×

රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවම්

2019 මැතිවරණ ප්‍රචාරක රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ගාන්ධි මහතා ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණය විසින් වරදකරු බවට පත් කර ඇත.


සාපරාධී අපහාස නඩුවක් සම්බන්ධයෙන් ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධිට වසර දෙකක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

2019 මැතිවරණ ප්‍රචාරක රැලියකදී අගමැති නරේන්ද්‍ර මෝදිගේ වාසගම පිළිබඳව කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් ගාන්ධි මහතා ගුජරාට් ප්‍රාන්තයේ අධිකරණය විසින් වරදකරු බවට පත් කර ඇත. මැතිවරණ රැළියේ දී රාහුල් ගාන්ධි විසින් ප්‍රකාශ කර තිබුණේ සියලු හොරුන්ට මෝධි යන වාසගම ඇති බවත් ඒ වෙනුවෙන් නිදසුන් ලෙස නිරාව් මෝඩි, ලලිත් මෝඩි, නරේන්ද්‍ර මෝඩි යනුවෙන් සඳහන් කර තිබිණි.

නිරාව් මෝඩි යනු පලාගිය දියමන්ති ව්‍යාපාරිකයෙකු වන අතර ලලිත් මෝඩි ඉන්දීය ප්‍රිමියර් ලීගයේ හිටපු ප්‍රධානියෙකු වන අතර ඔහුට රට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ජීවිතාන්තය දක්වා තහනමකට ලක් වූවෙකි.

කෙසේ නමුත් මැතිවරණ වේදිකාවේදී ගාන්ධි විසින් කරන ලද මෙම ප්‍රකාශය සමස්ත මෝදි ප්‍රජාවම අපකීර්තියට පත් කර ඇති බව පවසමින් ඉන්දියාවේ පාලක භාරතීය ජනතා පක්ෂයේ නීති සම්පාදකයෙකු වන පූර්ණේෂ් මෝඩි විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නඩුව පවරා දඬුවම් පමුණවා ඇත. දඬුවම නියම වූ පමණින් විපක්ෂ නායකවරයා සිරගත නොකරන අතර ඔහුට දින 30 ක ඇප ලබා දී ඇති අතර ඔහුගේ වරදට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය.

මෙම අධිකරණ චෝදනාව සම්බන්ධයෙන් කොංග්‍රස් පක්ෂය විසින් ටුවිටර්හි සඳහන් කර තිබුණේ ගාන්ධි මහතා අභියාචනයක් ඉදිරිපත් කරන බවත් අපි සටන් කර දිනන්නෙමු ! ලෙසත්ය. රාහුල් ගාන්ධි මේ වන තෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා නොමැති මුත්, මහත්මා ගාන්ධිගේ ප්‍රකාශයක් හින්දි බසින් උපුටා ටුවිටර්හි සඳහන් කර තිබිණි. එනම් මගේ ආගම සත්‍යය සහ අවිහිංසාව මත පදනම් වේ. සත්‍යය මගේ දෙවියන් ය, එය ලබා ගැනීමට අවිහිංසාව මාර්ගයයි, යනුවෙනි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි