×

මාල දිවයිනේ නව හිරු – ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලි

මාලදිවයින ප්‍රජාතන්ත්‍රවාදයේ හිරු කිරණ විඳිමින් සිටියි. අබ්දුල් යාමින් පරදවා, ඉබ්‍රාහිම් මොහොමඩ් සෝලි, මාලදිවයින් ජනාධිපතිවරණයෙන් ජයගත්, තිරයෙන් පිටුපස කතාවයි, මේ.


ඉතා කලාතුරකින් සිදුවන පරිදි ඡන්ද දායකයෝ මෙහිදී බුද්ධිමත් වුහ. හදිසි නීතිය, විපක්ෂ නායකයන් සිරගත කිරීම සහ මාධ්‍ය නිදහස මර්දනය කිරීම් සමග ගත වුණු දීර්ඝ පරිච්ඡේදයකින් පසුව මාලදිවයිනේ ඡන්ද දායකයන් විසින්, ‘සැබෑ ජනතා පරමාධිපත්‍යය‘ යනු කුමක්දැයි පෙන්වා දී තිබේ. ඔවුන් විසින් 2018 ජනාධිපතිවරණයේදී ජනපති අබ්දුල්ලා යාමින් (Abdulla Yameen) ගෙදර යවන්නේ 58%ක බහුතර ජනමතයකිනි. මේ ප්‍රතිශතය ගණනය වන්නේ 90%ක වලංගු ඡන්ද ප්‍රමාණයකින් වන හෙයින්, එය මාලදිවයිනේ සමස්ත ජන මතය නියත ලෙසම විදහා දක්වයි.

සෝලි ගේ ජයග්‍රහණය පිළිබඳ මැතිවරණ කොමිසම සම්පූර්ණ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර ශ්‍රී ලංකාව ද ඇතුළු රටවල් ගණනාවක් ඔහුට සුබපතා සිටි ආකරය කැපී පෙනේ. අබ්දුල්ලා යාමින් චීනය වෙත අසාමාන්‍ය නැඹුරුවක් දැක්වූ නායකයෙකු හෙයින්, ඒෂියා ටයිම්ස් පුවත්සේවය පවසන අන්දමට ‘‘මාලදිවයින ජනාධිපතිවරණයෙන් චීනය පැරදුණේය, ඉන්දියාව දිනුවේය!‘‘.

මූලික සමීක්ෂණවලින් පෙන්වූයේ 80%කට වඩා වැඩි ඡන්ද ප්‍රතිශයයකින් ඔහු ජයගනු ඇති බවයි. දශක ගණනක් මුළුල්ලේ පැවති සහෝදර සමාගමක් පරදවා ජය ගැනීමට විශාල සැලසුමක් සහ පෙර සූදානමක් අවශ්‍ය ය.

මාලදිවයිනේ සියල්ල සිදුවූයේ වේගයෙනි. හිටපු ජනපති මොහොමඩ් නෂීඩ් (Mohamed Nasheed) මූලික ඡන්ද විමසීමේදී ජයගෙන සිටියද මාලේ මැතිවරණ කොමිසම ජූනි මාසයේදී ප්‍රකාශ කළේ ඔහු ජනාධිපතිවරණයට සුදුසුකම් නොලබන බව ය. මාලදිවයින මැතිවරණ කොමිසම, යාමින්ගේ සහචරයන් හා ආධාරකරුවන් බහුල තැනක් ලෙස ප්‍රකට ය. 2012 වසරේදී ඔහු බලයෙන් පහ කෙරන්නේ කුමන්ත්‍රණයක් මගිනි. ඉන්පසු අගෝස්තු මාසයේදී ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකයා පැවසුවේ ජනාධිපති අබ්දුල්ලා යාමින් බලයෙන් පහ කිරීමට ‘කුමන්ත්‍රණයක්‘ දියත් වී ඇති බව ය. මැතිවරණයට දින කිහිපයකට පෙර, ‘ද හින්දු‘ ආදී පුවත්පත් වාර්තාවන්ට අනුව උන් හිටි හැටියේ මාලේ පොලිසිය, විපක්ෂයේ මූලස්ථානයට කඩා පැන එය ආක්‍රමණය කළේය.

මාලදිවයින තුළ තිබූ දේශපාලන අස්ථාවර භාවය උත්සන්න වූයේ 2015 මුල භාගයේදී ය. මොහොමඩ් නෂීඩ් ට ත්‍රස්තවාදී චෝදනා එල්ල වූ අතර, නඩු විභාගයේදී ඔහු එයින් වරදකරු බවට පත්විය. බොහෝ විචාරකයන් පැවසුවේ, මෙම නඩු විභාගය, රජය විසින් රජයට උවමනා හැටියට තැබූ පක්ෂග්‍රාහී නඩුවක් බව ය. විසම්මුතිය සහිත දේශපාලකයන් පමණක් නොව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පවා සිරගත කිරීම, පසුගිය කාලයේ මාලදිවයින තුළ අඩුවක් නැතිව දැකගන්නට ලැබිණි.

චණ්ඩාල රාජ්‍යයක්

ගෙදර යමින් සිටින ජනපති මොහොමඩ් යාමින්, මාලදිවයින චණ්ඩාල රාජ්‍යයක් බවට පත් කළේය. ඔහුට අවශ්‍යව තිබුණේ චීනයේ සහ සෞදි අරාබියේ ක්‍රමයට විසම්මුතිය මර්දනය කරන්නට ය. ප්‍රචණ්ඩත්වය, තර්ජනය කිරීම් සහ දූෂණය ඔහුගේ පාලන සමය තුළ කැපී පෙනුණි. ජනප්‍රිය බ්ලොග් රචකයෙක් මරා දැමිණි. මාධ්‍යවේදීන් අතුරුදහන් කෙරිණි. යාමීන් වරක් සිය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාට කීවේ, ‘අතුරුදන්වීම් පිළිබඳ විමර්ශන ඒ තරම්ම ගණන් ගත යුතු දේවල් නොවන බව‘ ය. පසුගිය මාසය තුළ, ඔහුට උවමනා අන්දමින් කටයුතු කරන අධිකරණය, ප්‍රධාන පෙළේ සැකකරුවන් රාශියක් ගෙදර යැව්වේය.

මෙයට දෙවසරකට පෙර අල් ජසීරා පුවත්සේවය විසින් හෙළි කළ අන්දමට යාමින්ගේ ඩොලර් බිලියනක පමණ කළු සල්ලි ජාවාරමකට සම්බන්ධව සිටියේය. නමුත් ඔහු ඒ සියලු චෝදනා ප්‍රතික්ෂේප කර ගණනකට නැතිව සිටියේය. පුරා පස් වසරක් තිස්සේ ඔහු මාලදිවයින තුළ සියුම්-ක්‍රෑර පාලනයක් ගෙන ගියේය.

අන්තර්ජාතික ප්‍රජාවට ද මාලදිවයින ගැන අනාවැකි කියන්නට නොහැකි වී තිබිණි. එනම්, එදා 2012 කුමන්ත්‍රණයේදී ප්‍රජාතන්ත්‍රවාදය පීලි පන්නවා බලය පැහැරගෙන රජ වූයේ මොහොමඩ් වහීඩ් (Mohammed Waheed Hassan Manik) ය. (2012-2013). ඔහු ස්ටැන්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලද, එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග වැඩ කර අත්දැකීම් තිබු අයෙකි. එනිසා, මාලදිවයින, යම්කිසි ආකාරයකින් ඉදිරි ගමනක යෙදේ යැයි ජාත්‍යන්තර ප්‍රජාව බලාපොරොත්තුවෙන් සිටියේය. නමුත් අවසානයේ 2013 වසරේ පැවති ජනාධිපතිවරණයෙන් ඔහු ලබාගත්තේ මාලදිවයින ඉතිහාසයේ බලයේ රැඳී සිටි ජනාධිපතිවරයෙකු විසින් වාර්තා කළ අඩුම ජනතා ප්‍රසාදය හෙවත්, 5%ක ඡන්ද ප්‍රතිශතයකි. ඔහු කළ ලොකුම හානිය එය නොවේ. යාමින්ට බලයට පත්වීමට ඒ හරහා මග පෑදුවේ මොහොමඩ් වහීඩ් හසන් මනික් ය.

2:1 වේගයකින් දික්කසාද වන රටක්

මාලදිවයින, ලෝකයේ රොමාන්තිකම සංචාරක නිකේතනවල එකතුවකි. එරට ප්‍රධානතම ආදායම් මාර්ගය වන්නේ ද සංචාරක කර්මාන්තයයි. එහි සුන්දර වෙරළ තීරයන් වෙතට වසරකට සංචාරකයන් මිලියනයක් ඇදී එ අතර, එයින් භාගයක්ම යුරෝපියානුවන් ය. නමුත් මාලදිවයින් සමාජය තුළ ‘සංස්කෘතික පවුල‘ යන සංකල්පය (එහි නූතනත්වය පිළිබඳ මතභේද තිබුණද) මේ වන විට බිඳ වැටී තිබේ. ලෝකයේ වැඩිම දික්කසාද ප්‍රතිශතය වාර්තා වන්නේ මාලදිවයිනෙනි. මාලදිවයිනේ දික්කසාද වේගය, දෙදෙනෙකුට එක් අයෙකි.!

ප්‍රජාතන්ත්‍රවාදයේ මධු සමයක්?

ඉබ්‍රාහිම් ‘අබු‘ මොහොමඩ් සෝලි රටේ ජනාධිපති පදවියට පත්වනු ඇත්තේ මාලදිවයින් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමිනි. නමුත් ඔහුගේ විපක්ෂ සන්ධානය කිසිසේත්ම ප්‍රජාතන්ත්‍රවාදී එකක් නොවේ. එනිසා ඔහු හමුවේ ඇති විශාලතම අභියෝගය වනු ඇත්තේ මාලදිවයිනේ අනාගතය පැන්ඩෝරා පෙට්ටගමක් බවට පමණක් සීමා කර නොගැනීමයි. හිටපු උප ජනාධිපති අහ්මද් අඩීබ්, හිටපු ආරක්ෂක ඇමති මොහොමඩ් නසීම් පමණක් නොව හිටපු ජනාධිපති මව්මුද් අබ්දුල් ගයුම් ද ඔහුගේ ප්‍රතිවාදීන් ලෙස තවදුරටත් පෙනී සිටිනු ඇත.

කෙසේ නමුත් මාල දිවයින ජනතාව මේ ජයග්‍රහණය දකින්නේ කලකට පෙර උදා වූ ‘සැමරිය යුතු උත්සවයක්‘ ලෙස ය. ඔවුන්ගේ හැඟීම් වටහාගැනීම අපහසු නැත. අල් ජසීරා පුවත්සේවය සමග මාලදිවයිනේ මහා පරිමාණ දූෂණයක් සම්බන්ධයෙන් ගවේෂණාත්මක වාර්තාකරණයක නිරත වූ සහීනා රෂීඩ් හට අවසානයේ සිදුවූයේ මාලදිවයිනෙන් පළා යන්නට ය. ඉබ්‍රාහිම් ‘අබු‘ මොහොමඩ් සෝලිගේ ජයග්‍රහණයෙන් ඇය පවා සතුටට පත්ව තිබේ. “Guys – I’m going home‘‘ යැයි ඇය සමාජ මාධ්‍ය ජාල හරහා පවසා තිබේ.

රූකඩ අධිකරණයක්

පසුගිය ඉරිදා වාර්තා වූ නව ඡන්ද ප්‍රතිඵලය, මාලදිවයින බරපතළ ලෙසම ප්‍රජාතන්ත්‍රවාදය වෙත ඇදගෙන යාමට ජනතාව තුළ ඇති අපේක්ෂා පිළිබිඹු කරයි. මේ අතරින් ප්‍රධානතම කාරණයක් වන්නේ, අහිමි වී ගොස් ඇති අධිකරණ ස්වාධීනත්වය නැවත ස්ථාපිත කිරීමයි. මව්මුද් අබ්දුල් ගයුම්ගේ වසර 30 ක ඒකාධිපති පාලනය නිසා මාල දිවයිනට උරුම වූයේ ‘රබර් මුද්‍රාවකට පමණක් සීමා වී තිබු අධිකරණ පද්ධතිය‘ (rubber-stamp judiciary)කි. ගයුම් මෙන්ම යාමීන් ද සිය විරුද්ධවාදීන් මර්දනය කිරීම පිණිස අධිකරණයේ පිහිට පැතුවේය. අධිකරණයේ ස්වාධීනත්වය යන යෙදුම ඔහු වැඩි වශයෙන්ම භාවිතා කළේ තමන්ට එරෙහි දූෂණ චෝදනාවලින් තමන්ව නිදහස් කරන නඩු තීන්දු ලබාගැනීම සඳහා ය. යාමින්, ජනාධිපතිවරණයේ නව ප්‍රතිඵලය අනුව නොවැම්බර් 17 වැනිදා නව නායකයාට රට භාර දී යන විටද මාලදිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තත්වය මෙයම වනු ඇත.

මාලදිවයිනේ අධිකරණයේ තත්වය කෙසේද යත්, ‘සාධාරණ නඩු විභාගයක්‘ යන්න ඒ රටේ මේ වනවිට හිතලුවක් පමණි. අධිකරණ සේවා කොමිසමේ හිටපු සාමාජිකයෙකුට අනුව විනිසුරුවරුන්ගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ පවා බරපතළ ගැටළු තිබේ. අපරාධවලට චෝදනා ලැබූ විනිසුරුවරු ද සිටිති. විචාරකයන් පෙන්වා දෙන්නේ මේ තත්වය තුළ මාල දිවයිනේ අධිකරණ පද්ධතිය ගොඩ ගැනීමට නම් විදෙස් විනිසුරුවරුන්ගේ සහාය ලබාගත යුතු බවයි. ඔවුන්ව විනිශ්චයාසන වෙත කැඳවාගෙන ආ යුතු බවයි.

දැන්, අබ්දුල්ලා යාමින්ගේ ප්‍රචණ්ඩකාරී පාලනය අවසන් වී තිබේ. නමුත් බිඳ වැටී ඇති ආයතන ගොඩ නගා ගැනීමට මාලදිවයින බොහෝ දුරක් යා යුතුය. ලංකාවේ පොලිසිය, බන්ධනාගාරය, අධිකරණය යනාදිය බිඳ වැටුණු ආයතන ලැයිස්තුවේ වේ. මේ තත්වය මාලදිවයින තුළ ද එසේම ය. ආයතන කෙරෙහි විශ්වාසය සහ ඒවායේ නීත්‍යානුකූලභාවය නැවත ගොඩනංවා ගැනීම, නූතන ප්‍රජාතන්ත්‍රවාදය මුහුණ දෙන ප්‍රධානතම අභියෝගයයි. නීති ක්ෂේත්‍රයේ ඇති ප්‍රකට කියමනකට අනුව, ‘ආයතන මිය යාම මිනිසුන් මිය යාමට වඩා ඛේදනීය‘ ය.

පෙර ලිපි-
මාලදිවයින, චීනය සමග මද සිනාවක!



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි