×

යුක්රේනයෙන් තවත් ධාන්‍ය නැව් පහක් පිටවෙයි!

යුක්රේනයෙන් තවත් ධාන්‍ය රැගත් නෞකා පහක් වරායෙන් පිටත් වූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.


ඉකුත් පෙබරවාරියේ රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමත් සමඟ එරට සියලු අපනයන ඇණ හිටි අතර, මෙය ගෝලීය වශයෙන් ආහාර අර්බුදයක් ඇති කිරීමට සමත් වූ බව බටහිර ඇතුළු ලෝක බලවතුන් චෝදනා කර තිබිණි.

මෙම ගැටළුවට එක්සත් ජාතීන් මැදිහත් වීම මත, රුසියාව, යුක්රේනය සහ තුර්කිය අතර එකඟතාවයක් ගොඩනඟා ගත් අතර, එමඟින් කිසිඳු බාධාවකින් තොරව යුක්රේනයේ ධාන්‍ය අපනයනයට ඉඩ සලසා ගැනීම සිදුවිය.

එක්සත් ජාතීන්, තුර්කිය, රුසියාව සහ යුක්රේනය ඒකාබද්ධව මීට අදාළ ක්‍රියාපටිපාටින් නිකුත් කළ අතර, මෙම ක්‍රියාපටිපාටි අනුව කළු මුහුද හරහා යුක්රේන ධාන්‍ය සහ පොහොර අපනයනය කරන වෙළඳ නෞකා කිසිවකට ප්‍රහාර දියත් කිරීමට එකී එකඳු පාර්ශවයකට නොහැකිය.

ඒ අනුව, එරට පළමු ධාන්‍ය තොගය සාගින්නෙන් පීඩා විඳින අප්‍රිකාව වෙත යැවීම ඉකුත් අගෝස්තු 13 වන දින සිදුවිය.

මේ අතර, තවත් ධාන්‍ය රැගත් නෞකා පහක් වරායෙන් පිටව ඇති බව වාර්තා වන අතර, බඩඉරිඟු සහ තිරිඟු රැගත් මෙම නෞකා තුනක් යුක්රේනයේ චොර්නොමොර්ස්ක් නගරයෙන් ද, නෞකා දෙකක් පිව්දෙනියි නගරයෙන් ද පිටව ඇති බව සඳහන්.

උක්ත පාර්ශවයන් තුර්කියේ ඉස්තාන්බුල් හි පිහිටුවා ඇති ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය විසින් අද (16) දින යුක්රේනය බලා පිටත්ව යන තවත් නෞකා හතරක් අධීක්ෂණය කිරීමට නියමිත බව ද සඳහන්.

ඡායාරූප: AFP-JIJI

සබැඳි ලිපි:

යුක්රේනයේ පළමු ධාන්‍ය තොගය, සාගින්නෙන් පීඩා විඳින අප්‍රිකාවට ..

යුක්රේන ධාන්‍ය අපනයනය සඳහා නැව්ගත කිරීමට සූදානම්

ධාන්‍ය අපනයනනේ, ඉතිං යාලුයි අපි යාලුයි – තුර්කිය, යුක්රේනය, රුසියාව, එක්සත් ජාතීන් එකඟතාවයක!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි