ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ක්‍රිකට් තරගයකදී නම් දේශප්‍රේමයෙන් ඔද වැඩී ගිය ශ්‍රී ලාංකිකයෝ ඔහුට ආදරයට ද ඉරිසියාවට ද ‘කෝලිකුට්ටුවා‘ යැයි ද කියති. කෙසේ නමුත්, 2020 වසරේ වැඩිම ගෙවීමක් ලබන ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වී ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාවේ ලොකුම ක්‍රීඩා ධනපතියන් 100 දෙනා අතර සිටින එකම එක ක්‍රිකට් ක්‍රීඩකයා බවට පත්වන්නට මෙවර ඔහුට හැකි වී තිබේ.
පසුගිය වසරේ ෆෝබ්ස් ධනවතුන්ගේ ලැයිස්තුවේ 100 වන තැන සිටි ඔහු, මේ වසරේ සිටින්නේ 66 වැනි තැන ය. ඒ, ඇමරිකානු ඩොලර් මිලියන 26 ක ධනයක් සමගිනි. පසුගිය වසරේදී ඔහුගේ ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 25 ක් විය.
මේ ශ්‍රේණිගත කිරීම් සඳහා ෆෝබ්ස් සඟරාව සලකා බලන්නේ 2019 ජූනි 1 වැනිදා පටන් 2020 ජූනි 1 වැනිදා දක්වා සිදුකළ වාර්තා සහිත ඉපැයීම් ය.
මේ ඩොලර් මිලියන 26 න් ඩොලර් මිලියන 24 ක්ම ඔහු උපයා තිබෙන්නේ endorsements හෙවත් සෙසු අය විසින් ඔහුව අනුමත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ඉතිරි ඩොලර් මිලියන 2 ක් පමණක් වැටුප් සහ තරග ජයග්‍රහණවලින් ඔහු උපයා තිබේ.
ඉන්දීය ක්‍රිකට් පිලේ නායකයා ද වන විරාත් කෝලි, සුපිරි හින්දි නිළි අනුෂ්කා ෂර්මා සමග විවාපත් වීම නිසා ද ඔහුගේ ජනප්‍රියත්වය ඉහළ ගිය අතර ඔහුට ඇති ඉල්ලුම ද වැඩි විය.
මේ වසරේ ෆෝබ්ස් සඟරාවේ කෝටිපති ක්‍රීඩක ලැයිස්තුවේ අංක 1 සිටින්නේ ස්විස් ජාතික ටෙනිස් ක්‍රීඩක රොජර් ෆෙඩරර් ය. ගතවූ මාස 12 ඇතුළත ඔහු විසින් උපයා ඇති ධනය ඇමරිකානු ඩොලර් මිලියන 105.3 කි. දෙවැනි තැන, පෘතුගීසි ජාතික පාපන්දු සුපිරි තරුව වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හට හිමි ව තිබේ.
Cover Photo: The Indian Express