×

IS නායක අබු බකර් අල් – බග්දාදි සොයා ලිබියාවේ මෙහෙයුම්

අබු බකර් අල් බග්දාදි මේ මෙහොතේ ලෝකයට වඩාත්ම අවශ්‍ය කර ඇති ත්‍රස්තවාදියා ය. ඉස්ලාමීය රාජ්‍යය හෙවත් IS හි නායකයා ඔහු ය.


අයිඑස් නායක අබු බකර් අල් බග්දාදි පසුගිය පෙබරවාරි මාසයේ පටන් ලිබියාවේ සැඟව සිටින බව බ්‍රිතාන්‍ය හමුදාව විසින් නිවේදනය කිරීමෙන් පසුව ඔහු සොයා විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක ය.

මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ බ්‍රිතාන්‍ය, ඇමරිකානු සහ ඉතාලි ගුවන් හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස ය.

බ්‍රිතාන්‍යෙය් පළ වන Sunday Express පුවත්පත බ්‍රිතාන්‍ය හමුදාවේ ප්‍රකාශයක් උපුටා දක්වමින් මෙසේ පවසයි. ‘‘ඔහු ලිබියාව තුළ අප්‍රසිද්ධියේ වාසය කරන බවත්, නිදහසේ යාම් ඊම් නොකර සැඟවී සිටින බවත් අපි විශ්වාස කරමු. නමුත් ඔහු සහ ඔහුගේ කණ්ඩායම සිටින ස්ථානය සොයාගැනීම සඳහා අප සතුව ක්‍රම ගණනාවක් තිබේ. ඔවුන් මෙවර වැඩ වරද්දා ගනු ඇත!“

අබු බකර් අල් -බග්දාදිගේ මෙවැනි වීඩියෝවක් නිකුත් වී තිබෙන්නේ වසර 5කට පසු ප්‍රථම වතාවට ය. ‘‘අපේ සතුරන්ගෙන් දිගින් දිගටම ලේ වගුරුවන්නෙමු‘ යනුවෙන් එහිදී ඔහු පවසයි.

The Sunday Express, Sunday, 12 May 2019
The Sunday Express, Sunday, 12 May 2019

බග්දාදි ලිබියාවේ සිටින බව සොයාගෙන තිබෙන්නේ සමාජ මාධ්‍ය වීඩියෝවකින්

බග්දාදිගේ ලිබියානු සම්බන්ධය ගැන සුලමුල සොයාගෙන තිබෙන්නේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ ඔහුගේ අලුත්ම වීඩියෝවෙනි. එහිදී ලිබියානු වෙළඳපොළෙන් පමණක් සොයාගත හැකි අයිතම කිහිපයක් එම වීඩියෝවේ දැකිය හැක. එපමණක් නොව ඒවා නිෂ්පාදනය කර ඇති ස්ථාන පවා හඳුනාගෙන ඇති බව පැවසේ. උදාහරණයක් වශයෙන් බග්දාදි වාඩි වී සිටින මෙට්ටය සහ කුෂන් බානි වාලිද් හි ලිබියානු රජයට අයත් කර්මාන්ත ශාලාවක නිෂ්පාදනය කර ඇති බව සොයා ගැනිණි.

Mattress and cushions look similar to products found in Libya
Mattress and cushions look similar to products found in Libya

තවද, මෙම වීඩියෝවේදී බග්දාදි විසින් හැඳ සිටින ජැකට්ටුව, ලිබියාවේ බටහිර වරාය නගරයක් වන මිස්රාතා හි හමුදා කොමොන්ඩෝවරයෙකු වන සාලා බාදි විසින් හැඳසිටින ආකාරයේම එකක් බවට ද හඳුනාගෙන තිබේ.

Baghdadi is said to be sharing the sense of style of local militiamen
Baghdadi is said to be sharing the sense of style of some local militiamen

බග්දාදිගේ හිසට ඩොලර් මිලියන 25 ක්

බග්දාදිගේ හිසට ඩොලර් මිලියන 25 ක ත්‍යාගයක් දෙන බව දැන් වසර ගණනක සිට වරින් වර නිවේදනය කරන්නේ ඇමරිකාවයි. ඔහු ලෝකයේ වඩාත්ම අවශ්‍ය කර ඇති (world’s most wanted terrorist) ත්‍රස්තවාදියා ලෙස අවිවාදයෙන් සැලකේ.

ලිබියාවට ගිය සෙසු අයි එස් නායකයෝ

ඉහත කී කාරණා සත්‍ය නම්, එනම්, ඔහු මේ වන විට සැබවින්ම සිටින්නේ ලිබියාවේ නම්, සිරියාවේ සිට උතුරු අප්‍රිකානු රටක් වන ලිබියාව බලා ගමන් කර ඇති පළමු අයි එස් නායකයා ඔහු නොවේ. මීට පෙර අයි එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යෙය් ප්‍රධාන චරිත කිහිපයක්ම ලිබියාවේ සැරිසරා තිබේ.

2014 වසරේ අයි එස් හි ජ්‍යේෂ්ඨ පූජකයෙකු වන තුර්කි අල්-බිනාලි හිටිහැටියේම අබිරහස් ලෙස ලිබියාව බලා ගොස් ඇති බව අනාවරණය විය. එහිදී ලිබියාවේ සර්ත් හි සති කිහිපයක් ඔහු ගත කර තිබෙන්නේ මුස්ලිම් පල්ලිවල දේශනා සහ ආගම ප්‍රචාරය කිරීමේ කටයුතු වල නියැළෙමිනි. ඉන්පසු ඔහු නැවත සිරියාව බලා ගිය අතර, පසුව 2017 වසරේදී මයාදීන්වලට එල්ල වූ ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වූ බව වාර්තා විය.

මෙයට අමතරව ඉස්ලාමීය රාජ්‍යයේ ලිබියානු ශාඛාවේ නායකයා ලෙස සැලකුණු අබු නබිල් අල්-අන්බාරි ද ඉරාකයේ සිට ලිබියාවට යාමට සමත් වී තිබේ. 2015 වසරේදී ඔහු ඇමරිකානු ගුවන්ම ප්‍රහාරයකින් මරුමුවට පත්වන්නේ ද ලිබියාවේ දර්නාහ් නගරයේදී ය.

බග්දාදි සිටින්නේ ලිබියාවේ කොහේද?

ට්‍රිපොලි නගරයට පසුගිය සමයේ එල්ල වූ ප්‍රහාරවලට සම්බන්ධ බව කියන ලිබියාවේ සාව්යා නගරය තුළ අල් බග්දාදි බොහෝ විට සැඟව සිටින බවට විශ්වාස කෙරේ. මේ අතර චැඩ්, නයිජර් සහ ලිබියාවේ ජීවත් වන ජන කොටසක් වන ‘තෙබු ජනතාව‘ ජීවත් වන ගිනිකොණ දිග ලිබියානු දේශසීමාවේ ද බග්දාදි සිටීමට වැඩි ඉඩක් තිබේ. මෙම තෙබු බලය අධික දේශසීමා නගර අතරට බානි වාලිද්, කොම්ස්, තාජූරා සහ එම්සාලතා අයත් වේ.

IS ද? ISIS ද?

IS යනු Islamic State හෙවත් ‘ඉස්ලාමීය රාජ්‍යය‘ යි. ISIS යනු Islamic State of Iraq and Syria හෙවත් ඉරාකය සහ සිරියාව සඳහා වූ ඉස්ලාමීය රාජ්‍යය යන්නයි. මෙය Islamic State of Iraq and the Levant යනුවෙන් ද විටෙක හැඳින්වේ. මේ අනුව අයිඑස් සංවිධානය ඉරාකය සහ සිරියාව කේන්ද්‍ර කර ගෙන ක්‍රියාත්මක වන බැවින්, අයිසිස් සහ අයිඑස් යනු එකම ත්‍රස්ත සංවිධාන ජාලයක් ලෙසට ද සැලකිය හැකිය.

සුන්නි ඉස්ලාමයේ සලාෆි Salafi  සිද්ධාන්තය මත පදනම් ව සලාෆි ජිහාද් මිලිටරි කණ්ඩායමක් ලෙස 1999 වසරේ පටන් කටයුතු කළ ඔවුන් ලෝක අවධානය දිනාගන්නේ 2014 වසරේ පටන් ය. එකල ලොව සංසරණය වු සතුරන්ගේ ගෙළ සිඳ දමන වීඩියෝ නිකුත් කළේ ඔවුන් විසිනි. පසුව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝකයේ රටවල් ගණනාවක් විසින් අයිසිස්/අයිඑස් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළේය.උතුරු දිග ඉරාකයේ සිදුකළ වාර්ගික ශෝධන සංහාර ඇතුළු යුධ අපරාධ රැසකට ද බරපතළ මිනිස් ඝාතන රැල්ලකට ද අයිසිස් සංවිධානය මේ වන විට චෝදනා ලබා සිටියි. නොබෝදා ශ්‍රී ලංකාවේ ඇති වූ පාස්කු ඉරිදා ප්‍රහාරය, ඔවුන්ගේ අලුත්ම ප්‍රහාරය ලෙසට සැලකේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි