×

නරේන්ද්‍ර මෝදි ‘වෙනසේ‘ නියම නියමුවා ය!

‘‘මගේ දයාබර ඉන්දියානුවනි, මම අවිවේකියි.. මම අවිවේකියි.., මක් නිසාද යත් බොහෝ ජාතීන් සිටින්නේ ඉන්දියාවට ඉදිරියෙන්. අන්න ඒ නිසයි මම ඔවුන්ව පසුකිරීමට අවිවේකයෙන් පසුවන්නේ. දුප්පත්කමෙන් සහ මන්දපෝෂණයෙන් ඉන්දියාව නිදහස් කර ගන්නා තෙක් මට විවේකයක් නැහැ. මම තිගැස්මෙන් සිටින්නේ... මම ඒ සඳහා දරුණු විදිහට වැඩ කරනවා..“


ඉන්දියාව අද (අගෝස්තු 15) සිය 72 වැනි නිදහස් දිනය සමරන විට රෙඩ් ෆෝඩ් හි සිට නරේන්ද්‍ර මෝදි ජාතිය අමතා කළ කතාව, ‘වෙනස‘ක් ගැන හදවතින් පමණක් නොව මොළයෙන් ද කල්පනා කරන, නොඉවසිලිමත් මිනිසකෙුගේ කැඩපතක් වූ බවට සාධක බොහෝ ය.

බිලියන 1.31 ක් වූ ඉන්දියානුවන් අමතා නරේන්ද්‍ර මෝදි කළේ සිංහ නාදයක් යැයි අපි නොකියමු. නමුත් රටේ ඉදිරි ගමන ගැන ඔහු තුළ ඇති ‘දේ‘ ඒ තුළින් නොවැළැක්විය හැකි ලෙස පිළිබිඹු වී යැයි අපි කියමු.

මෝදි විසින් කළ උද්වේගකර කතාවෙන් උපුටාගත් කොටස් කිහිපයකි, මේ.

‘‘මගේ දයාබර ඉන්දියානුවනි, මම අවිවේකියි.. මම අවිවේකියි.., මක් නිසාද යත් බොහෝ ජාතීන් සිටින්නේ ඉන්දියාවට ඉදිරියෙන්. අන්න ඒ නිසයි මම ඔවුන්ව පසුකිරීමට අවිවේකයෙන් පසුවන්නේ. දුප්පත්කමෙන් සහ මන්දපෝෂණයෙන් ඉන්දියාව නිදහස් කර ගන්නා තෙක් මට විවේකයක් නැහැ. මම තිගැස්මෙන් සිටින්නේ… මම ඒ සඳහා දරුණු විදිහට වැඩ කරනවා..“

‘‘සැමට නිවාස… සැමට බලශක්තිය.. සැමට පිරිසිදු ඉවුම් පහසුකම්, සැමට ජලය, සැමට (ඩිජිටල්) සම්බන්ධතා.. සැමට සනීපාරක්ෂාව, සැමට කුසලතා, සැමට සෞඛ්‍යය, සැමට රක්ෂණය..‘‘ එක හුස්මට මෝදි කියාගෙන යයි.

සමාවන්න.., මේ ආසියාවේ ටිපිකල් දේශපාලකයෙක් මැතිවරණ වේදිකාවක සිට දෙන ඡන්ද ගුණ්ඩු පමණක්ම නොවේ. 2019 මහ මැතිවරණයෙන් මෝදි ජයගන්නා බවට දැනටමත් සාධක ඇති හෙයින් සහ, ඔහුට බියවීමට ඒකාබද්ධ විපක්ෂයක් ඉන්දියාවේ නැති හෙයින් ද මෝදිට ඒ පැත්තෙන් ‘ආතතියක්‘ නැති තරම් ය. නමුත් එසේ තිබියදීත් ඔහු නොනැවතී – එක හුස්මට වැඩ කරයි. ජනතාවගේ ජීවන තත්වය නගා සිටුවීම නමැති යුද්ධයේ, දුප්පත් කම නමැති යුද්ධයේ මෝදි දැනටමත් පෙරමුණ සෙනෙවියා වී සිටියි.

වසර 2022 දී ඉන්දියානුවන් අජටාකාශයට

මෝදි මෙසේ ද කියයි. ‘‘අපි 2022 දී 75 වැනි නිදහස සමරන විට අපේ රටේ මිනිසුන් අභ්‍යකාශයට යැවීම සඳහා කැප වී සිටිනවා. අපි ‘ගගන්යාන්‘ (ගගන යාත්‍රාවක්) දියත් කරනවා. ඒක හදන්නෙ ඉන්දියාවෙ විද්‍යාඥයන්. එවිට අපි, අජටාකාශයට මිනිසුන් යැවූ ලෝකයේ 4 වැනි රට බවට පත්වේවි..“

මෝදි තමන්ගේ රටේ විද්‍යා පර්යේෂකයන් ගැන, තමන්ගේ රටේ නව නිපැයුම් ගැන මහ ඉහළින් කවදත් කතා කරයි. උගතුන්ගෙන් වැඩ ගත හැකි ක්‍රම ඔහු දනියි. ඉන්දියාව නොබෝදා තමන්ගේම යුද්ධ ටැංකියක් ද හදාගත්තේය. හැකි නම් වසර 2022ට කලින්ම ඉන්දියාව අජටාකාශ ඉලක්කය වෙත යනු ඇති බව මෝදි කියයි. මෙයට සාපේක්ෂව, චීනයේ හදා ‘චිචී‘ විසින් යැවූ, ලංකාවේ කොඩිය ගැසූ චන්ද්‍රිකාව මේ පරසක්වළ කොහේ තිබෙනවාදැයි තවම සොයාගැනීමට හැකි වී නැති නිසා ලංකාවේ අජටාකාශ අනාගතය ගැන මදකට අමතක කරන්න. අජටාකාශය තබා, ඩෙංගු රෝගයට පැපොල් කොළ යුෂවලින් බටහිර ලෝකයේ ප්‍රථම ඔසුව තැනූ, ජාත්‍යන්තර කීර්තියට පත් වෛද්‍ය විද්‍යා පර්යේෂකයාට පවා ලංකාවේ ඩෙංගු නිවාරණ වැඩපිළිවෙළ තුළ තවමත් ‘වැඩක් ඇති වැඩක්‘ පවරා නැත! ඉතින් අපට ඉතිරි වී තිබෙන්නේ බුද්ධි ගලනය ගැන සදා මැසිවිලි කියන ‘අපේ රට‘කි.

සැබෑ නිදහස යනු, දුප්පත්කමෙන් නිදහස ලැබීමයි!

එදා බොම්බේ ස්ට්‍රීට් හි (වත්මන් ගුජරාටයට අයත්) ‘පසුගාමී කුලයක්‘ යැයි ඉන්දියානු රජය විසින් නමින් හඳුනාගෙන සිටි ප්‍රජාවක, සය දෙනෙකුගෙන් යුත් පවුලක තෙවැන්නා ලෙස උපන් මෝදි, දුප්පත්කම රටෙන් තුරන් කිරීම සඳහා සැබවින්ම වැඩ කරමින් සිටියි. එහි අංග රාශියකි. ඔහු විචිත්‍ර කථිකයෙකි. මහත්මා ගාන්ධි සහ ස්වාමි විවේකානන්දගේ ආභාසය සුළුවෙන් හෝ ඔහුගේ වචන තුළ ගැබ්ව ඇත. අද මෝදි මෙසේ කීවේය. ‘‘මහත්මා ගාන්ධි සත්‍යග්‍රහයේ යෙදුණු වුන් (සත්‍යග්‍රාහීන්) ට නිදහස ලබාදුන්නා. අද, ‘ස්වච්චග්‍රාහී‘ වෙත ‘ස්වච්ච භාරත්‘ (පිරිසිදු භාරතයක්‘ උදා කර දිය යුතුයි. මෝදි ‘සත්‍යග්‍රාහී‘, ‘ස්වච්චග්‍රාහී‘ වෙත ස්විච් කළේ එසේ ය. ස්වච්චග්‍රාහී යනු මෝදි විසින් මහත්මා ගාන්ධිගේ සත්‍යග්‍රාහී වැඩපිළිවෙළෙන් උත්තේජනය ලබා දියත් කළ ‘පිරිසිදු භාරතයක්‘ වැඩසටහනයි. ‘ස්වච්ච‘ යනු පිරිසිදු කමයි. එසේම සැප්තැම්බර් 25 වැනිදා පටන්, ඉන්දියාවේ දුප්පතුන්ට දරාගත හැකි සහ හොඳ ගුණාත්මයකින් යුක්ත සෞඛ්‍ය සේවයක් ලබාදීම සඳහා ඔහු විසින් දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට නියමිත ය. කෝටි 50 ක ඉන්දියානුවන්ට එහි ප්‍රතිලාභ හිමිවීමට නියමිත ය. පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියා තිබුණේ මෝදිගේ ‘භාරතය පිරිසිදු කිරීමේ වැඩසටහන‘ හේතුවෙන් ඉන්දියානු දරුවන් ලක්ෂ 3කගේ ජීවිත මරණයෙන් ගැළවුණු බව ය. ‘‘සෞඛ්‍ය සේවාවන් දරාගත නොහැකි කම නිසා දුප්පත්කමෙන් පෙළෙන ඉන්දියාවේ දුප්පතුන්ට අපි නිදහස ලබාදිය යුතුයි‘‘ යැයි ඔහු පැවසුවේය. මෝදි මේ කියන්නේ, සැබෑ නිදහස යනු, ‘දුප්පත්කමෙන් නිදහස්වීම‘ කියා ය. මෝදි සැලසුම් කරන්නේ වසර 2022 වන විට ඉන්දියාවෙන් දුප්පත්කම තුරන් කිරීමට ය. අද ලංකාව, ක්ෂුද්‍ර මූල්‍ය ආගාධයේ ඇද වැටී ග්‍රාමීය ආර්ථිකය නගා සිටුවන මං ගැන රෑ දවල් නැතිව හිස ගිනි ගෙන සිතත්දී මෝදි ඉතාම දියුණු පිළිවෙළකට රටේ ග්‍රාමීය ආර්ථිකය ගොඩ දමමින් සිටියි.

මෝදිගේ ‘වැසිකිළි යුද්ධය‘

ලොව පුරා මිනිසුන් වසරකට ලක්ෂ 17 ක් අපිරිසිදු ජලය හා සනීපාරක්ෂක පහසුකම් නැති නිසා මිය යන විට, එයින් ලක්ෂ 6 ක්ම ඉන්දියානුවන් වීමේ ‘මහා ප්‍රශ්නය‘ විසඳීම මෝදි පටන් ගත්තේ එසේ ය. ඉන්දියාවේ දැරියන්ගෙන් 1/4ක්ම පාසල් ගමන නතර කරන්නේ විධිමත් වැසිකිළි පහසුකම් නැති නිසා ය. සනීපාරක්ෂාව හා සබැඳි රෝග හා සමාජ තත්වයන් නිසා ඉන්දියාවට වසරකට ඩොලර් බිලියන 106ක පාඩුවක් සිදු වේ. මෝදි බාරගත්තේ එවැනි ඉන්දියාවකි.

2017 වසරේදී බිල් ගේට්ස් මෙසේ කීවේය. ‘‘ජාතික නායකයෙක් මේ තරම් සංවේදී මාතෘකාවක් මේ තරම් අවංකව සහ ප්‍රසිද්ධියේ ගෙන ආ අවස්ථාවක් ගැන මට සිතන්නට බැහැ. මෝදි කියන දේ කරන කෙනෙක්.“

‘‘ස්වාච් භාරත්‘ වැඩසටහන ගැන කළ පළමු ප්‍රසිද්ධ කතාවෙන් මාස 2කට පසු මෝදි ඉන්දියාවේ ‘වැසිකිළි යුද්ධය‘ පටන් ගත්තේය. එහි අරමුණ වන්නේ වසර 2019 වන විට එළිමහනේ මළපහ කරන, දිළිඳුකම හා බැඳුණු ඉන්දියානු උප සංස්කෘතිය අවසන් කිරීම ය. මෝදි ඉන්දියාව භාරගන්නා විට ඉන්දියාවේ විධිමත් වැසිකිළි-කැසිකිළි පහසුකම් තිබුණේ ජනගහනයෙන් 42%කට පමණි. දැන් එම ප්‍රතිශතය 70% ඉක්මවයි. මේ වසර 4 තුළ ඔහු රට පුරා වැසිකිළි මිලියන 75 ක් හැදුවේය! ඒවාට ජල පහසුකම් ද සැපයීය. (බලන්න, https://www.gatesnotes.com/Development/Indias-War-on-Human-Waste)

කාන්තාවන් ගැන ආඩම්බරයෙන්

72 වැනි නිදහස් සමරුව දා මෝදි ලබාදුන් තවත් තීරණයක් වූයේ ඉන්දියානු හමුදාවට කෙටි කාලීනව බඳවාගෙන තිබෙන කාන්තා සාමාජිකාවන්ට සිය පිරිමි සගයන්ට මෙන්ම ස්ථිර තත්වය ප්‍රදානය කරන්නට ය. ඔහු මෙසේ ද කියයි. ‘ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයේ කාන්තා විනිසුරුවරියන් 3 දෙනෙක් යුක්තිය පසිඳලීම සඳහා එක්වී සිටීම ගැන මම ආඩම්බර වෙනවා!“ මෙයට සාපේක්ෂව, ‘ජනමූල නායකයෙක්‘ මේ රට භාරගත් ‘පෙර රජ සමයක‘, ලංකාවේ සිටි එකම කාන්තා අගවිනිසුරුවරිය ගෙදර යැවූ නිර්ලජ්ජිත විලාසය මැවී මැවී පෙනේ…!

මේ වන විට මෝදිගේ කැබිනට්ටුවේ ඇමති ධුරයන් 6ක්ම කාන්තාවන් විසින් දරනු ලැබේ. ලෝකයේ ප්‍රථම කාන්තා අගමැතිනිය බිහි කළ ලංකාවට පවා තවම එවැනි ‘රටට දැනෙන‘ විස්කමක් කර ගත හැකි වූයේ නැත.

දූෂණයෙන් සහ ඥාති සංග්‍රහයෙන් තොර සංවර්ධනය

භාරතීය ජනතා පක්ෂයේ නායකයා සහ, ප්‍රතිවාදී කොංග්‍රසයේ පවුල්වාදයට එරෙහිව සුපුරුදු පරිදි හඬ නගන්නට ද මෝදි අමතක නොකරයි. ඔහු පෙළපත්වාදය, පවුල්වාදය සහ ඥාති සංග්‍රහය සිය කතාවේදී සුණු විසුණු කරයි. ඔහු සිහින මවන්නේ ඥාති සංග්‍රහය මූලික කරගෙන සිදුවන කළු සල්ලි සංසරණය නතර කරන්නට ය. ඔහුගේම වචනවලින් කියනවා නම්, ‘දිල්ලියේ වීදි, බලවත් තැරැව්කරුවන්ගෙන් මුදා ගන්නට‘‘ ය. දුප්පතුන්ගේ හඬ ‘ඇසෙනසුලු‘ කරන්නට ය.

කළු සල්ලි තුරන් කළ හැටි

දූෂණයෙන් තොර රටක්, කළු සල්ලිවලින් තොර රටක් යනාදිය මෝදිගේ හුදු පාරම්බෑම් පමණක් නොවේ. එදා 2014 වසරේ බලයට පැමිණි මුල් යුගයේම කළු සල්ලි රටෙන් තුරන් කිරීම සඳහා මෝදි අපූරු දේවල් ගණනාවක් කළේය. 2015 වසරේදී Black Money (Undisclosed Foreign Income and Assets) and Imposition of Tax පනත ක්‍රියාවට නැංවීය. නව නීතිය අනුව ඉන්දියාවේ සියලුම බදු ගෙවන්නන් විසින් 2015 සැප්තැම්බර් 30 වන විට විදේශවල තිබෙන තමන්ගේ සියලු හෙළි නොකළ ආදායම් සහ වත්කම් (Undisclosed Foreign Income and Assets) වැමෑරිය යුතු විය. මෝදි අවධාරණයෙන් කියූ පරිදි, එය ඒ සඳහා ඔවුන්ට ලැබෙන එකම සහ අවසන් අවස්ථාව වන අතර, එයින් පසු සමාවක් නැත. අවසානයේ ඉන්දියානුවන් 650 දෙනෙක් විදේශ බැංකුවල ඉන්දියානු රුපියල් කෝටි 4100 ක් ඇති බව පිළිගත්හ. 2016 වසරේදී ද වත්කම් ප්‍රකාශනය ඇතුළත් ව ඔහු වෙනත් අවස්ථා දෙකක් ලබාදුන් විට, තවත් පුද්ගලයෝ 92,000 ක් ඉන්දීය රුපියල් කෝටි 72,200 ක් අනාවරණය කළහ!

ඉන්පසු 2016 නොවැම්බරයේ මෝදි තවත් ඉතිහාසගත වන දෙයක් කළේය. ඒ වන විට රටේ සංසරණය වෙමින් පැවති ව්‍යවහාර මුදල්වලින් 86%කට වගකියූ මුදල් නෝට්ටු ඔහු විසින් අවලංගු කළේය. එයින් අපේක්ෂා කළේ කළු සල්ලි ප්‍රධාන කරගත්, ගෙදර හොර රහසේ හංගාගෙන සිටින මුදල්, නැවත බැංකු පද්ධතිය වෙත ගෙන්වා ගැනීම ය. එකල ඉන්දියාවෙන් ලැබුණු ආරංචි මාර්ගවලට අනුව, නියමිත කාලය තුළ බැංකුවේ තැන්පත් කළ නොහැකි වූ මිලියන ගණන් මුදල් නෝට්ටු ඉන්ධන පිරවුම්හල් අසල පෝර උරවල දමා ගොස් තිබිණි. මෙයින් පසු Operation Clean Money යනුවෙන් ඉන්දියාවේ බදු නිලධාරීහු මෝදිගේ අලුත්ම ක්‍රියාන්විතයට අත තැබූහ. අවසානයේ සිදුවූයේ ඉන්දියාවේ කළු සල්ලි සංසරණය 90%කින් අඩු වීමයි.

1988 වසරේ ඉන්දියාව විසින් ගෙන ආ The Benami Transactions (Prohibition) Act හෙවත්, දේපළකට එක් අයෙකු මුදල් ගෙවූ පසු වෙනත් අයෙකුට දේපළ පැවරීම හෙවත් ‘හොර පාරෙන් වත්කම් හැංගීම‘ තහනම් කරමින් ගෙන ආ පනතට මෝදි 2016 වසරේ සංශෝධනය ගෙන ආවේය. අද වන විට නිල දත්ත මගින් පෙන්වා දෙන්නේ, එයින් පසු ඉන්දීය රුපියල් කෝටි 3,500 ක් වටිනා දේපළ 900 ක නියම හිමිකරුවන් කවුරුන්දැයි මේ නිසා හෙළිකරගත් බව ය. ඩේසි ආච්චිගේ මැණික් මල්ල හෝ මල්වානේ ඉඩම වැනි මැජික්වලට තවදුරටත් ඉන්දීය සන්දර්භය තුළ පිනුම් ගැසීමට ඉඩ නැත්තේ ඒ නිසා ය.

එසේම කළු සල්ලි වසංගතය දුරලීම පිණිස මෝදි ‘ගාර්‘ යන කෙටි නමින් හඳුන්වන General Anti-Avoidance Rules රෙගුලාසි පද්ධතිය 2017 අප්‍රේල් මාසයේ සිට හඳුන්වා දුන්නේය. තවද මුරිසි දිවයින ඉන්දියාවේ කළු සල්ලි කෝටිපතියන්ගේ සූදු පොළක් බව වටහාගෙන මුරුසියේ බදු ගෙවන පුරවැසියෙකු විසින් ඉන්දියාවේ සමාගමක් විකිණීමක් හෝ හිමිකම මාරු කිරීමක් සිදුකළහොත් ප්‍රාග්ධන ඉපැයීම මත බදු අය කළ හැකි පරිදි The Double Taxation Avoidance Agreement (DTAA) with Mauritius නීතිය ද සංශෝධනය කළේය.

මේ සියල්ල තුළ අද වන විට ඉන්දියාවේ උපයන විට බදු ගෙවීම් (ITR (Income Tax Return)) වසරක් තුළ නව බදු ගෙවන්නන් සම්බන්ධයෙන් පවා 16%කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබේ. මෝදි බලයට පත් වූ 2014-2018 සිව් වසර තුළ ඉන්දියාවේ බදු ගෙවන්නන්ගේ ප්‍රමාණය 2 ගුණයකින් වැඩි වී එම අගය කෝටි 4 සිට කෝටි 8 දක්වා බදු ගෙවන්නන් පිරිසක් බවට පත් කළ ආශ්චර්යය වූයේ මෝදිගේ නායකත්වයෙන් යුත් මේ ක්‍රියා පිළිවෙත් ය. ඒ අනුව‘බදු‘ ගැන ඉන්දියාව දැන් සිතන්නේ අලුත් විදිහකට ය. බදු ඉපැයීම් මෝදි රටේ සංවර්ධනය සඳහා වැය කරන බව ඔවුහු දනිති. ලංකාව එතැනදී ද අසමත් ය. අපට බදු ගැන අලුත් ඇහැකින් බලන්නට තවම හැකි වී නැත.

මෝදි අඩුපාඩු නැති මිනිසෙකු නොවේ. මහා පරිමාණ දූෂණයන් නොදුටු දෑසින් සිටින බවටත්, හින්දුත්වවාදය කරපින්නාගෙන අන්‍යාගම් මර්දනය කරන බවටත් ඔහුට එල්ලවන චෝදනාව සුළුපටු නොවේ. ඒ අතරවාරයේ, චීනයේ ව්‍යාප්තවාදයට ‘ඉන්දියානු ක්‍රමයට‘ පහර දෙමින් කලාපය තුළ, විශේෂයෙන් ලංකාව ද ඇතුළු දකුණු ආසියාව තුළ ඔහු ඉන්දියානු ව්‍යාප්තවාදය වෙනුවෙන් කැප වී සිටින බවට ද චෝදනා නැගේ. එසේම විසම්මුතිය, සමාජ මාධ්‍ය ඉන්දියාව තුළ මර්දනය කරන්නේ සැලසුම් සහගතව ය. මෝදි බලකාමියෙකු බවට තර්කයක් නැත. නමුත් වැදගත්ම කාරණය, අවම වශයෙන් ඒ බලකාමිත්වය සහ බලය, තමන්ගේ රටේ මිනිසුන්ගේ බඩගින්න නැතිකිරීම වෙත ඔහු විසින් විහිදුවා තිබීමයි.

‘‘මං අද උදේ පත්තරෙන් නෙවෙයි දැක්කෙ!“

නමුත් අඩුම වශයෙන් මෝදි, රටේ තොටේ සිදුවන දෑ ‘පත්තරෙන් ටීවී එකෙන් දකින තෙක්‘ සිටින කෙනෙක් නොවේ. ඔහු ‘ටෙක් සැවි‘ මිනිසෙකි. ඔහු අතේ නිතරම ස්මාට් ෆෝනය තිබේ. කළු සල්ලි පිටුදැකීමේ වැඩසටහනේදී ඔහු සාමාන්‍ය පුරවැසියන්ට පවා බැංකු කවුන්ටර අසල නිමක් නැති පෝලිම් තැනෙන විට ජංගම දුරකථනය හරහා ගනුදෙනු කළ හැකි ‘ඇප්‘ හඳුන්වා දුන්නේය. ගුජරාටයේ මහඇමතිව සිටි සමයේ නිතර නිතර, ලෝකයේ දියුණුම තාක්ෂණයක් සහිත රටක් සේ සැලකෙන ඊශ්‍රායලය වෙත ගොස්, එහි ඇති තාක්ෂණය ඉන්දියාවට ගෙන එන මං මෝදි විසින් සොයා බැලූ බවට වාර්තා තිබේ.

‘‘අපෝ, ඕවට නගින්න එපා, ඕවට නැංගොත් මිනිස්සු මැරෙනවා‘‘ යැයි ඊනියා දේශප්‍රේමීන් මොර ගා කියන විට ලංකාවේ ආර්ථික කටයුතු හා ප්‍රතිපත්ති අමාත්‍යාංශය බලයෙන් මෙන් ඉන්දවූ සුවසැරි පැළය කෙමෙන් ලංකා පොළොවේ දළු ලෑවේය. සුවසැරි ගිලන් රථ සේවය, අද වන විට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය වෙනස් කර හමාර ය. එය දියත් කර මාස කිහිපයක් ඇතුළත සුවසැරි රියක් තුළින් දරු උපතක් ද වාර්තා විය. සුවසැරිය ලංකාවට දුන්නේ මෝදි ගේ මූලිකත්වයෙනි. මේ ලංකාවේ හැටි ය. ඒ ඉන්දියාවේ හැටි ය.

මීට සමගාමීව ලංකාව සම්බන්ධයෙන් ගතහොත් ලංකාවේ නිදහස් දිනයේදී සුද්දාට නිසැක වශයෙන්ම දැනෙනු ඇත්තේ ‘හොඳ වෙලාවට අපි මුන්ගෙන් නිදහස් වුණා‘ වැනි හැඟීමකි. අපි අදත් නඩු කියන්නේ එදා සුද්දා දුන් යල් පැන ගිය දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහය කිහිල්ලේ ගසාගෙන ය. ඒවා අපට දුන් සුද්දා, ඒවා කාලයත් සමග ප්‍රතිසංස්කරණට සහ පරිණාමයට ලක් කරගත්තේ සමාජ දේශපාලන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් ය. ඉන්දියාව ද ඉතාම ප්‍රගතිගාමී ලෙස එ් මගම යයි. නමුත් අප වෙනස් වන්නට කැමති නැත. පරිණාමය නොවන සත්ව විශේෂයන් වඳවී යනසුලු බව අපට මතක නැත.

එදා ලංකාව සුද්දාගෙන් නිදහස් වුණේ 1948 පෙබරවාරි 4 වැනිදා ය. හරියටම කියනවා නම් ‘සුද්දා ලංකාවෙන් නිදහස් වුණේ‘ එදා ය. මේ අතර ඉන්දියාව සුද්දාගෙන් නිදහස් වුණේ 1947 අගෝස්තු 15 දා ය. ය. එනම් ලංකාවට මාස 6කට කලින් ය. අද ලාංකිකයෙකුට ඇමරිකානු ඩොලරයක් මිලදී ගැනීමට රුපියල් 160 ක් දීමට සිදුවන විට ඉන්දියානුවා රුපියල් 70 ක් දී ඩොලරයක් ගනියි. ඉතාම කෙටියෙන් කියනවා නම්, ‘‘වෙනස‘‘ ඒක ය!

මෝදි ගේ නිදහස් දින සම්පූර්ණ කතාව මෙතැනින්:

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි