×

ප්‍රංශයේ වයස 15ට අඩු දරුවන්ට පාසලේදී ජංගම දුරකථන භාවිතය තහනම්!

වයස අවුරුදු 15 ට අඩු ප්‍රංශ දරුවන්ට කිසිම අවස්ථාවක පාසලේදී ජංගම දුරකථන භාවිතා කිරීම තහනම් කර තිබේ. මෙය ප්‍රංශ ජනපති එම්මානුවෙල් මැක්‍රොන් විසින් ලබාදී තිබූ ඡන්ද පොරොන්දුවක් ඉටුකිරීමක් ද වේ.


ප්‍රංශය පවසන්නේ පාසල් දරුවන් සිය ජීවිතයෙන් වැඩි කොටස ජංගම දුරකථන මත යැපෙන තත්වයට පත් ව ඇති බවයි. ස්වාධීන පුද්ගලයන් වශයෙන් ඔවුන්ගේ පෞරුෂයට මේ නිසා විශාල බලපෑමක් සිදුවන බව ද ඔවුහු නිරීක්ෂණය කරති. අවධානය එක තැනක රැඳවීමට පාසල් දරුවන් මේ නිසා අසමත් වී ඇති බවත්, ඔවුන්ගේ අධ්‍යාපනයට එමගින් විශාල හානියක් සිදුවී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති.

නව නීතිය අගෝස්තු 5 වැනිදා පටන් ක්‍රියාත්මක වීමට නියමිත ය. එහිදී සියලුම ආකාරවල ජංගම දුරකථන, ටැබ්ලට් පරිගණක සහ ස්මාට් වොච් ද පාසල් කාල තුළ භාවිතා කිරීම තහනම් කෙරේ.

මෙය එම්මානුවෙල් මැක්‍රොන්ගේ මැතිවරණ පොරොන්දුවක් ඉටුකිරීමක් ද වේ.

2010 වසරේ පටන් ප්‍රංශයේ පාසල්වල ඉගැන්වීම් කාලය තුළ ජංගම දුරකථන භාවිතය තහනම් කර තිබිණි. නමුත් නව නීතිය මගින් එය විවේක වේලාවන් සහ කෑම ගන්නා අවස්ථාවන් දක්වා ද දීර්ඝ කෙරේ.

වයස අවුරුදු 15 ට වැඩි දරුවන් සඳහා නව නීතිය අදාළ කර ගන්නේදැයි තෝරාගැනීම සඳහා ප්‍රංශයේ පාසල්වලට අභිමතයක් පිරිනමා ඇත. ඒ අනුව ඇතැම් පාසල් වයස 15 ට වැඩි දරුවන් සඳහා ද මෙය තහනම් කිරීමට හෝ නොකිරීමට ඉඩ තිබේ. කෙසේ නමුත් කායික අශක්නුතාවලින් පෙළෙන දරුවන් සඳහා ජංගම දුරකථන භාවිතය ට ඉඩ දීමට ද ප්‍රංශ නීතිය අනුව පහසුකම් සලසා තිබෙන බව ද වාර්තා වේ.

ප්‍රංශයේ අධ්‍යාපන ඇමති ජීන්-මයිකල් බ්ලැන්කර් මෙය හඳුන්වා දෙන්නේ ‘21 වන සියවසේ නීතියක්‘ යනුවෙනි. ප්‍රංශයේ මිලියන 12 ක් වන පාසල් දරුවන් අතර විනය ඇති කරලීම සඳහා කළ යුතුම දෙයක් ලෙස ද ඔහු මේ පියවරට ප්‍රශංසා කරයි.

‘‘අනාගත තාක්ෂණයන්ට විවෘත වීම කියන එකෙන් ඒ සියලුම දේවල් වැළඳගත යුතු බව අදහස් වන්නේ නෑ“ යැයි ද ඔහු පවසයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි