×

ධාන්‍ය අපනයනනේ, ඉතිං යාලුයි අපි යාලුයි – තුර්කිය, යුක්රේනය, රුසියාව, එක්සත් ජාතීන් එකඟතාවයක!

යුක්රේනයේ ධාන්‍ය අපනයනය කිරීමට ගිවිසුමක්....


කළු මුහුදේ සිට සිදුකෙරෙන ධාන්‍ය අපනයන කටයුතු සඳහා රුසියාව, තුර්කිය, යුක්රේනය සහ එක්සත් ජාතීන් අතර පැවති සාකච්ඡාවලදී එකඟතාවයකට පැමිණීමට හැකිවූ බවත්, ඒ අනුව මෙම ධාන්‍ය අපනයන ආරක්ෂා සහිතව යැවීමට සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් (Coordination Centre) ස්ථාපිත කිරීමට එම රටවල් එකඟ වූ බවත් තුර්කි ආරක්ෂක අමාත්‍යවරයා පවසයි.

ඊයේ (13) දින තුර්කි ආරක්ෂක අමාත්‍ය හුලුසි අකාර් මහතා නිකුත් කළ නිවේදනයකට අනුව, උක්ත පාර්ශවයන් මීළඟට හමුවන දිනයේදී මීට අදාළව ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත අතර, යුක්රේන ධාන්‍ය අපනයනය සඳහා ආරක්ෂා සහගත ගමන් මාර්ගයක් ස්ථාපිත කරවා ගැනීමට මින් හැකිවනු ඇති බවත්, අදාළ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන ඔස්සේ ඒ ඒ වරායන් වල පාලනය සෑම පාර්ශවයකටම හිමිවනු ඇති බවත් හෙතෙම අවධාරණය කළේය.

යුක්රේන – රුසියානු යුධමය තත්ත්වයෙන් උත්සන්න වූ ගෝලීය ආහාර අර්බුදය හමුවේ කළු මුහුද හරහා යුක්රේන ධාන්‍ය අපනයන කටයුතු අඩාල වීම සිදුවිය. යුක්රේන ධාන්‍ය අපනයනයට රුසියාව ඉඩ ලබා නොදීම බටහිර රාජ්‍ය වල දැඩි විවේචනයට තුඩුදුන් අතර, ඉකුත් දින ඉන්දුනීසියාවේ බාලි දූපත් වල පැවැත්වූ G20 සමුළුවේදී එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් මහතා රුසියානු විදේශ අමාත්‍ය සර්ගෙයි ලව්රොව් මහතා ගේ මුහුණටම මෙය පවසා තිබිණි.

මෙම ධාන්‍ය අපනයනය නැවත ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා සඳහා රුසියානු, යුක්රේන සහ තුර්කි ආරක්ෂක නියෝජිතයන් ඊයේ දින තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර එක්සත් ජාතීන්ගේ නියෝජිතයන් හමුවූ අතර, ඉහත එකඟතාවයට එළඹීමට එකී පාර්ශව සමත්වීම අගය කළ යුතු කරුණකි.

සබැඳි ලිපි:

යුක්රේනය ගිනිබත් වෙද්දී එරට ධාන්‍ය අපනයනයට ඉඩදීමට සාකච්ඡා පවත්වන්න රුසියාව එකඟයි ලු!

රුසියාව G20 සමුළුව බලා පිටත් වෙයි – යුක්රේන අර්බුදය ගැන සමුළුවේදී ගිනි ඇවිලීමට නියමිතයි!

ඡායාරූප: AZERNEWS



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි