×

‘සිහින‘වලට ණය දෙන ලංකාව තවත් සැම්බියාවක් වේවිද?

ණය උගුලේ සිරවී සිටින සැම්බියාව, සෙමෙන් සෙමෙන් චීන කොලනියක් බවට පත්වෙමින් තිබේ. ණය ප්‍රවර්ධනය කරන සංස්කෘතියක් ඇති ශ්‍රී ලංකාව, සැම්බියාවේ කතාව කල් තබා දැනගෙන සිටීම වැදගත් ය.


ණය අර්බුදය නැවත වරක් අප්‍රිකාව ගිල ගනිමින් තිබේ. ගතවූ වසර 6 ක කාලය තුළ උප සහරානු අප්‍රිකා රටවල්වල රජයන් විසින්, ආයෝජනයට දත කවන්නන් වෙත නිකුත් කර තිබෙන බැඳුම්කරවල වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 81 කි. මේ තත්වය උදා වන්නේ විශේෂයෙන්ම චීනය සම්බන්ධිතව දියත් කරනු ලැබූ විශාල පරිමාණයේ ඉදිකිරීම් ව්‍යාපෘතිවල ද්වී පාර්ශවික ණය කන්දරාවක් තිබියදී ය. is sri lanka going to be another Zambia

මේ වනවිට මෙම උප සහරානු අප්‍රිකානු රටවලින් අඩකටත්ත වඩා වැඩි ප්‍රමාණයක මහජන ණය, දළ දේශීය නිෂ්පාදිතයෙන් 50%කට වඩා ඉහළ ගොස් තිබේ. ණය අර්බුදයේ අවදානම දිනෙන් දින ඉහළ යමින් ද ඇත.

සැම්බියාව මේ තත්වයට හොඳම උදාහරණයකි.

වසර 2012 දී මේ දකුණු අප්‍රිකානු රටක් වන සැම්බියාවට ස්පාඤ්ඤයටත් වඩා අඩු පොලී අනුපාතිකයකට ණය ලබාගත හැකිව තිබිණි. නමුත් අද වනවිට බැඳුම්කරවල පොලී අනුපාතිකය 16% දක්වා ඉහළ ගොස් තිබේ. මේ වන විට ආයෝජකයන් මේ තත්වය තුළ බියට පත්ව සිටින්නේ ඒවා ඩිෆෝල්ට් හෙවත් ගෙවිය නොහැකි බොල් තත්වයට පත්වනු ඇත කියා ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, 2005 වසරේදී සැම්බියාව ඇතුළු තවත් අප්‍රිකානු රටවල් 29 ක ණය කපා හැරීම සිදු කළේය. ඒ, ඒවා ‘දැඩි ලෙස ණය බරෙන් පීඩිත වූ දුප්පත් රටවල්‘ යන කාණ්ඩය (HIPC) ට ඇතුළත් කරමිනි. ඒ කාලයේ ලෝකයේ ප්‍රකට ආර්ථික විශේෂඥයන් වන විලියම් ඊස්ටර්ලි වැනි අය අනතුරු අඟවා සිටියේ, මෙකී ණය කපාහැරීම මගින් ඔවුන් නැවත අලුත් ණය ගැනීමට යොමු වනු ඇති බවත්, ඒ සඳහා ඔවුන් දිරිමත් වනු ඇති බවටත් ය.

ආර්ථික වර්ධනය සහ ආණ්ඩුකරණය යහපත් කර නොගන්නේ නම් කෛරාටික ආණ්ඩු විසින් මේ අවස්ථාව කූට ලෙස යොදාගත හැකි බවටත් ඔහු සැක පළ කළේය.

මෙහි බලපෑම දෙපැතත්කින් සිදු විණි. යහපත් දේ ගැන කතා කරන්නේ නම්, මේ ණය කපාහැරීම නිසා පාසල් සහ සායන සඳහා අරමුදල් මුදා හැරීම සිදුවිය. ඒවාට මුදල් ලැබුණේය. නමුත් වැඩිවශයෙන්ම සිදුවුණේ එදා විලියම් ඊස්ටර්ලි කී දෙයයි. එයටත් දශකයකට අඩු කාලයක් තුළදී සැම්බියාව, දළ දේශීය නිෂ්පාදිතයෙන් 59%ක් වන ණය කන්දරාවකට අද වන විට අලුතෙන් මුහුණ දී සිටියි.

ඊසි ක්‍රෙඩිට්

මෙවැනි දේ සම්බන්ධයෙන් ආණ්ඩුවලට කීමට නිදහසට කාරණා කවදත් තිබේ. සැම්බියානු ආණ්ඩුව මේ පිළිබඳ දෝෂාරෝපණය කරන්නේ තඹ හෙවත් කොපර්වල මිල පහළ වැටීම වෙත ය. නමුත් සැබෑ හේතුව වෙනකකි. ඉකොනොමිස්ට් සඟරාව පෙන්වා දෙන ආකාරයට මේ තත්වයට බලපා ඇති සැබෑ හේතුව, ‘ඊසි ක්‍රෙඩිට්‘ හෙවත් ලෙහෙසියෙන් ලබාගත හැකි ණය, තමන්ගේ සාක්කුවලට පුරවා ගන්නා ප්‍රභූ පැළැන්තියක් විසින් රට පාලනය කිරීමයි! මේ වන විට සැම්බියාව වෙත ලබාදී ඇති ණය සහ, සැම්බියාව විසින් ජනතාව වෙත ලබාදෙන බව කී ණයවලින් වැඩි කොටස නතර වී තිබෙන්නේ ප්‍රබලයන් කණ්ඩායමකගේ බැංකු ගිණුම්වල ය!

ඊසි කොමිස්

කොමිස් ගැසීම සැම්බියාවේ ඔඩු දුවා ඇති තත්වයකි. සැම්බියාව නොබෝදා අලුත් ගිනි නිවන රථ මිලදී ගත්තේ, 70% ක අධි මිලක් යටතේ ය. ඒවායින් එකක මිල ඇමරිකානු ඩොලර් මිලියනකටද අධික ය. සැම්බියාවේ අලුතෙන් තැනෙන මහා මාර්ගයක කිලෝමීටරයක් සඳහා පිරිවැය, අසල්වැසි රටවල තැනෙන එවැනි මහාමාර්ගවල සාමාන්‍ය පිරිවැයට වඩා දෙගුණයකින් පමණ වැඩි ය. සැම්බියාවේ අලුතෙන් හැදූ ගුවන් තොටුපොළ පර්යන්තය හේතුවෙන් අවට මාර්ගවල තදබදය 10 ගුණයකින් වැඩි වී තිබේ. පරිපාලන හා පාලන ව්‍යූහයන් තුළ දූෂණය සහ අල්ලස ඔඩු දුවා ඇති නිසා, ඒවා නීතියේ රැහැනට හසු කර ගැනීම අපහසු ය. ඒවා සිදුවන්නේ සියුම් සහ සංකීර්ණ විධික්‍රමවලට ය. සැම්බියාවේ දූෂණ පිළිබඳ ලිපි මාලාවක් පළ කළ ජාතික තලයේ පුවත්පතක්ද මේ වන විට වසා දමා තිබේ.

වගකීම් සහගත නොවන ණය

සැම්බියාවෙන් අප උගත යුතු දෙවන පාඩම කුමක්ද? මේ වන විට ‘වගකීම් සහගත නොවන ලෙස‘ ණය ලබාදෙන්නන්ගේ සංඛ්‍යාව රට තුළ සීඝ්‍රෙයන් ඉහළ යමින් තිබේ. ඔවුහු එම පරිචය දිරිමත් කරමින් සිටිති.

2016 වසරේදී සැම්බියාව ආර්ථික අර්බුදයක් වෙත ගමන් ගනිමින් සිටිනා බව පෙනී යන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කළේ අලුතෙන් ණය ගැනීම නතර කරන ලෙස ය. බැඳුම්කර වෙළඳපොළේ පොලී අනුපාතිකවල ඉහළ යාම විසින් ඒ සඳහා යම් ප්‍රවේශයක් ලබාදුන්නද එය ප්‍රමාණවත් වූයේ නැත. එවිට ඒ හිඩැස පිරවීමට චීනය සතුටින් ඉදිරියට ආවේය. මේ වන විට සැම්බියාවේ තිබෙන බාහිර ණය කන්දෙන් 1/3ක් ලබාදී තිබෙන්නේ චීනය විසිනි. එම ණය ප්‍රමාණය නිශ්චිතව ගණනය කළ නොහැකි බවට ද මතයක් තිබේ.

මේ අතර සැම්බියානු පාලකයන්, තුර්කියෙන් ද ණය ඉල්ලා තිබේ. තුර්කිය, අප්‍රිකානු රටවල ආයෝජනය කිරීමට මහත් කැමැත්තෙන් සිටින රටකි.

ණය කළමනාකරණයේ අර්බුදය

සැම්බියාවේ ණය උගුල අපට කියා දෙන තුන්වැනි පාඩම වන්නේ, ණය කළමනාකරණය කළ යුතු ක්‍රමවේදයන් වෙනස් වෙමින් තිබෙන බවයි. අතීතයේ මෙවැනි රටවල් වැඩි වශයෙන්ම ණය වී සිටියේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ පැරිස් ක්ලබ් නමැති බටහිර රාජ්‍යයන්ගේ ණය දෙන සංවිධානවලට ය. එමගින්, උපකාර කළ යුතු නම්, ආර්ථික ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ආර්ථික වර්ධනය වේගවත් කළ යුතු බවට කොන්දේසි පැනවීමට මේ සංවිධානවලට බලයක් ලැබී තිබිණි. නමුත් චීනය සහ තුර්කිය වැනි රටවල් එසේ කරනු ඇතිද? උදාහරණයක් ලෙස චීනය ගන්න. චීනය, යහපත් ආණ්ඩුකරණය (good governance) සඳහා පූර්වාදර්ශ සපයන රටක් නොවේ. ‘මේ නිදා සිටින්නේ යෝධයෙකි‘ යැයි එදා නැපෝලියන් අධිරාජ්‍යයා චීනය පෙන්වා කී බව ප්‍රකට කතාවකි. චීනය වැනි රටවල්, වෙනත් රටවල ආර්ථිකයේ තීරණාත්මක සාධක බවට පත්වූ පසු, යහපත් ආණ්ඩුකරණ සංකල්ප විශ්වාස කරන ජාත්‍යන්තර ගෝලීය බලවේගවලට සිය හඬ හකුළා ගන්නට සිදු වේ.

බොහෝ තරගකාරී අභිලාෂයන් මේ වන විට පටලැවී ඇති හෙයින්, සැම්බියාවේ ණය අර්බුදය මේ වන විට අතිශය සංකීර්ණ චිත්‍රයක් බවට පත්ව තිබේ. බටහිර ණය දෙන්නන් සහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල, අධිමිල යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් නාස්ති කිරීම නතර කරන්නැයි මේ වන විටත් දැඩි ස්වරයෙන් කියා තිබේ. නමුත් මේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවලට ණය ලබාදෙමින් සිටින්නේ චීන බැංකු ය. ඔවුන් ද මහා පරිමාණ ණය දෙන්නන් ය. කෙටි කාලීන ණය මුදල් ඔවුහු අධික පොලියකට ලබා දෙති. ව්‍යාපෘති අවලංගු වුවහොත් එම ණය මුදල් කපා හැරිමට තමන් කිසිසේත් සූදානම් නැති බව ඔවුහු කියමින් සිටිති. නොඑසේ නම් ඔවුන් වෙනත් ආකාරයකින් ඒ සඳහා වන්දි ඉල්ලා සිටින්නට ද ඉඩ තිබේ. ජෝන් ඇඩම්ස්ගේ කුප්‍රකට කියමනකට අනුව රටක් කඩුවෙන් හෝ ණය දීමෙන් යටත් කර ගැනීමට නූතන ලෝකය තුළ හොඳින්ම ඉඩ හසර තිබේ. මේ තත්වය චීනය විසින් දියත් කර ඇති මහා ආයෝජන ව්‍යාපෘතිය වන ‘‘Belt and Road Initiative“ මගින් මනාව ප්‍රකට වේ.

දැන් අපි ලංකාව වෙතට හැරෙමු.

මේ වන විට ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 12.3 කි. එදා රාජපක්ෂ පාලනය, ලංකාව අවට ජාත්‍යන්තර මුහුදු තීරයන් හි නැව් දහස් ගණන් ඇදී එද්දී, කලාතුරකින් පමණක් නැව් එන මාගම්පුර වරාය ඉදිකළේ තනිකරම චීනයෙන් ණයට මුදල් ලබාගනිමිනි. රටේ ප්‍රධාන වරාය වශයෙන් පැවති කොළඹ වරාය පසෙක තිබියදී චීනයෙන් මිලියන 307 ක් පොලියට ගෙන රාජපක්ෂ බලකොටුවේ වරායක් හදන්නේ ගිනි පොලිය යටතේය. අනතුරුව සිදුවූයේ, හම්බන්තොට වරායෙන් ගොඩ බාන මෝටර් රථ, කොළඹට යවා රේගු බද්දට යටත් කරවන්නට ය. මෙය, සැම්බියාවේ ‘මිල ඩබල් වන යටිතල පහසුකම් සංවර්ධනයේ‘ම දිගුවක් බඳු ය. ඒ කාලයේ ඉදිවුණු දක්ෂිණ අධිවේගී මාර්ගය ගැන කියැවුණු කුප්‍රකට කතාවක් වූයේ, ‘ඒ පාර රත්තරන්වලින් කාපට් කළා වගේ විදයමකින් හැදුවා“ යන්නයි. රුපියල් බිලියන 22.7 ක වියදමෙන් ඉදි කළ මත්තල ගුවන් තොටුපොළ ගැනද කියන්නට තිබෙන්නේ මෙයටම සමාන කතාවකි. එහි 2017 වසර සඳහා වාර්ෂික ණය පොලී වාරිකය රුපියල් කෝටි 2600 ක් බව කියැවේ. නමුත් වී වේළනවා හැරෙන්නට එයින් මේ දක්වා අප දැනෙන දෙයක් කර නැත.

අවසානයේ චයිනා හාබර් ගිණුමෙන් 2015 ජනාධිපතිවරණය සඳහා ඩොලර් මිලියන ගණනක චෙක්පත් බැර කර ඇති බවටත් නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් ආන්දෝලනාත්මක ‘‘How China Got Sri Lanka to Cough Up a Port‘‘ ලිපියෙන් හෙළි කර තිබිණි.

නෙළුම් පොකුණ, නෙළුම් කුලුන යනාදී වශයෙන් ඒ යුගයේ රට සිර කළ ණය ලැයිස්තුව ඉතා දිගුය. නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල සම්පූර්ණයෙන්ම චීනය විසින් ‘නොමිලේ ලබාදුන් තෑග්ගක්‘ ලෙස ප්‍රචාරණයේදී පැවසුණත්, ඇත්ත කතාව වන්නේ ඒ සඳහා වැයකළ රුපියල් බිලියන 3.08 ක චීන මුදල්වලින් 60%ක් ලබාදී ඇත්තේ ණය මුදලක් වශයෙන් බවයි. තෑග්ගට අයිති වන්නේ 40%ක් පමණි. මේ අතර, ඩොලර් බිලියන 11.9 ක් වැය කරමින් නෙළුම් කුලුන තැනුණේ කුමන අරමුණකින් ද යන්න පවා එකල පැහැදිලි කෙරුණේ නැත.

ඉන් අනතුරුව සිදුවූ දේ කෙටියෙන් මෙසේ ය.

‘පොලිය මෙච්චරයි. ඒකෙන් මෙච්චරක්ම ගෙවන්නේ ආණ්ඩුවයි!‘

වත්මන් රජය විසින් 2017 වසර මුල භාගය වන විට ඩොලර් මිලියන 6361 ක විදේශ ණය ප්‍රමාණයක් ලබාගෙන තිබිණි. මේ වන විට එම ඉලක්කම ඊට වඩා බෙහෙවින් විශාල ය. පෙර රජය විසින් ලබාගත් ණයවල පොලී වාරික ගෙවමින් සිටින්නේ වත්මන් රජයයි. ඒ සඳහා වැය කරන්නේ ප්‍රධාන වශයෙන්ම බදු ගෙවන්නන්ගේ මහජන මුදල් ය. රට ඉටියෙන් හෝ මැටියෙන් මීයන් අල්ලන බළලෙකු සේ ඉදිරියට ඇදෙමින් තිබේ. මේ මොහොත වන විට දැවැන්ත ණය ප්‍රවර්ධන වැඩසටහන් ගණනාවක් රජය විසින් දියත් කර ඇත. ඒවායින් අති උත්කර්ෂවත් ලෙස පැවසෙන්නේ ‘පොලිය මෙච්චරයි. ඒකෙන් මෙච්චරක්ම ගෙවන්නේ ආණ්ඩුවයි‘ යනුවෙනි. ණයට මුදල් ගැනීම දිරිමත් කිරීම සඳහා ආණ්ඩුව මුදල් සපයාගන්නේ ආසියානු සංවර්ධන බැංකුව හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හරහාය. එසේත් නැතිනම් තැන්පත්කරුවන්ගේ මුදල් ඒ සඳහා යෙදවේ. අමාත්‍යාංශ ගණනාවක් මේ වන විට මේ එකම දේ විවිධ ආකාරවලින් කරමින් සිටිනා අතර, ඒවා අතර කිසිදු සම්බන්ධීකරණයක් හෝ අන්තර් සම්බන්ධයක් නැත. වමත කරන දේ දකුණත දන්නේ ද නැත.

සැම්බියාවේ වගකීම් රහිත ණය දීම ‘ප්‍රමෝට්‘ වූ ආකාරයටම ලංකාවේ ද ගතවූ දශකයකට අධික කාලයක් මුළුල්ලේ ක්ෂුද්‍ර මූල්‍ය කර්මාන්තය, වගකීම් රහිත ණය දීම් වලට ආසක්ත වී සිටියි. හුදෙක් ලාභය පදනම් කරගෙන, ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ සමාජයීය වගකීම සහමුලින්ම අමතක කළ ශ්‍රී ලංකාව, මේ වන විට ග්‍රාමීය දිළිඳු බවේ අත්‍යන්ත අර්බුදයකට මුහුණ දී සිටියි. එදා වේල සරි කර ගැනීමට පවා නොහැකි, කිසිදු ජීවන කුසලතාවක් නොමැති ග්‍රාමීය කාන්තාවන්ට පවා ලියාපදිංචි හා ලියාපදිංචි නොවන, නියාමනය හා නියාමනය නොවන යන මෙකී නොකී සියලු වර්ගයේ ණය දෙන ආයතන හා ණය දෙන පොලී මුදලාලිලා විසින් ණය ලබාදීමේ ප්‍රතිඵලය මේ වන විට, පියා විසින් පුතුන් දෙදෙනා ඇදගෙන දුම්රියට පැන සිය දිවි නසාගැනීම දක්වා දුරදිග ගොස් තිබේ.

සැබවින්ම ඉටියෙන් හෝ මැටියෙන් හෝ බළලා විසින් කාරිය කිරීම වැදගත් ය. වැටුණු ළිඳේ ළිං කටින්ම කෙසේ හෝ ගොඩ ආ යුතු බැවිනි. නමුත් ගැටළුව වන්නේ ජනතාවට ණය දුන් පමණින් රට ගොඩ එන්නේද යන්නයි. රජය විසින් මහත් බලාපොරොත්තු තබාගෙන සිටියද, ව්‍යාපෘති වාර්තාවලට ණය ලබාදෙන රාජ්‍ය බැංකු, එකී ව්‍යාපෘති සාර්ථක නොවන්නේ නම් කිනම් ඉරණමකට මුහුණ පානු ඇත්ද? ණය ආර්ථිකය වෙනුවට නිෂ්පාදන ආර්ථිකයක් වෙත, පැහැදිලි වෙළඳපොළක් වෙත අපේ රට ගමන් කරන්නේ කවදාද? ජනතාව ණයෙන් නොව, නිෂ්පාදනයන්ගෙන් පිරිපුන් වන්නේ කවදාද?

දැන හෝ නොදැන, අප ද උප සහරානු සැම්බියාව මෙන්ම, ණය ගෙවීම සඳහාම ජීවත් වන ජාතියක් බවට ක්‍රමයෙන් පත්වෙමින් තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි