×

තරග විභාග – ඊශ්‍රායල් පලස්තීන අර්බුදය නොහොත් ‘සාමයේ‘ වරදවා හැසිරීම

ඊශ්‍රායල-පලස්තීන අර්බුදය පිළිබඳ තරග විභාග ඉලක්ක කර ගනිමින් ඔබ වෙත ගෙන එන ලිපි මාලාවක පළමු කොටස අද පටන්..


1. ගැටළුව කුමක්ද?

ඊශ්‍රායලය කියන්නේ ලෝකයේ තිබෙන එකම එක යුදෙව් රාජ්‍යය. එනම් ඔවුන් යුදෙව්වන්. ඊශ්‍රායලය මධ්‍යධරණී මුහුදට නැගෙනහිරින් පිහිටා තිබෙනවා.

පලස්තීනය යනු, මේ වන විට ඊශ්‍රායලය විසින් පාලනය කරන භූමියෙන් පැවත ගෙන එන ජන කොටසක් බවට පත් වෙලා. ඒ වගේම ඔවුන් අරාබි ජාතිකයන්. එනම් මුස්ලිම්වරුන් හෙවත් ඉස්ලාම් ආගමිකයන්. ඊශ්‍රායලය, එසේත් නැතිනම් යුදෙව්වන් විසින් පාලනය කරන අරාබි භූමිය ඔවුන් අදටත් සලකන්නේ තමන්ගේ ‘මව් රට‘ විදිහටයි. ඒ අනුව පලස්තීනය යනු, ඊශ්‍රායලය විසින් පාලනය කරන අරාබි දේශභූමිය ලෙසත් හඳුන්වන්නට පුළුවන්.

Times Higher Education

මේ නිසා පලස්තීනුවන් ඊශ්‍රායලය විසින් පාලනය කරනු ලබන අරාබි භූමියේ සමස්ත අයිතිය හෝ කොටසක අයිතිය ඉල්ලා සිටිනවා. ඊශ්‍රායල-පලස්තීන අරගලයේ පදනම එයයි. තවත් සරල භාෂාවෙන් කියනවා නම්, ඊශ්‍රායල-පලස්තීන අරගලය යනු, පලස්තීන භූමියේ අයිතිය නැවත ලබාගැනීම සහ එම භූමිය පාලනය කිරීමේ අයිතිය කේන්ද්‍රකරගෙන දිව යන්නක්. මෙය ‘ඉඩම් හා බැඳුණු ජීවන අයිතිවාසිකම් පිළිබඳ අරගලයක්‘ ලෙසත් මේ නිසා හඳුන්වන්නට පුළුවන්. මේ තත්වය, ‘පලස්තීන විමුක්ති අරගලය‘ක් දක්වා ඉතිහාසය පුරා ක්‍රමිකව විකාශනය වුණා.

නමුත් මෙයට සාපේක්ෂව ඊශ්‍රායලයේ යුදෙව්වන්ටත් විත්තිවාචකයක් තිබෙනවා. වසර දහස් ගණනකට පෙර තමන්ගේ මුල් බිම්, එහෙමත් නැතිනම් නිජබිම්, එහෙමත් නැතිනම් දේශභූමිය විදිහට, පලස්තීනුවන් කියන භූමියම තමන් සන්තකයේ පැවති බව යුදෙව්වන් කියා සිටිනවා.

Huffington Post

වර්තමාන ඊශ්‍රායල් – පලස්තීන දේශපාලන අර්බුදයේ ඉතිහාසය 20 වන සියවසේ මුල් භාගය දක්වා දිව යන එකක්. ඒ කාලයේ අරාබි සහ මුස්ලිම් බහුතරයක් සහිත වූ ඔටෝමන් තූර්කි අධිරාජ්‍යය සහ පසුකාලීනව බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වශයෙන් පැවතුණු මෙම භූමියේ ‘ජාතික මව්බිමක්‘ (national homeland) ස්ථාපනය කර ගන්නට, හිට්ලර්ගේ යුදෙව් සංහාරයත් සමග යුරෝපයෙන් පළා යන යුදෙව්වන්ට උවමනා වෙනවා. එය, යුරෝපය තුළ ඔවුන්ගේ අනන්‍යතාවය අහිමි වෙමින් යන විට නිජ බිම් සංකල්පය වෙත නැවත යොමුවීමක් ලෙස අර්ථ දක්වන්නට පුළුවන්. අරාබි ජාතිකයන් මේ ‘හිමිකම කියා පෑම‘ ට කොහෙත්ම එකඟ වන්නේ නැහැ. ඔවුන් එයට ප්‍රතිරෝධය දක්වනවා. මුල් කාලීනව එක්සත් ජාතීන්ගේ සංවිධානය (ජගත් සංවිධානය) සැලසුම් කළේ මේ කණ්ඩායම් දෙකටම භූමියෙන් කොටස බැගින් ලබාදී ස්වයං පාලන අයිතිය ලබාදෙන්නටයි. නමුත් එය අසාර්ථක වුණා. ඊශ්‍රායලය සහ අරාබි ජාතීන් කිහිපයක් ඈඳුණු යුද්ධ ගණනාවකට මග පෑදුණා. අද වන විට කලාපයේ දැකිය හැකි අර්බුදයන්ගෙන් බහුතරය, මෙම යුද්ධවල පසු ප්‍රතිඵල ලෙසත් හඳුනාගත හැකියි. 1948 යුද්ධය සහ 1967 සයදින යුද්ධය ඒ අතරින් ප්‍රධානයි.

1967 සයදින යුද්ධය, වත්මන් ඊශ්‍රායල – පලස්තීන අර්බුදයට තීරණාත්මක බලපෑමක් ඇති කරනවා. එහිදී ඊශ්‍රායලයට බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ පාලනය අහිමි වුණා. බටහිර ඉවුර සහ ගාසා තීරය පලස්තීන ජනයාගේ වාසභූමිය බවට පත්වුණා.

අද වන විට බටහිර ඉවුර නාමිකව පාලනය කරන්නේ පලස්තීන පාලනාධිකාරිය (Palestinian Authority) මගින්. නාමිකව, එහෙමත් නැතිනම් ‘නමට පමණක්‘ යන අර්ථය මෙහිදී යෙදෙන්නේ පලස්තීන පාලනාධිකාරිය එහි පාලනය භාරගෙන සිටියත්, සැබවින්ම බටහිර ඉවුර පවතින්නේ ඊශ්‍රායල ආක්‍රමණය යටතේ නිසයි. එය ස්වරූප ගණනාවකින් දැකගන්න පුළුවන්. එක් පසෙකින් බටහිර ඉවුර පුරා ඊශ්‍රායල් (යුදෙව්) හමුදා භටයන් විසිරී සිටිනවා. ඔවුන් ඊශ්‍රායලයේ ආරක්ෂණ සීමාකිරීම් පලස්තීනුවන් මත යොදනවා. පලස්තීනුවන්ගේ නිදහස් ක්‍රියාකාරකම් ආරක්ෂාවේ නාමයෙන් පාලනය කරනවා.

ඒ වගේම බටහිර ඉවුරේ යුදෙව් ජනාවාස ගණනාවක් දැකගන්නට පුළුවන්. මොකක්ද මේ බටහිර ඉවුර යන කාරණයත්, එය ට බටහිර ඉවුර කියන්නේ මක් නිසාද කියන කාරණයත් ඉතාම උනන්දු ජනකයි. මේ ගැන ඉදිරියේදී සවිස්තරාත්මක ව කතා කරමු. සැබවින්ම එය බටහිර ඉවුර වන්නේ, වර්ග කිලෝමීටර 6555 ක් (Area: 5,655 km²) සහ 3,284,787 ක ජනගහනයක් ජීවත් වන මේ මධ්‍යධරණී බිම් කලාපය, ජෝර්දාන් නදියේ බටහිර ඉවුර නිසා වීම බව දැනට මතක තබා ගන්න.

මේ වන විට බටහිර ඉවුරේ ජීවත් වන යුදෙව් ජනපදිකයන් ගණන දළ වශයෙන් 371,000 ක්. ඇතැම් සංඛ්‍යාලේඛනවලට අනුව මෙම ප්‍රමාණය ගණන් බැලෙන්නේ තවත් වැදගත් මර්මස්ථානයක් වන නැගෙනහිර ජෙරුසලමේ සිටින යුදෙව් ජනගහනයත් සමග නිසා මේ සංඛ්‍යාව තරමක් මතභේදාත්මකයි. කොහොම වුණත් ඊශ්‍රායල යුදෙව්වන්ගේ ජනාවාස වේගයෙන් වර්ධනය වෙමින් පවතින බවට නම් කිසිම විවාදයක් නැහැ.

මෙයට සාපේක්ෂව බටහිර ඉවුරේ සිටින අතිබහුතරය පලස්තීනුවන් බව එහි සමස්ත ජනගහනය දෙස බැලීමෙන් පැහැදිලිව පෙනෙනවා.

මේ අතර ගාසා තීරයේ පාලනය ගෙනයන්නේ හමාස් සංවිධානයයි. හමාස් සංවිධානය යනු පලස්තීන නියෝජනයයි. ඒ වගේම හමාස් සංවිධානය ඉස්ලාමීය මූලධාර්මික පක්ෂයක් (Islamist fundamentalist party) ලෙසත් හැඳින්වෙනවා. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ නොමැති වුණත්, ඊශ්‍රායලය විසින් ගාසා තීරය මතත් ආක්‍රමණකාරී බවක් සහ අවහිර කිරීමක් නිතර පවත්වාගෙන යනවා.

අද වන විට ඊශ්‍රායල-පලස්තීන අර්බුදය විසඳීම සඳහා උත්සාහ කෙරෙන්නේ ‘ද්වී-රාජ්‍ය විසඳුම‘ (“two-state solution” ) හරහායි. එමගින් ගාසා තීරය සහ බටහිර ඉවුරේ වැඩි කොටසක් තුළ ස්වාධීන පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට උත්සාහ කෙරෙනවා. ඒ අනුව ඉතිරි වන කොටස ඊශ්‍රායලයට ලබාදීමට නියමිතයි. මෙය සිද්ධාන්තයක් වශයෙන් පැහැදිලි නමුත්, මේ බෙදා වෙන් කිරීම් සිදුකරන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් මේ කණ්ඩායම් දෙක අතර පවතින්නේ දැඩි විසම්මුතියක්. කිසිම ආකාරයකින් මේ සම්බන්ධව එකඟතාවයකට එළඹෙන්නට ඔවුන් අසමත් වී තිබෙනවා.

‘ද්වි රාජ්‍ය විසඳුම‘ භාර නොගන්නවා නම් තිබෙන ඊළඟ විකල්පය ‘ඒකීය රාජ්‍ය විසඳුම‘ (“one-state solution”) යි. එයින් යෝජනා කරන්නේ මේ මතභේදාත්මක භූමි භාගය එක්කෝ සම්පූර්ණයෙන්ම ඊශ්‍රායලයට, නැතිනම් පලස්තීනයට හිමි කර දීම. නමුත් මෙයින් ප්‍රශ්නය විසඳෙනවාට වඩා ප්‍රශ්නය තීව්‍ර කිරීමක් සිදුකරන බවට බොහෝ විචාරකයන් පෙන්වා දී තිබෙනවා. මේ කිසිම කණ්ඩායමක් තමන්ගේ නිජබිම් අයිතිය අතහරින්නට සූදානම් නැහැ.

****************************************
ඉහතින් කළේ හැඳින්වීමක් සහ පිවිසීමක් පමණයි.

මතු සම්බන්ධයි.

මීළඟට – ඊශ්‍රායලයේ පරමාදර්ශය ‘සියොනිසම්‘ යනු කුමක්ද?

ඔබේ අදහස් අප වෙත දක්වන්න..

අමතර කියවීම් –

ඊශ්‍රායලයෙන් හමාස් සංවිධානයට දැඩි ප්‍රහාර



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි