×

කොවිඩ් සටනේ මෝහනීය චීන වසඟයෙන් පලක් වේද?

හැඳින්වීම - නවතම සංඛ්‍යා ලේඛන අනුව මාර්තු මාසයෙන් ආරම්භ වූ කාර්තුව වන විට චීන ආර්ථිකය 6.8%කින් හැකිළී තිබේ. එය 1960 දශකයේ මැද භාගයෙන් පසු චීන ආර්ථිකය මුහුණ දුන් ප්‍රබලතම කඩා වැටීමයි.


චීනයේ ආර්ථික වර්ධනයෙන් 8%කට වගකියන්නේ පරිභෝජන වියදම් ය. චීනයට කර්මාන්තශාලා යළි විවෘත කරන ලෙස අධිකාරීමය ලෙස නියෝග කළ හැකිය. නමුත් ලෝකයට සිය භාණ්ඩ හා සේවා මිලදී ගන්නට යැයි ඔවුන්ට මේ කොවිඩ් වසංගත තත්වය තුළ බල කළ හැකිද?

පහත දැක්වෙන්නේ මේ සතියේ ‘ද ඉකොනොමිස්ට්‘ සඟරාවේ කතුවැකිය වන ”Is China Winning?” – චීනය දිනන්නේද යන්නෙහි සිංහල පරිවර්තනයයි. සිංහල පාඨකයන්ගේ පහසුව සඳහා අප විසින් අනු මාතෘකා පමණක් යොදා ඇත.

* * * *

චීනයේ චර්නෝබිල්

මේ වර්ෂය චීනයට ආරම්භ වූයේ බියකරු ලෙස ය. වුහාන් පළාත තුළ ශ්වසන වෛරසයක් පැතිරෙන විට කොමියුනිස්ට් පක්ෂයේ හැඟීම වූයේ එය වසන් කිරීමයි. මෙය චීනයේ ‘චර්නෝබිල්‘ බවට පත් වේයැයි සමහරු අනාවැකි කීහ. එය, සෝවියට් සංගමයේ බිඳ වැටීම කඩිනම් කළ න්‍යෂ්ටික අනතුරක් පිළිබඳ ක්‍රෙම්ලිනය විසින් බොරු කීමට අදාළ සඳහනකි. නමුත් ඔවුන් වැරදි ය. රෝගය මුලින්ම හිස ඔසවන විට චීනයේ පාලක පක්ෂය යුහුසුළු ලෙස සහ බරපතළ ලෙස නිරෝධායනයක් පැනවූහ. එම ලොක්ඩවුන් කිරීම සාර්ථක බව පෙනේ. අලුත වාර්තා වන කොවිඩ්-19 සිදුවීම් ප්‍රමාණය ඉතා සුළු ය. චීනයේ කර්මාන්තශාලා නැවත විවෘත කෙරෙමින් පවතියි. පර්යේෂකයෝ වැක්සින, සායනික පරීක්ෂා බවට පත්කිරීමේ තරගයක යෙදී සිටිති. මේ අතර, චීනයේ නිල මරණ සංඛ්‍යාව බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ඉතාලිය සහ ඇමරිකාව විසින් බෙහෙවින් ඉක්මවා තිබේ.

චීනය මෙය විජයග්‍රහණයක් ලෙස සලකා හඬ නගති. දැවැන්ත ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණයක් මගින් කියන්නේ චීනය මේ වසංගතය පාලනය කිරීමට සමත්වුණේ ශක්තිමත් තනි පක්ෂ පාලනයට ස්තූතිවන්ත වන්නට බව ය. දැන් චීනය සිය ත්‍යාගශීලී බව යැයි කියමින් ලෝකයට මෙඩිකල් කිට් සපයමින් සිටියි. මාර්තු 1 දා සහ අප්‍රේල් 4 දා අතර කාලය තුළ සැපයූ මුහුණු ආවරණ බිලියන 4 ද මෙයට ඇතුළත් ය. චීනය සිය මිලදී ගත් කාලය (bought time) සෙසු ලෝකයට මේ වසංගතය සඳහා සූදානම් වීමට වැය කරයි. සමහර බටහිර ප්‍රජාතන්ත්‍රවාදයන් විසින් එය නාස්ති කරන්නේ නම් එයින් පෙන්වන්නේ ඔවුන්ගේ ආණ්ඩුක්‍රමය චීනයේ ආණ්ඩුක්‍රමයට වඩා කොතරම් සවුත්තු ද යන්නයි.

විදේශ ප්‍රතිපත්තිවල නොඉවසිලිමත් විමසුම්කරුවන් ද ඇතුළුව බටහිර ඇතැමුන් විසින්, කොවිඩ් විනාශයෙන් චීනය ජයග්‍රාහකයා වනු ඇතැයි දැනටමත් නිගමනය කර තිබේ. මෙම ගෝලීය වසංගතය මානව ඛේදවාචකයක් ලෙස ඉතිරිව පවතිනවා පමණක් නොව මෙය, ඇමරිකාවෙන් ඔබ්බෙහි වන භූ දේශපාලනික හැරවුම් ලක්ෂයක් බවට ද ඔවුහු අනතුරු අඟවති.

මෙම මතය නිසග ලෙසම එහි මූලයට ගමන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට වෛරසය සඳහා ගෝලීය ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් කිසිදු උනන්දුවක් නැති බව පෙනේ. හිටපු ඇමරිකානු ජනාධිපතිවරු එච්අයිවී/ඒඩ්ස් සහ එබෝලා වසංගත වලට එරෙහිව ප්‍රවර්ධන යාන්ත්‍රණවලට මූලිකත්වය ලබාදුන්හ. ට්‍රම්ප් ඒ වෙනුවට, චීන හිතවාදී පක්ෂග්‍රාහිත්වය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට මුදල් ලබා නොදීමට දිවුරා තිබේ. ධවල මන්දිරයේ සිටින තැනැත්තා ‘පරම බලය‘ ඇති බව කියාපාන නමුත්, ‘මම කිසිම වගකීමක් ගන්නේ නෑ‘ යැයි ද කියයි. ඒ අනුව චීනයට සිය වසඟය වැඩි දියුණු කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබී ඇත.

චීනයේ කොවිඩ් සටනේ වාර්තාව, කියන තරම්ම චමත්කාරී ද?

එසේ වුවත් එය සාර්ථක නොවීමට ද ඉඩ තිබේ. එයට එක් හේතුවක් වන්නේ කොවිඩ්-19 සමග චීනය සටන් වැදුණු ආකාරය පිළිබඳ වාර්තාව, ඔවුන් කියන තරම්ම චමත්කාරීදැයි දැනගැනීමට මගක් නැති වීමයි. එනම් දකුණු කොරියාව හෝ තායිවානයේ මෙන් තරගකාරී ප්‍රජාතන්ත්‍රවාදයන් සහිත රටවල තරම්ම හොඳදැයි දැනගැනීමට මගක් නැති වීමයි. චීනයේ රහසිගත නිලධාරීන්, කොරෝනා වෛරස් ආසාදන සහ මරණ පිළිබඳ පවසන සංඛ්‍යාවන් පිළිබඳ අවංකදැයි දැනගැනීමට පිටස්තරයන්ට මගක් නැත. අධිකාරිමය රෙජීමයකට කර්මාන්තශාලාවල වැඩ පටන්ගන්නැයි පැවසිය හැකිය. නමුත් පාරිභෝගිකයන්ට භාණ්ඩ මිලදී ගන්නා ලෙස බල කිරීමට එයට නොහැකි ය. ගෝලීය වසංගතය වියරුවෙන් ඔඩු දුවන තාක් කල්, රෝගය මැඬලීමේ නම්බුව චීනයට දෙනු ඇත්ද, නැතිනම් වුහාන් හි මේ රෝගය පිළිබඳ මුලින්ම අනතුරු ඇඟවූ වෛද්‍යවරුන් මර්දනය කිරීම ගැන දෝෂාරෝපණය කරනු ඇත්දැයි දැනගැනීමට වේලාසන වැඩි ය.

චීන හොරණෑව

තවත් බාධකයක් වනු ඇත්තේ චීනයේ ප්‍රොපගැන්ඩාව මෝඩ සහ අප්‍රසන්න එකක් වීමයි. චීන හොරණෑව විසින් හුදෙක් තමන්ගේම නායකයන් පැසසීමට අමතරව, ඇමරිකාවේ අකර්මණ්‍යතාවය හෝ මෙම වෛරසය ඇමරිකානු ජෛව ආයුධයක් ය යන කුමන්ත්‍රණකාරී මතයන් ප්‍රවර්ධනය කිරීම ද සිදු කරයි. දින කිහිපයක් මුළුල්ලේ ගුවන්ෂු පළාතේ සිටි අප්‍රිකානුවන් මහා පරිමාණයෙන් ඔවුන්ගේ නිවාසවලින් පන්නා දැමුණු අතර, හෝටල්වලට වද්දා ගැනීම ද තහනම් කර, ඉන්පසු වීදියේ නිදාගෙන සිටින විටදී ද ඔවුන්ට හිරිහැර කරන ලදී. පෙනෙන්නට තිබුණේ, ඔවුන් ආසාදිතයන් විය හැකි යැයි ප්‍රාදේශීය බලධාරීන් සැකකරන බවයි. ඔවුන් ලක් වූ ඉරණම අප්‍රිකාව පුරාම කෝපාවිෂ්ට ශීර්ෂපාඨ සහ රාජ්‍ය තාන්ත්‍රික තරවටු කිරීම් ද ජනනය කර තිබිණි.

මේ අතර පොහොසත් රටවල් චීනයේ චේතනාව පිළිබඳ සැක පළ කරති. යුරෝපා සංගමයේ විධායක උප සභාපතිනිය වන මාගරත් වෙස්තගර් ආණ්ඩුවලින් අයැද සිටින්නේ චීනය අඩු මිලට භාණ්ඩ සපයා වෙළඳපොළ තුළ අවුලක් ඇති කර අයුතු ලාභ ලැබීම නතර කිරීම පිණිස උපායමාර්ගික සමාගම්වල කොටස් මිලට ගන්නා ලෙස ය. වඩාත් පුළුල් අර්ථයෙන් ගත් විට මෙම ගෝලීය වසංගතය විසින්, තීරණාත්මක භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන් චීනය මත රඳා පැවතිය නොයුතු බවට වන තර්කය පෝෂණය කර තිබේ. වෙන්ටිලේටර්වල පටන් 5G නෙට්වර්ක් දක්වාම මෙය අදාළ ය. කෙටිකාලීන ලෙස ගෝලීය වෙළඳාම 13-22% අතර ප්‍රමාණයකින් හැකිළේ යැයි ලෝක වෙළඳ සංවිධානය අපේක්ෂා කරයි. මෙය, කොවිඩ්-19 වසංගතයට පෙර පටන්ම පැවති තත්වය වූ ගෝලීයකරණයේ දීර්ඝකාලීන පසුබැසීමක් බවටද පත් වුවහොත්, එය අන් කිසිදු රටකට වඩා චීනයට හානිදායක වනු ඇත.

චීනය ඇමරිකාවට ආදේශකයක් වනු දැකීමට සෙසු රටවල් කැමතිද යන්නට වඩා, අතිශය මූලික ප්‍රශ්නයක් වන්නේ එසේ වීමට අරමුණු කරන්නේ ද යන්නයි. නියත වශයෙන්ම චීනය ඇමරිකාවේ ශක්තීන් ප්‍රතිනිෂ්පාදනය කරන්නට උත්සාහ ගන්නේ නොවේ. සන්ධානයන්ගේ විසල් ජාලයක් සහ ගූගල් හා නෙට්ෆ්ලික්ස් සිට හාවඩ් සහ ගේට්ස් ෆවුන්ඩේෂන් දක්වා ගෝලීය මෘදු බලය සහිත තනි පුද්ගල ක්‍රියාකාරිකයන්ගේ බලමුළුව ප්‍රතිනිෂ්පාදනය කරන්නට යන්නේ නොවේ. එසේ කළහොත් ඇමරිකාවට දෙවන ලෝක යුද්ධයේ පටන් සිදුවූ ආකාරයට එය ලෝක ගෝලය පුරා අර්බුදවලට මැදිවනු ඇත.

චීන අභිලාෂයන්ගේ පරීක්ෂාවක් වනු ඇත්තේ වැක්සීන රේස් එකේදී එය ක්‍රියා කරන්නේ කෙසේද යන්නයි. එය මුලින්ම සාර්ථක කර ගතහොත් එම සාර්ථකත්වය ජාතික විජයග්‍රහණයක් ලෙස වර නැගෙනු ඇති අතර, ගෝලීය සහයෝගයට ද වේදිකාවක් තනනු ඇත.

මාස 8 ක ණය අත්හිටුවීම සමග අලුත් භූමිකාවකට සූදානමක්?

තවත් පරීක්ෂාවක් වනු ඇත්තේ දුප්පත් රටවලට ඔවුන් ණය සහනය ලබාදෙන්නේ කෙසේද යන්නයි. අප්‍රේල් 15 දා චීනය ද ඇතුළු G20 රටවල සාමාජිකයෝ, මාස 8 ක කාලයක් සඳහා ණය බරෙන් පීඩිත වූ රටවල ණය අත්හිටුවීමට එකඟ වූහ. අතීතයේදී ණය සම්බන්ධයෙන් චීනය වැසුණු කාමරවල සිට කේවල් කළහ. ද්වීපාර්ශවික ලෙස ද – මකරාගේ සිට මීයා දක්වාද දේශපාලන වාසි ලබාගැනීම සඳහා කේවල් කළහ. G20 තීරණයෙන් අදහස් වන්නේ බෙයිජිං හි ආණ්ඩුව දැන් සෙසු ණයකරුවන් සමග සහයෝගීව කටයුතු කිරීමට කැමැත්තක් දක්වන්නේය යන්න සහ, වඩාත් අවංක චේතනාවෙන් වැඩ කිරීමට කැමැත්තක් දක්වන්නේය යන්න නම්, එය ඔවුන් අලුත් භූමිකාවක් අත්පත් කරගැනීම සඳහා මුදල් වියදම් කිරීමට සූදානම් බවට ලකුණක් වේ.

සමහර විට චීනය, ලෝකය පාලනය කරනවාට වඩා සෙසු බලයන්ගෙන් එයට බාධා නොකිරීම හෝ අත පෙවිය නොහැකි මානයෙන් පැවතීම කෙරෙහි වඩාත් උනන්දු සහගත වනවා විය හැකිය. එය සංචිත මුදල් ඒකකයක් වශයෙන් ඩොලරය පතුරු ගැසීම අරමුණු කරයි. තවද බහුජාතික ආයතනවල බලපෑම් සහගත ධුරයන්ට රාජ්‍ය තාන්ත්‍රික චීන ජාතිකයන් පත් කිරීමට වෙහෙස වී වැඩ කරයි. ඒ අනුව ඔවුන් මානව හිමිකම් පරයා එසේත් නැතිනම් අන්තර්ජාල ආණ්ඩුකරණය පරදවා ගෝලීය රීති හැඩගැන්වීමේ තත්වයකට පත්වනු ඇත. ට්‍රම්ප් ලෝක සෞඛ්‍ය සංවිධානයට එරෙහි වීම ඇමරිකාවට නරක තත්වයක් උදා කිරීමට එක් හේතුවක් වන්නේ එමගින් චීනය එකී ධුරයන් සඳහා වඩාත් යෝග්‍ය තත්වයකට පත් කරන හෙයිනි.

චීන පාලකයෝ බිලියන 1.4 ක ජනතාවක් සහිත රටක් පාලනය කිරීමේ දැවැන්ත කාර්යයෙන් උත්පාදනය වූ ප්‍රවේශම් සහගත භාවය සමග සුවිශාල ලෙස අපේක්ෂාසහගත ව සිටිති. මූලයේ පටන්ම නව රීති මත පදනම් වූ අන්තර්ජාතික සාමයක් නිර්මාණය කිරීමට ඔවුන්ට අවශ්‍ය නැත. ඒ වෙනුවට දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාව විසින් ගොඩනැංවූ ලෝක සාමයේ වැනෙනසුලු කුලුනු තල්ලු කරමින් සිටීමට ඔවුන් වඩාත් ප්‍රමුඛතාවක් ලබාදෙනවා ඇත. ඒ අනුව චීනයේ නැගී සිටීම බලහත්කාරී නොවේ.

එහෙත් එය සැනසිලිදායක අපේක්ෂාවක් නොවේ. ගෝලීය වසංගතය හා එහි අනිටු ඵල විපාක මෙන්ම සංවිධානාත්මක අපරාධ සහ දේශගුණික විපර්යාස වැනි ගැටළු සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට හොඳම ක්‍රමය ගෝලීය වශයෙන් වැඩ කිරීමයි. මහා බලවතුන් ආත්මාර්ථකාමී වූ විට සහ සෙස්සන්ගේ ප්‍රශ්නවලින් වාසි ලබාගැනීමට යුහුසුළු වන විට සිදුවන්නේ කුමක්දැයි 1920 දශකය පෙන්වා දුන්නේය. කොවිඩ්-19 වසංගතය, දුර දක්නා ලොකු කමකින් යුතුව වාසි ලබාගැනීමේ විහිළුව මේ වන විට පෙන්වා දී තිබේ. ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් බෙහෙවින් දෝෂාරෝපණයට ලක් වෙයි. සුපිරි බලවතෙකුගේ හැසිරීම පිළිබඳ එබඳු අඳුරු දැක්මක් වෙරගැන්වීම චීනයට ජයග්‍රහණයක් නොව ඛේදවාචකයක් වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි