×

ඉරානය රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ දෙවැනි මරණ දඬුවම ක්‍රියාත්මක කරයි

මේ වන විට අවම වශයෙන් විරෝධතාකරුවන් 488ක් ආරක්ෂක අංශ විසින් මරා දමා ඇති අතර තවත් 18,259ක් රඳවාගෙන ඇති බවයි.


රට පුරා පැතිර යන රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධව අත්අඩංගුවේ පසුවූ Majidreza Rahnavard ඊයේ(12)දින අලුයම Mashhad නගරයේදී “ප්‍රසිද්ධියේ” එල්ලා මරා දමන ලද බව ඉරානයේ අධිකරණය විසින් නිවේදනය කර තිබේ.

ජාත්‍යන්තරයේ දැඩි විරෝධය මධ්‍යයේ පළමු මරණ දණ්ඩනය පසුගිය බ්‍රහස්පතින්දා ක්‍රියාත්මක වූ අතර දෙවියන් වහන්සේට සතුරුකම් කිරීමේ චෝදනාව මත 23 හැවිරිදි Mohsen Shekari මෙලෙස එල්ලා මරණ ලදි.


Majidreza Rahnavard විසින් පැරාමිලිටරි බසිජ් ප්‍රතිරෝධී බලකායේ සාමාජිකයින් දෙදෙනෙකුට පිහියෙන් ඇන මරා දැමූ බව සොයා ගැනීමෙන් අනතුරුව උසාවිය විසින් දෙවියන් වහන්සේට එරෙහි සතුරුකමක් කළේය යන චොදනාව මත වරදකරු බවට පත් කරන ලදි. මේ සම්බන්ධයෙන් මානව හිමිකම් සංවිධාන ප්‍රකාශ කර තිබුණේ දැඩි වදහිංසා පමුණුවමින් ඉරාණ ආරක්ෂක අංශ ඔවුනට අවශ්‍ය පාපොච්චාරණයන් ලබා ගන්නා බවයි.

මේ සම්බන්ධයෙන් නෝර්වේ පදනම් කරගත් ඉරාන මානව හිමිකම් සංවිධානය ප්‍රකාශ කර තිබුණේ නිසි ක්‍රියා පටිපාටියකින් තොරව ව්‍යාජ නඩු විභාගවලින් පසු විරෝධතාකරුවන්ට මරණ දණ්ඩනය නියම කරන බවයි. එම මානව හිමිකම් සංවිධානයේ අධ්‍යක්ෂක මහමුද් Amiry-Moghaddam ටුවිට්හි සඳහන් කර තිබුණේ රඳවාගෙන සිටින විරෝධතාකරුවන් දහස් ගණනක් වෙනුවෙන් මරණ දණ්ඩනය දැනටමත් නිකුත් කර ඇති අතර විරෝධතාකරුවන් සමූහ වශයෙන් ඝාතනය කිරීමේ බරපතල අවදානමක් ඇති බවයි.

සැප්තැම්බර් 13 වන දින සදාචාරාත්මක පොලිසිය විසින් රඳවා ගනු ලැබූ 22 හැවිරිදි මහ්සා අමිනී පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය යාමත් සමඟ ඉරානය පුරා ඇවිලීගිය විරෝධතාවයන් පළාත් 31 ම නගර 161 පුරා ව්‍යාප්ත විය. මෙය 1979 විප්ලවයෙන් පසු ඉස්ලාමීය ජනරජයට එල්ල වූ බරපතලම අභියෝගයක් ලෙස සැලකෙන අතර ඉරානයේ නායකයින් මෙම විරෝධතා නිරූපණය කර ඇත්තේ රටේ විදේශීය සතුරන් විසින් උසිගන්වන ලද රාජ්‍ය විරෝධී කැරළි වශයෙනි. එනමුත් විරෝධතාකරුවන්ගෙන් අතිමහත් බහුතරයක් නිරායුධ හා සාමකාමීව සිටිති.


බීබීසී පර්සියානු මාධ්‍යවේදියෙකු වන Kasra Naji පවසන්නේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම හේතුවෙන් රට පුරා පැතිරී ඇති විරෝධතා අවසන් කිරීමට හෝ ගින්නට ඉන්ධන වත් කිරීමට උපකාරී වේද යන්න පැහැදිලි නැති බවයි. මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA)වාර්තා කර ඇත්තේ මේ වන විට අවම වශයෙන් විරෝධතාකරුවන් 488ක් ආරක්ෂක අංශ විසින් මරා දමා ඇති අතර තවත් 18,259ක් රඳවාගෙන ඇති බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි