×

කෂෝගි ඝාතනයේ නොකී කතාව – The Dissident වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා කතා කරයි

ඇමරිකානු ජනපති ජෝ බයිඩන් විසින් සෞදි ඔටුන්න හිමි කුමරු මොහොම්මද් බින් සල්මාන් කෂෝගිගේ ඝාතනයට නියෝග දුන් බව හෙළිකරන පුපුරණ සුලු වාර්තාව නිකුත් කරන්නට යයි. මේ අතර ස්කයි නිව්ස් පුවත් සේවාව, ජමාල් කෂෝගිගේ ඝාතනය පිළිබඳ The Dissident වාර්තා චිත්‍රපටය තැනූ ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂවරයා සමග නවතම තත්වය පිළිබඳ පිළිසඳරක යෙදුණේය.


2021 ජනවාරි 8 වැනිදා නිකුත් කළ, එහෙත් බොහෝ රටවල තවමත් ප්‍රදර්ශනය අරඹා නැති මෙම වාර්තා චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා වන්නේ බ්‍රයන් ෆෝජෙල් (Bryan Fogel) ය. චිත්‍රපටය නිකුත් වන තෙක් ලෝකයක්ම බලා සිටියේය. රාජ්‍ය ප්‍රචණ්ඩත්වය සහ භීෂණය හේතුවෙන් සිය මව්රටෙන් නික්ම ගොස් විප්‍රවාසී ව වෙසෙන විසම්මුතිකවාදී මාධ්‍යවේදීන් පවා කොතරම් අනාරක්ෂිතදැයි මෑත ඉතිහාසයේදී වඩාත්ම සපථ කළ චිත්‍රපටය එයයි.

කෂෝගිගේ ඝාතනය ප්‍රචණ්ඩකාරී සහ අමානුෂික බවට සැකයක් නැත. නමුත් ඒ ඇසුරෙන් වාර්තා චිත්‍රපටයක් තැනීම.. ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂ බ්‍රයන් ෆෝජෙල් එක් ප්‍රධාන දෙයක් දැන සිටියේය. ඒ, තමන් නිර්මාණය කරන්නට යන චිත්‍රපටය භීබත්ස්‍ය රසය (බියකරු රසය) උත්පාදනය කරන්නක්ම පමණක් නොවිය යුතු බවයි.

ඔස්කාර් සම්මානලාභී අධ්‍යක්ෂ බ්‍රයන් ෆෝජෙල්

වොෂින්ටන් පෝස්ට් පුවත්පතේ තීරු ලිපි රචකයෙකු වූ ජමාල් කෂෝගි, 20189 ඔක්තෝබර් 2 වැනිදා පස්වරු 1.14 ට පමණ තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටා තිබූ සෞදි තානාපති කාර්යාලය තුළට ගියේය. ඔහු සිටියේ සිය සහකාරිය සමග විවාපත් වීමට සූදානමිනි. තානාපති කාර්යාලය අසල පදික වේදිකාවේ ඇතුළට ගිය කෂෝගි පිටතට එන තෙක් මග බලමින් සිටියේ ඔහුගේ ප්‍රියාවිය වූ හතීසේ සෙන්සිග් (Hatice Cenzig) ය.

තානාපති කාර්යාලය තුළ තමන් එන තෙක් මරුවා කල් බලන බව දෙදෙනාම නොදැන සිටියහ. හතීසේ පස්වරු 1.14 සිට, පසුදින අළුයම 1 වන තෙක්ම පදික වේදිකාවේ ඔහු එන තෙක් බලා සිටියාය.

සෞදි රජයේ ඒජන්තයන් 15 දෙනෙක් කෂෝගි සම්බන්ධයෙන් ‘ඉහළින් ආ නියෝගය‘ක් ඉටු කරන්නට බලා සිටියහ. ඔවුන් අතර වෝහාරික විශේෂඥයෙකු ද විය. එම වෝහාරික විශේෂඥයා පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකරන ආකාරය සම්බන්ධ ව කෙළපැමිණි දැනුමක් ඇති අයෙකි. ඔවුන් තුර්කියට දින කිහිපයකට පෙර පැමිණ තිබූ අතර, ඝාතනයෙන් පැය කිහිපයකට පසුව තුර්කියෙන් පිටත්ව ගියහ. කෂෝගිගේ මළ සිරුරේ කොටස් පවා මේ දක්වා සොයාගෙන නැත.

අනතුරුව අසාමාන්‍ය දෙයක් සිදුවිය. ඔහුගේම ඇඳුම් ඇඳගත් ඔහු ගේ පෙනුම තිබූ අයෙක් තානාපති කාර්යාලයේ පසුපස දොරෙන් මතු විය. එම සන්ධ්‍යාවේ ඒ බව තානාපති කාර්යාලයේ CCTV දර්ශනවල සටහන් වී ඇත. එම ඇඳුම්, පසුව තුර්කියේ පොදු වැසිකිළියක ගළවා දමා තිබියදී සොයා ගනු ලැබිණි.

සෞදි බලධාරීන් ට කෂෝගි, අමානුෂික ලෙස මරා දමා ඇති බව පිළිගන්නට සිදුවිය. නමුත් එම ඝාතනය සහ ඔටුන්න හිමි කුමරු අතර කිසිදු සම්බන්ධයක් ඇති බවට පිළිගැනීම ඔවුහු ප්‍රතික්ෂේප කළහ. කෂෝගිගේ තීරු ලිපි තුළින් නිරන්තරයෙන්ම විවේචනයට ලක් කර තිබුණේ මෙම සෞදි කුමරුගේ ප්‍රතිපත්තීන් ය.

ඩයනා කුමරියගේ පෙම්වතාගේ මස්සිනා

ඊජිප්තු චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුට අමතරව ඩයනා කුමරියගේ අවසන් පෙම්වතා වූද, ඇය සමගම අබිරහස් ලෙස මරණයට පත් වූ ද ඩොඩී අල්ෆයිඩ්ගේ පළමු මස්සිනා කෂෝගි ය. එම පවුල් සබඳතාවලට අමතරව කෂෝගිට සමාජ ජාල සබඳතා ජාලයක් ද සවිමත් ලෙස පැවතිණි. Twitter අනුගාමිකයන් මිලියන 2 ක් ද ඒ අතර විය. වොෂින්ටන් පෝස්ට් පුවත්පතට නිරන්තරව තීරු ලිපියක් ලිවීම හැරුණු විට ඔහු විටින් විට ඇමරිකාවේ සහ එක්සත් රාජධානියේ රූපවාහිනී සේවාවන් හිදී ද දැකගත හැකි විය. සෞදි රාජ්‍යය විසින් ඔහුව ‘ද්‍රෝහියෙකු‘ සේ හංවඩු ගැසීමට අවශ්‍ය ප්‍රමාණයටත් වඩා වපසරියක් ඔහු සතු විය.

කෂෝගි

කෂෝගිගේ ජීවිතය සහ මරණය, අපරාධ නවකතාවක් (crime novel) සඳහා සියලු අඩුම කුඩුමවලින් සමන්විත විය. නමුත් මේ සියල්ල තිබියදී චිත්‍රපට අධ්‍යක්ෂ ෆොජෙල් ට අවශ්‍ය වූයේ වෙනත් දෙයක් වෙත ප්‍රමුඛත්වය ලබා දීමයි.

‘‘ලොකු ප්‍රශ්නය නිසා මම මේ කතාව වෙත ආකර්ෂණය වුණා. ජමාල්ගේ ඝාතනය අතිශයින්ම සංත්‍රාස චිත්‍රපටයක් වගෙයි. නමුත් ලෝකයේ මේ කොටසේ සැබවින්ම සිදුවන්නේ මොනවාද කියා මේ කතාවෙන් අපට පෙන්වා දෙනවා.‘‘

The Dissident වාර්තා චිත්‍රපටයේ මීට පෙර ලෝකය නුදුටු වීඩියෝ කිහිපයක් ද අන්තර්ගත ය. කොන්සල් කාර්යාලය තුළ වෝහාරික පරීක්ෂාවන් සිදුකරන ආකාරය එයින් එකකි. එයට අමතරව කෂෝගිගේ අවසන් නිමේෂයන් පිළිබඳ පිටු 37 ක ට්‍රාන්ස්ක්‍රිප්ට් සටහනක් ද වාර්තා චිත්‍රපටයේදී පෙන්වා දෙයි. එය ද ගෝලීය මාධ්‍ය වෙත පවා මීට පෙර නිකුත් වූවක් නොවේ.

තුර්කි බලධාරීන් සමග වසරක පමණ කාලයක් ඉතා ළඟින් සහ ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් කටයුතු කිරීමෙන් අනතුරුව අධ්‍යක්ෂවරයා හට ඔවුන් විසින්ම කෂෝගිගේ හඬ පට ද ලබාදීම සිදුවිය. ඒවා, කෂෝගි ව රඳවා තැබූ මාධ්‍ය කාමරයේ (මීඩියා රූම්) තුළ ඇසුණු සියලු ශබ්ද වලින් සමන්විත විය. නමුත් එය වාර්තා චිත්‍රපටයට ඒ අයුරින්ම යොදා ගත හැකිද?

ඇටකටු කපන කියතකින් කපා, තන්දූරි අවන් එකක දමා පුළුස්සලා!

අධ්‍යක්ෂවරයා ස්කයි නිව්ස් සමග මෙසේ කියයි. ‘‘එය ඇසීීමට සැලැස්වීම මගින් ප්‍රේක්ෂකාගාරය අත්‍යන්ත කම්පනයක ගිලී යාම හැර වෙන දෙයක් සිදුවන්නේ නැහැ. මට අවශ්‍ය එය නෙවෙයි. ඒ නිසා මම ඒ ඕඩියෝව ගැබ් නොකරන්න තීරණය කළා..‘‘

‘‘චිත්‍රපටකරුවෙකු ලෙසත් ක්‍රියාකාරියෙකු ලෙසත් මට අවශ්‍ය නැති අඩවියකට පය තබන්නට මට උවමනා නැහැ.. ඒ හඬපටය හතීස්ට ඇහෙන්න සලස්වන්න මට බැහැ…ජමාල්ගේ පවුලට එය අහන්න සලස්වන්න මට බැහැ.. අපි දන්නවා මොකද වුණේ කියලා…‘‘

‘‘අපි හැම කෙනෙක්ම දන්නවා ඔහුව කෘෘර විදිහට මරා දැමූ බව.. ඇටකටු කපන කියතකින් ඔහුව පෙති ගැසූ බව.. ඒ හඬපටය ඇසීමෙන් මට සිදුවන්නේ නිදාගන්නට බැරි වීමයි.‘‘

2017 වසරේදී රුසියානු ඉකාරස් (Icarus) වාර්තා චිත්‍රපටයේදී ද මෙවැනිම හඬ පටයකට සවන් දීම නිසා තමන්ට බියකරු රෑ සිහින පෙනෙන්නට පටන් ගත් බවත් තමන් ට්‍රෝමා තත්වයට පත් වූ බවත් අධ්‍යක්ෂවරයා තවදුරටත් හෙළි කළේය.

කෙසේ නමුත් ඒ හඬපටය පෙන්වා දෙන්නේ කෑලිවලට කැපූ ඔහුගේ සිරුර, අවසානයේ තානාපති කාර්යාලයේ උද්‍යානයේ තිබූ තන්දූරි අවන් එකේ දමා පිළිස්සූ බව ය.

අතිශය ප්‍රබල චරිත ඈඳුණු බිහිසුණු ඝාතනයක් මූලික කරගත් නිර්මාණයක් සිදුකළත් තමන්ට තර්ජනාත්මක තත්වයකට මුහුණ පාන්නට මෙතෙක් සිදුනොවීම අධ්‍යක්ෂවරයා සලකන්නේ වරප්‍රසාදී තත්වයක් ලෙස ය.

‘‘ඇමරිකානුවෙකු වීම ඇතැම්විට තවමත් යම් ආරක්ෂාවක් මට සපයනවා විය හැකියි. මම මැද පෙරදිග ජීවත් වන කෙනෙක් නෙවෙයි. එහි ජීවත් වුණා නම් මට කිසිදාක මෙවැනි චිත්‍රපටයක් තනන්නට බැහැ. මට මිය යන තෙක්ම සැකෙන් බියෙන් ජීවත් වෙන්නට සිදුවේවි.‘‘

නමුත් නිර්මාණකරුවෙකු වශයෙන් ඔහු මුහුණදුන් සහකම්පනය අති ප්‍රබල ය. විශේෂයෙන්ම හතීසේගේ චරිතය දකින විට ඔහුගේ හදවත කඩා වැටීම නතර කරගත නොහැකි බව ඔහු කියයි. මෙම වාර්තා චිත්‍රපටයේ හතීස් සමග ජීවත් වීමට ජමාල් මිලදී ගත් තට්ටුනිවාසයේ ඇතුළත දර්ශන ද අන්තර්ගත ය. ඔහුගේ මරණයෙන් පසු ඇය පළමු වරට එහි යන්නේ චිත්‍රපට කණ්ඩායම ද සමග ය. එහි කබඩ් සහ බිත්තිවල තවමත් ඔවුන්ගේ ඇඟිලි සලකුණුවල කළු පැල්ලම් ඉතිරි කර තිබේ.

කෂෝගිගේ මරණයෙන් පසු සෞදි අරාබිය, අන්තර්ජාතික පීඩනය නිසා හෝ අවධානය වෙනතකට හැරවීම සඳහා 5 දෙනෙකුට මරණ දඬුවම ලබා දුන්නේය. නමුත් පසුව එම මරණ දඬුවම 20 අවුරුදු සිර දඬුවමක් දක්වා ඌනනය කෙරුණේ කෂෝගි පවුල විසින් ලබාදුන් සමාවක් නිසා යැයි වාර්තා විය.

2018 දී කෂෝගිව, ජාත්‍යන්තර ටයිම් සඟරාව විසින් වසරේ මිනිසා ලෙස නම් කෙරිණි.

‘‘මගේ නම හතීසේ ජීන්ජිස්‘‘ වාර්තා චිත්‍රපටය ඇරඹෙන්නේ ජමාල්ගේ සහකාරියගේ පසුබිම් කථනයක් සමග ය. ‘‘මා ඔබ අමතන්නේ වින්දිතයෙකු ලෙසයි..‘‘

ඇගේ ජමාල් ව සෞදි බලධාරීන් විසින් රහසිගත ලේඛනයේ හඳුන්වා දී තිබෙන්නේ ‘මරණයට කැප කළ සතා‘ යනුවෙනි.

‘කිසිවෙකු හැම විටම සිදුවන සියල්ල සජීවී ව බලා සිටියා. සියල්ල අසා සිටියා..‘‘ යැයි ද වාර්තා චිත්‍රපටයේදී පැවසේ.

මේ වාර්තා චිත්‍රපටය රාජ්‍ය මර්දනය හමුවේ කිසිවෙකු ආරක්ෂිත නොවන බව පෙන්වා දෙයි. එය සැබවින්ම හැකිතාක් දෙනා, හැකි තාක් ඉක්මනින් නැරඹිය යුතු චිත්‍රපටයකි.

පහත දැක්වෙන්නේ එහි පූර්ව ප්‍රචාරක පටයයි.

[embedyt] https://www.youtube.com/watch?v=2I6hjwblA_g[/embedyt]

පසු සටහන

The Dissident වාර්තා චිත්‍රපටය 2021 ජනවාරි 8 වැනිදා නිකුත් වුවද බොහෝ රටවල එය තවමත් ප්‍රදර්ශනය වී නැත. එක්සත් රාජධානිය තුළ එය ඔන්ලයින් ක්‍රමය මගින් ප්‍රදර්ශනය අරඹන්නේ 2021 මාර්තු 6 වැනිදා Glasgow Film Festival හිදී ය. අයර්ලන්තයේ එය මාර්තු 13 වැනිදා Virgin Media Dublin International Film Festival හිදී තිරගතවීම ඇරඹීමට නියමිත ය.

ඡායාරූප අයිතිය – The Dissident/Briarcliff Entertainment



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි