක ඍණ හතළිහකට ද වඩා අඩු වේ. මේ කටුක දේශගුණය එක් වරක් හෝ සජීවීව අත්දැක තිබේ නම් ඒ සමඟ ම ඔබ සිතට ගත යුතු එක් දෙයක් තිබේ. එය නම්, සාගරයේ ජීවය දැකීමට ඔබ බලාපොරොත්තු වන අවසන් ස්ථානයත් මෙය ම වන බවයි.

සක්‍රීය ගිනි කඳු 160 කට අධික සංඛ්‍යාවකින් සමන්විත පැසිෆික් ගිනි වළල්ලේ කොටසක් වන හෙයින් මවුන්ට් එරබස් හෙවත් එරබස් කඳු මුදුන ආශි‍්‍රත ව පිහිටන්නේ එයට ම ආවේණික ජෛවගෝල ලක්‍ෂණයන් ය. මුදුනත ගිනි ද පාමුල සිහිලැල් ජලය ද සිපගනිමින් මේ අපූර්ව පරිසරය සාගර ජීවීන්ට අමුතු නිකේතනයක් සාදයි.

එහෙත් ධ්‍රැවීය වසන්තය උදාවන විට මේ අති අසාමාන්‍ය පරිසරයේ පවා ජීවය පුබුදු වීම ඇරඹෙයි. මාස ගණනකට පසු හිම තට්ටුව පසාරු කරගෙන ප්‍රථම හිරු කිරණය සාගර ජලය වෙත ළඟාවෙයි.මිනිසකුට දරන්නට නොහැකි සීතලකි. එය වසරින් වැඩි කොටස මෙහි පවතින්නේ මෙවැනි ම දරාගත නොහැකි සීතලකි. එනිසා ම මේ ගැඹුරු සයුරේ කොන්දේසි, අන් සියලු ගැඹුරු සාගරයන්ගෙන් වෙනස් ය.

මේ අසාමාන්‍ය මුහුද පත්ලේ ජීවය විකසිත වීම අසිරිමත් සිදුවීමකි. ඇත්තෙන්ම එය නළියන මුහුදු ජීවීන් විමානයකින් සුසැදි සාගර පත්ලකි. තැනක අඩි ගණන් දිගැති යෝධ මුහුදු පණුවන් ය. උන් විටෙක තද කළු පැහැති ය. තවත් විටෙක තනි සුදු පැහැති ය. ඒ අපුල මඟහරින්නට මෙන් අඟලෙන් අඟලට තාරුකා මසුන් හෙවත් පසැඟිල්ලන් ය. මේ පසැඟිල්ලන් වැඩෙන්නේ අතිශයින්ම සෙමෙනි. එහෙත් එහි අරුත උන්ට බොහෝ සෙයින් විශාල ව වැඩෙන්නට හැකි බව සහ වැඩි ආයු කාලයක් විඳින්නට හැකි බව මිස එයට වඩා අඩු යමක් නොවේ. තවද සිතාගැනීමට ද අපහසු තරම් දැවැන්ත ලෙස උහු කොලනි හෙවත් ගණාවාස ද සාදති.

මීටර තුනක් දක්වා දිගට වැඩෙන මාංශ භක්ෂක නෙමටීන් පණුවන්, රතු පසැඟිල්ලන් සහ රතු මුහුදු ඉකිරියන්ගෙන් මේ සමුදුරු පත්ලේ බුමුතුරුණක් එළා ඇත්තාක් මෙනි. යෝධ සහ අපුල දනවන නෙමටීන් පණුවන්ට නම් හැම දෙයක් ම පාහේ ආහාරයට ගත හැකිය. උහු කෑමට යමක් සොයමින් නිතර ම මුහුදු පත්ල ඉව කරති. විටෙක මුහුදු ඉකිරියන්ගේ උල් වූ කණ්ටක හරහා පවා ඇදී යති. එහෙත් වේදනාවක් හෝ තුවාල වීමක් උන්ට නැත.

මේ මුහුදු පත්ලේ වැතිරී තිබෙන සීල් මත්ස්‍යයකුගේ මළ කඳක් උන්ට නිසැක රස බොජුනකි. එවිට මුහුදු පත්ලේ ගහණ ඝනත්වය අනපේක්‍ෂිත ලෙස ඉහළ යන බව ද දැකිය හැකිය. නළියන, දඟලන පණුවන් හා පසැඟිල්ලන් ආදීන්ට මෙවැනි භෝජනයක් ලැබෙනුයේ වසර දහයකට වරක් මෙන් ඉතා ඉඳහිටය.

සීල් මත්ස්‍යයකුගේ සම සවිමත් ය. එනිසා වියෝජනය වෙමින් තිබියදී වුවත් ඒ සම සිදුරු කිරීම පහසු කාරියක් නොවේ. නෙමටීන් පණුවෝ මේ සඳහා සිය හාපූනය භාවිත කරති. නෙමටීනයන්ගේ හාපූනය, උන්ගේ මුඛය අද්දරින් ම පිහිටා තිබෙන මණ්ඩාවක් වැනි තියුණු ව්‍යුහයකි.

මෙවැනි භෝජනයකින් පවා සන්තෘප්ත වීම පසැඟිල්ලන්ට නම් අසීරු කාර්යයකි. ඇත්තෙන්ම එය උන්ගේ වරදක් නොව දෛවයේ සරදමකි. එනම්, පසැඟිල්ලන් ආහාර ගත යුත්තේ උදරය මුඛ විවරය තුළින් පිටතට තෙරපීම මඟිනි. එම උදරය සීල් මත්ස්‍යයාගේ ලොම් සහිත සම මත ගෑවුණු විට පමණක් එම ඝනකම් චර්ම පටක දිය කරන ජීර්ණක යුෂයක් ස්‍රාවය වෙයි.

එය ක්ෂණික ව සිදුවන්නක් නොවේ. සෙමෙන් සිදුවන්නකි. කාලයක් ගත වේ. මේ කසළ භක්ෂකයෝ මුළු මහත් ගිම්හාන සෘතුව පුරාම එසේ සීල් මළකුණට ඇලී එහිම ගැලී සිටිති. උන්ගේ මෙහෙයුම අවසන් වන්නේ සීල් මළකුණ මාංශ රහිත අස්ථි පඤ්ඤරයක් බවට පත් වූ පසුව පමණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි