කෝවිඩ් වසංගතයෙන් ලෝකය වෙළාගැනීම තුළ පවුල්වලින් වෙන් වී දුරු කතරවල තනි වූ ඔවුහු යළිදු හමුවූහ.
ඇමරිකාවෙන් සහ ප්‍රංශය හැර යුරෝපා සංගමයේ සෙසු රටවලින් නෑ හිත මිතුරන් එක්සත් රාජධානිය බලා පැමිණි අවස්ථාවයි, මේ.
ඒ, වැක්සින්කරණය සම්පූර්ණ කළ ඇමරිකානු සහ යුරෝපා සංගම් වැසියන්ට සිය රට බලා පැමිණීමට එක්සත් රාජධානිය අවසර ලබාදීමෙන් පසුව ය. එය සිදුවූයේ නිරෝධායන නීති ලිහිල් කිරීමෙන් පසුව ය. ඒ අනුව ඔවුන්ට එංගලන්තය බලා පැමිණීමෙන් අනතුරුව නිරෝධායනයට පත් වීමට දැන් අවශ්‍ය නොවේ.
කෝවිඩ්-19 විසින් පුරා වසර දෙකක් වෙන් කළ පවුල්වල හැඟීම්බර බව මේ ඡායාරූපවල කදිමට සටහන් වී ඇත.
66 හැවිරිදි සූ හේසිනීක්, ලන්ඩනයේ හීතෘෘ ගුවන්තොටුපොළ බලා පැමිණ සිටියේ මීට දෙවසරකට පෙර විවාපත් වූ සිය පුතු දැක ගැනීම පිණිස ය. ඇය සිය ලේලිය දකින ප්‍රථම අවස්ථාව මෙයයි. වසංගතය තුළ සිදුවූ මංගල්‍යයක් වූ නිසා ඇය එය දුටුවේ Zoom හරහා පමණි.
‘‘මම ඇමරිකානු තානාපති කාර්යාලයට කතා කරල ඇඬුවා. ඒ මගෙ පුතා.. මට එයාව හම්බ වුණේ අවුරුදු 40 දි කියලා.. ඒත් මට යන්න ලැබුණෙ නෑ..‘‘ යැයි ඇය හැඬු කඳුලින් යුතුව කීවාය.
මයිකල් සහ සූගේ මුණුපුරු මිණිපිරියන් සිය සීයා සහ අත්තම්මා ව මේ දකින්නේ අවුරුදු දෙකකට පසුව ය.
බර්ලිනයේ සිට පැමිණි ඊවාගේ ඇකයේ අතදරුවෙකි. ඒ දැරිවිය සිය අත්තම්මා ජීවිතයේ පළමු වරට දකින්නේ දැන් ය. මුළු හීතෘෘ ගුවන්තොටුපොළම සිනා කඳුළු වැස්සකින් පිරී ගියේ මෙවැනි කතාන්දර සමග ය.
කෙසේ නමුත් අවදානම තවම පහව ගොස් නැත. එක්සත් රාජධානියේ දෛනික කෝවිඩ් ආසාදිතයන් සංඛ්‍යාවේ දැකගත හැකි වී තිබෙන්නේ 16%ක අඩුවීමක් පමණි. මේ අතර, දෛනික රෝහල්ගත වීම් 6.3%කින් ඉහළ ගොස් තිබේ. දිනකට 60-70 ක් අතර තවමත් මිය යමින් තිබේ. පැමිණි අයට නව තත්වය යටතේ ආපසු සිය රටවලට යාමට ද හැකි බව සැබෑ ය. නමුත් ඩෙල්ටා ප්‍ර භේදයේ පැතිරීම ඉක්මන් කිරීමට මේ වැළඳ ගැනීමේ සාදයත් හේතු නොවේ යැයි කාට කිව හැකිද?