×

කන්‍යා පටලය පරීක්ෂා කළේ හමුදාව – නතර කළේ තරුණ යුවතියක්

‘‘එහෙම නොකර බෑ. ඒක කරන්නම ඕනෙ ටෙස්ට් එකක්..‘‘ ලෝකයේ කොතැනත් පවතින පසුගාමී සමාජවල කාන්තාවගේ කන්‍යා පටලය ගැන තිබෙන ආකල්පය එබඳු ය.


පුරා වසර 50 ක් ඉන්දුනීසියාවේ සන්නද්ධ හමුදාවට බැඳෙන තරුණ කාන්තාවන්ගේ කන්‍යාභාවය පරීක්ෂා කිරීම සිදු කළ ඉන්දුනීසියානු හමුදාවේ ද ආකල්පය සහ චාරිත්‍රය එය විය. ඉන්දුනීසියාවේ සාමාජිකයන් 400,000 ක් සිටින ප්‍රබල හමුදාවේ 15%ක් කාන්තාවන් ය. යුධ පෙරමුණේ සටන් වදින්නේ කන්‍යා පටලයෙන් නොවුණත්, එය පරීක්ෂා කර බැලිය යුතුම විය.

ඉන්දුනීසියාවේ පමණක් නොව ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු ආසියානු රටවල් ගණනාවක තවමත්, සන්නද්ධ සේවයට බැඳෙන කාන්තාවන්ගේ කන්‍යා පටලය කැඩී ඇත්දැයි පරීක්ෂා කර බලයි. නිල වශයෙන් එම පරීක්ෂාව රාජකාරි පොත්වල නොතිබුණත්, එය නිල නොවන ලෙස සිදුකරන තවත් දකුණු ආසියානු රටවල් ගණනාවක් ද තිබේ.

නමුත් ඉන්දුනීසියාවේ හමුදා කාර්ය මණ්ඩල ප්‍රධානියා වන, කාය වර්ධන සිරුරක් ඇති ජනරාල් අන්ඩිකා පර්කාසා මේ සතියේ මෙසේ කියයි.

‘‘කන්‍යා පටලයෙන් කොටසක් හෝ පිපිරිලාද කියන එක අපේ පරීක්ෂාවේ අත්‍යාවශ්‍ය කොටසක් ව පැවතියා.. නමුත් තවදුරටත් එය එසේ නොවෙයි..‘‘

ස්ත්‍රියකගේ ජීවිතයේ වටිනාකම මනින ප්‍රධානතම සාධකය බවට කන්‍යා පටලය පත්ව ඇති පසුගාමී සමාජයක ඉන්දුනීසියානු හමුදාවේ මේ වෙනසට හේතුව කුමක්ද?

වයස අවුරුදු 19 ක කෙල්ලකි.

ඇගේ නම ෆායේ සිමන්ජුන්තාක් ය. කීර්තිමත් ජකර්තා අන්තර් සංස්කෘතික පාසලෙන් පසුව ඇය දැන් වොෂින්ටන් ඩී.සී. හි ජෝර්ජ්ටවුන් සරසවියේ විදේශ සේවය පිළිබඳ උපාධිය හදාරයි.

වයස අවුරුදු 13 සිට සමාජ ප්‍රශ්නවලට එරෙහිව ඇය හඬ නගන්නේ ෆලෝවර්ස්ලා 16,000 ක් සිටින සිය ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුම ද උපයෝගී කර ගනිමිනි.

ෆායේ ඉන්දුනීසියාවේ හිටපු අමාත්‍යවරයෙකුගේ දියණියකි. තවද ඇය ප්‍රබල මිලිටරි පවුල් පසුබිමක් සහිත අයෙක් වන්නේ 1999 වසරේ සුහර්තෝගේ ඇද වැටීමෙන් පසුව කරළියට පැමිණි, තරු හතරේ විශේෂ කාර්ය බලකායේ නිර්මාතෘවරයා වන ලුහුත් පන්ජායිතාන්ගේ මිණිපිරියක වන නිසා ය. නමුත් ඇය අවසානයේ සිය වරප්‍රසාදී පවුල් පසුබිම යොදාගන්නේ ඌන වරප්‍රසාදිත සමාජයේ දියුණුව වෙනුවෙනි.

කලක පටන් ඉන්දුනීසියාවේ හඬ නැගූ ගැටළුවක්

කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉන්දුනීසියාවට ද අලුත් මාතෘකාවක් නොවේ. ඒ පිළිබඳ ජාතික කොමිසමක් ද එරට තිබෙන අතර, එමගින් මෙම සන්නද්ධ හමුදාවට බැඳෙන ස්ත්‍රීන්ගේ කන්‍යා පටල පරීක්ෂාව අවසන් කළ යුතු බවටත්, එය යල් පැන ගිය එකක් බවටත් හඬගාමින් සිටියේ බොහෝ කලක පටන් ය. හමුදා සාමාජිකයන් සමග විවාපත් වන ඉන්දුනීසියානු තරුණියන් ද නිල වශයෙන්ම කන්‍යාභාවය පරීක්ෂා කිරීමට ලක් කරන බව රහසක් නොවීය. හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ඉන්දුනීසියානු ශාඛාව, හමුදා වෛද්‍යවරුන්, හමුදා බිරින්දෑවරුන් සහ ඔවුන්ගේ දරුවන් ද මෙම අයිතිවාසිකම් ව්‍යාපාරය සඳහා එක් වූහ. එහි ප්‍රතිඵලයක් ලෙසට ඉන්දුනීසියාවේ සන්නද්ධ හමුදාවේම කොටසක් ව පැවති ඉන්දුනීසියානු පොලිසිය, පොලිස් සේවයට බැඳෙන කාන්තාවන්ගේ යෝනි මාර්ගයට ඇඟිලිවලින් පරීක්ෂා කිරීමේ තුච්ඡ ක්‍රමවේදය නතර කළේය.

‘two-finger’පරීක්ෂාව

2014 නොවැම්බරයේදී ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ කීය. ‘‘කන්‍යාභාවය පරීක්ෂා කිරීම (‘two-finger’testing) සඳහා කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ.‘‘

මෙයට ‘two-finger’පරීක්ෂාව කියා කියන්නේ මෙහිදී කාන්තාවගේ යෝනි මාර්ගයට ඇඟිලි දෙකක් ප්‍රවේශ කර, කන්‍යාපටලය විවෘත වී තිබේදැයි පරීක්ෂාකර බලන හෙයිනි. එමගින් කාන්තාවක් ඊට පෙර ලිංගිකව හැසිරී තිබේදැයි සොයා බලන බව කියයි. එය පුරුෂාධිපත්‍යයේ උච්ඡතම සහ තුච්ඡතම අවස්ථාවක් වන අතර, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයක් (a form of gender-based violence) ලෙස හඳුන්වයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙහි කිසිදු විද්‍යාත්මක පදනමක් නැති බව ප්‍රකාශ කළ 2014 වර්ෂය ඉන්දුනීසියාවට විශේෂ ය. ඉන්දුනීසියානු ආරක්ෂක හමුදාව විසින් සිදුකරනු ලබන ‘කන්‍යාභාවය පරීක්ෂාව‘ පිළිබඳ මුලින්ම හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් හෙළිදරව් කරන්නේ ද මෙම වර්ෂයේදී ම ය. එවිට ඉන්දුනීසියාවේ ප්‍රසව හා නාරි වෛද්‍ය විශේෂඥයන් සහ ඉන්දුනීසියානු වෛද්‍ය සංගමය ගල් ගිල්ලා සේ නිහඬව සිටියේය. අයිතිවාසිකම් ගැන කතා කරන බොහෝ දෙනා, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අගතීන් ගැන මාතෘකාවේදී මෙසේ ගල් ගිල්ලා සේ නිහඬ වෙති. එය තමන්ට අදාළ නැති සේ හිඳිති.

ඉන්දුනීසියානු හමුදා ප්‍රධානියා, මේ වන විට මෙම නව තීරණය සම්බන්ධයෙන් අදාළ නීති රෙගුලාසි ගැන සියලු අංශ වෙත විධිමත් ලෙස දැනුම් දීමට ද සූදානම් වෙයි. මෙම පියවර සම්බන්ධයෙන් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිය ප්‍රශංසාව ඔහු වෙත ප්‍රකාශ කරයි.

ලංකාව ගැනත් වාර්තාවක්

හියුමන් රයිට්ස් වොච් සංවිධානය 2020 ඔක්තෝබර් 20 වැනිදා ලංකාවේ නිලධාරීන් විසින් සිදුකරන මෙවැනිම තුච්ඡ ක්‍රියාවක් පිළිබඳ Sri Lanka: Forced Anal Exams in Homosexuality Prosecutions හෙළිදරව් කළේය. එයින් කියැවුණේ 2017 වසරේ සිට ඒ දක්වා අවම වශයෙන් සනාථ කර ගත් සිද්ධි 7 කදී ලංකාවේ වෛද්‍ය වෘත්තිකයන් විසින් බලහත්කාරී කායික පරීක්ෂාවන්ට (forced physical examinations) ලක් කර ඇති බව ය. එසේ පරීක්ෂා කර තිබුණේ ඔවුන්ගේ සමරිසි හැසිරීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීම සඳහා ය. ඉන්දුනීසියානු වෛද්‍ය වෘත්තිකයන් මෙන් ලංකාවේ වෛද්‍ය ප්‍රජාව ඇතුළු අදාළ බලධාරීන් ද මෙවැනි සිද්ධි ගැන කසාය බිව් ගොළුවන් සේ අදටත් හිඳිති. ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන අරගල, බොහෝ අයට අජීර්ණ සහගත ය.

දැන්, නැවතත් කන්‍යා භාවය පරීක්ෂාව වෙත හැරෙමු. ලංකාවේ තවමත් මනාලිය, නිදි වැරීම නිසා හෝ පෝරුව මත කලාන්තය දැමුවහොත් එය ඇය කන්‍යාවක නොවන බවට පෙර නිමිත්තකි. මංගල යහනට සුදු රෙද්ද දමන්නේත්, ඒ සුදු රෙද්දේ රතු පාට පැල්ලමක් තිබේදැයි බලන්නට රෙදි නැන්දාව පෙරටු කරගෙන එන්නේත් ලංකාවේ ගෝත්‍රික ගැහැණු සහ පිරිමි ය. ඇතැමුන්ට උපතින්ම කන්‍යා පටලයක් නැති බව නොදනිමින්, එය බිඳී යා හැකි එකම ක්‍රමය ලිංගික සංසර්ගය පමණක් නොවන බව නොදනිමින් සහ, පවුල් ජීවිත ගත කරන්නේ කන්‍යා පටලයෙන් නොවන බව නොදනිමින් සදාචාරය හෝ සංස්කෘතිය ගැන දේශන දෙන්නෝ මේ රටේ අපමණ ය.

එසේ විමසා බලන විට හමුදාවේ හෝ සිවිල් සමාජයේ වේවා, ලංකාවේ හෝ ඉන්දුනීසියාවේ වේවා, බහුතරය තවමත් සිටින්නේ වනගතව ගෝත්‍රික ජීවිත ගත කරමිනි.

සුප්‍රකට TEDx හි Faye විසින් ලිංගික අපයෝජනය පිළිබඳ පැවැත්වූ දේශනය



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි