×

ඇමසන් නදියේ තවමත් වෙසෙනා මත්ස්‍ය ලෝකයේ ටර්මිනේටර් – ඇරපයිමා

විද්‍යාත්මක නාමය ඇරපයිමා ගිගාස් (arapaima gigas) ය. සාමාන්‍ය නම ‘ඇරපයිමා‘ ය. මිරිදිය ලෝකයේ විශාලතම මත්ස්‍යෙයකි. අඩි 10 ක්වත් දිග ය. කිලෝ 200 ක්වත් බර ය.


ඇමසන් නදියට ආවේණික මේ දැවැන්තයාට ‘පිරාරුකු‘ යැයි ද ඇමසන් ගෝත්‍රිකයෝ කියති. ඌ යෝධයෙකු සේ මිරිදිය ජල පත්ලේ කරක් ගසමින් හුස්ම ගනියි! ඔක්සිජන් ආශ්වාස කරයි. ඔක්සිජන් මදක් තිබුණොත් සෑහෙයි. මුහුදු ශාක සහ මසුන් පොකුරු පිටින් ගිල දමයි. ජල තලයට එන කටුස්සන්, කුරුල්ලන් පමණක් නොව කුඩා ක්ෂීරපායීන් ද එක එල්ලේ ගිල දමයි. ඇම පමණක් නොව, ධීවරයන්ගේ දැල් ද ඉරාගෙන කඩාගෙන යයි. ඇරපයිමාගේ දිව වටා තියුණු දත් සමූහයක් තිබේ. ඌට ‘ටර්මිනේටර්‘ හෙවත් ‘සියල්ල අවසන් කරන්නා‘ යැයි කියන්නේ නිකමට නොවේ.

පරිණාමිකව නොදියුණු, ප්‍රාග් මත්ස්‍යෙයකු සේ සැලකුණත්, ඇරපයිමා ශක්තියේ සංකේතයකි. උගේ දැඩි කොරල, විද්‍යාඥයන් සම කරන්නේ ‘වෙඩි නොවදින බැනියම‘කට ය. ඇමසන් නදියේම වෙසෙන, ලෝකයේ මිනීමරුම මත්ස්‍යයා ලෙස සැලකෙන පිරන්හාගේ දත් පහරින් පවා බේරීමට මේ වෙඩි නොවදින බැනියම නිසා ඇරපයිමාට හැකි ය.

උගේ මස සුදු ය. කටු අවම ය. විශ්වාස කෙරුණේ මේ මත්ස්‍යයා වඳවී ගොස් ඇති බව ය. නැතිනම් වඳ වී යාමට ආසන්නයේ සිටින බව ය. එයට හේතු වී තිබුණේ ඉවක් බවක් නැතිව, ඇරපයිමාටත් වඩා ටර්මිනේටර්ලා වන මිනිසුන් විසින් උන්ව දඩයම් කිරීමයි. බ්‍රසීලයේ හොඳම අවන්හල්වල ඇරපයිමා භෝජනයක් සුපිරි ධනවතුන්ට පමණක් මිලදී ගත හැකි මුදලකට විකිණේ.

අවසානයේදී 1990 වසරේදී ඇරපයිමා දඩයම තහනම් කෙරිණි. නමුත් නීති විරෝධීව මසුන් ඇල්ලිණි.

ඇරපයිමාවන් වැසි සමය ගත කරන්නේ ගං වතුරෙන් දෙගොඩ තලා ගිය වනය තුළ ය. එහිදී උහු ප්‍රජනනයේ යෙදෙති. ඉන්පසු ජලය බැස යන විට සුපුරුදු ගංගාවටම ඇදී යති. උතුරු බ්‍රසීලයේ ඇමසන් ජනපදයේ ජුරුරා ගංගාව උන්ගේ පාරාදීසයකි. උන් සංරක්ෂණය කිරීම දැන් මෙහි තදින්ම සිදු වේ.

ස්වදේශිකයෝ මේ ගංගාවේ නීති විරෝධී මසුන් මරන්නන් අහුරමින් වැටවල් බැඳ තිබේ. රති කෙළියෙන් පසුව ගංගාවට ඇදී එන විට ඇරපයිමාවා ප්‍රමාණයෙන් කුඩා වී තිබේ. උන් එවිට අඩි පහක් පමණ කුඩා ය. ඒ කාලයේදී පමණක්, එනම් අගෝස්තු-නොවැම්බර් මාසවලදී පමණක් උන්ව බිලී බෑමට අවසර ලැබේ.

වසර 11 ක් බ්‍රසීලියානුවන් මේ අන්දමින් ඇරපයිමා මත්ස්‍ය සම්පත් රැක ගැනීමේ යෙදී සිටියහ. ඒ වෙනුවෙන්ම බිහි වූ සිවිල් සංවිධාන ද වේ. මේ වන විට ඔවුන්ගේ ප්‍රයත්නය සැබවින්ම පල දරා ඇත. ඒ, ගංගාව ආශ්‍රිත විල්වල ඇරපයිමා ගහණය මසුන් 4000 දක්වා වැඩි කර ගැනීමට හැකි වීම තුළිනි.

මේ වන විට ගංගා විල් 1358 ක් ඔවුන් විසින් සංරක්ෂණ කර ඇති අතර, ඇරපයිමාවන් 330,000 ක්වත් ඒවායේ ජීවත් වෙති.

වසරේ තෝරාගත් කාලයකදී පමණක් ඇරපයිමා මසුන් දඩයම් කිරීමට ඉඩ දීම තුළින් ප්‍රජාව තුළ විශාල වෙනසක් ඇති වී තිබේ. උන් ඉතා මිල අධික ය. ඇරපයිමාවන් නිසා දැන් පාසල් ඉදි වී තිබේ. යටිතල පහසුකම් වැඩි දියුණු වී තිබේ. සමාජ ආරක්ෂණය, සෞඛ්‍ය සේවාවන් දිරිගැන්වීම සඳහා එම ආදායම යොදවනු ලැබේ.

ඇරපයිමා බ්‍රසීලයේ අභිමානයයි. මෙම සංරක්ෂණ ප්‍රයත්නය අන්තර්ජාතික ව ද දැන් පැසසුමට ලක් වේ.

‘තිරසාර සංවර්ධනය‘ යනු, පරිසරය එක සීරුවට විනාශ කරමින් ගොඩනැගිලි සහ මහාමාර්ග ඉදිකිරීම නොවේ. පරිසරය රැක ගනිමින් සහ කළමනාකරණය කරමින් සංවර්ධන කටයුතු සිදුකිරීමයි.

ඇමසන් ද්‍රොණියේ නිදිබර ඇරපයිමා, බ්‍රසීලයේ සිට අපට කියාදෙන කතාන්දරය එයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි