×

ඉරානයේ භූගත යුරේනියම් සංචිතය නිසා බටහිර ගිනිගනී – කලබල වෙන්න එපා, චීනය කියයි

මෙය එක්සත් ජනපදයට සිදුකළ අනතුරු ඇඟවීමක් බවට ජාත්‍යන්තර දේශපාලන විද්වත්හු මත දරති.


ඉකුත් සඳු (04) දින ඉරානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ 20% සංශුද්ධතාවයකින් යුතු යුරේනියම් නිස්සාරණය සඳහා රසායනික පරීක්ෂණ දියත් කිරීම ආරම්භ කර ඇති බවයි.

මෙම පුවත සමඟ ලොව බටහිර කලාපය කැළඹී ඇති බවක් දක්නට ලැබේ.

ඊට ප්‍රධාන හේතුව වන්නේ ඉරානයේ මෙම ක්‍රියාකලාපය 2015 දී බටහිර රටවල් සමඟ එළඹි න්‍යෂ්ඨික ගිවිසුම අමුඅමුවේ උල්ලංඝනය කිරීමට තුඩු දීමයි.

සීඑන්එන් පුවත් සේවය වාර්තා කරන අන්දමට එම 20% යුරේනියම් නිස්සාරණය සිදුවන්නේ ඉරානයේ භූගත පර්යේෂණාගාරයක් තුළයි.

මෙම පුවත ඉරානය හා ඇමරිකා එක්සත් ජනපදය අතර පැවති උණුසුම් වාතාවරණය තවත් ව්‍යාකූල කිරීමට තුඩු දෙනු ඇති.

මීට අමතරව ඉරානය විසින් දකුණු කොරියානු ධජය සහිත රසායනික ද්‍රව්‍ය අඩංගු ටැන්කර් රථයක් අල්ලා ගැනීමට සමත්ව තිබේ. ඉරාන මාධ්‍ය වාර්තා කරන්නේ පර්සියානු ගල්ෆ් කලාපයේ පාරිසරික හා රසායනික දූෂණය වැළැක්වීමට මෙසේ අදාළ ටැන්කර් රථය අල්ලා ගත් බවයි.

කෙසේවෙතත්, ජාත්‍යන්තර දේශපාලන විද්වතුන් පෙන්වා දෙන්නේ ඉරාන හමුදා නායක කසිම් සොලෙයිමානිගේ ඝාතනය සිදුවී හරියටම වසරක් සපිරෙන මේ මොහොතේ ඉහත පුවත් දෙක වාර්තා වීම අහඹු සිදුවීමක් විය නොහැකි බවයි.

එය එක්සත් ජනපදයට සිදුකළ අනතුරු ඇඟවීමක් බවට ඔවුහු මත දරති.

මේ අතර, ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානු හමුදා ගුවන් යානා ගොඩබාන යාත්‍රාවක් මැදපෙරදිග කලාපයේ තබා ගැනීමට පෙන්ටගනයට උපදෙස් දී ඇති බවට සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි.

ට්‍රම්ප් මීට ඉහත දී සියළු හමුදා භට කාණ්ඩ කලාපයෙන් ඉවත් කර ගැනීමට උපදෙස් දී තිබුණ මුත්, ඉහත තීරණයෙන් පෙනී යන්නේ ඇමරිකාව කැළඹීමට පත් ව ඇති බවයි

මේ අතර, චීන විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ ඉරානය විසින් සිදුකළ ප්‍රකාශයට කිසිවකුත් කලබල විය යුතු නැති බවයි.

චීන විදේශ අමාත්‍යංශයේ මාධ්‍යප්‍රකාශක හුවා චුන්යින්ග් ප්‍රකාශ කර සිටියේ ඉරානයේ ක්‍රියාකලාපය අරඹයා කිසිදු පාර්ශවයක් ඉක්මන් වී තීරණයක් ගැනීමට කටයුතු නොකළ යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි