×

‘ජෝකර්‘ට ඔස්කාර් සම්මාන නාම යෝජනා 11 ක්

2019 වසරේ තිරගත වු වඩාත්ම මතභේදාත්මක සහ විචාරකයන්ගේ නොමද අවධානයට පාත්‍ර වූ ‘ජෝකර්‘ චිත්‍රපටය විසින් ඔස්කාර් හෙවත් ඇකඩමි සම්මාන නාම යෝජනා 11 ක් දිනාගෙන තිබේ.


අද (13) දින 92 වැනි ඔස්කාර් නාමයෝජනා ප්‍රකාශයට පත් කිරීමේ උත්සවයේදී මේ බව නිවේදනය කෙරිණි.

ජෝකර් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන ජොආකින් ෆීනික්ස් (Joaquin Phoenix) හොඳම නළුවා සඳහා නාම යෝජනා ලබද්දී හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් එහි අධ්‍යක්ෂ ටොඩ් ෆිලිප්ස් ද නාම යෝජනා දිනා ගත්තේය.

psychological thriller ෂානරයට අයත් ‘ජෝකර්‘ හි සම පිටපත් රචනය සහ තිර පිටපත ස්කොට් සිල්වර් ගෙනි. එහි කතා වස්තුව අපූරු ය. සදාකාලික හුදෙකලාවකින් පෙළෙන අසාර්ථක හාස්‍ය ශිල්පියෙකු වන ආතර් ෆ්ලෙක්, ගෝතම් නගරයේ වීදි දිගේ ඇවිද යයි. දිවාකාලයේදී කවටයෙකු සේ සැරිසරන ඔහු, අවට ලෝකයේ කොටසක් බවට පත් වන්නට උත්සාහ කරයි. නමුත් සමාජය විසින් නොසලකා හැරීම සහ හිංසා කිරීමේ වාඩුව පියවා ගන්නට ෆ්ලෙක් අලුත් ක්‍රමයක් සොයා ගනියි. ‘ජෝකර්‘ නමැති සාපරාධී මනස නිර්මාණය වන්නේ උමතුව හා හුදෙකලාව අතර දෝලනය වන චිත්ත වේගයන්ගෙනි. ඩොලර් මිලියන 55-70 ක් අතර මුදලක් ආයෝජනය කළ නිපදවූ මේ චිත්‍රපටය වාර්තාගත ඩොලර් බිලියන 1.063 ක ආදායමක් සමග ගෝල්ඩන් ලයන් සහ ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන ද දිනාගෙන තිබේ.

ඔස්කාර් උළෙලේ 87 වැනි වතාවට මෙවරද හොඳම අධ්‍යක්ෂණය සඳහා නාම යෝජනා දිනාගෙන තිබෙන්නේ පිරිමි අධ්‍යක්ෂවරුන් විසිනි. මේ අනුව පසුගිය වසරේ කාන්තා අධ්‍යක්ෂවරියන් විසින් හොඳම අධ්‍යක්ෂණය සඳහා නාම යෝජනා දිනාගනිමින් තැබූ ඓතිහාසික වාර්තාව නැවතත් සුපුරුදු පරිදිම අහෝසි වී තිබේ.

නාම යෝජනා 10 බැගින් දිනාගත් චිත්‍රපට 3 ක්

මාටින් ස්කෝසීස්ගේ “The Irishman,” ක්වෙන්ටෙයින් ටැරන්ටිනෝගේ 1960 දශකයේ ලොසැන්ජලීස් වෘත්තාන්තය – “Once Upon a Time … in Hollywood” සහ සෑම් මෙන්ඩෙස්ගේ පළමු ලෝක යුද්ධය අළලා නිර්මාණය වූ “1917” යන චිත්‍රපට 3 ද නාම යෝජනා 10 බැගින් දිනාගැනීමට සමත් විය.

හොඳම නළුවා සඳහා නාම යෝජනා දිනාගත් අය අයතර, ‘වන්ස් අ පෝන ටයිම් ඉන් හොලිවුඩ්‘ හි ලියනාඩෝ ඩි කැප්රියෝ ද වේ. එම චිත්‍රපටයේම රංගනයෙන් එක් වන බ්‍රැඩ් පිට් හොඳම සහාය නළුවා ලෙසද, හොඳම අධ්‍යක්ෂණය වෙනුවෙන් ටැරන්ටිනෝ ද නාම යෝජනා දිනා ගත්හ.

ආසියානු-ඇමරිකානු නිළිය අව්ක්වාෆිනාට නාම යෝජනා නොලැබේ.

මෙවර බොහෝ දෙනෙක් බලාපොරොත්තුවෙන් සිටි පරිදි, ‘ද ෆෙයාවෙල්‘ චිත්‍රපටයේ කැපී පෙනෙන රංගන දායකත්වයක් ලබාදුන් ආසියානු ඇමරිකානු සම්භවයකින් යුත් නිළිය අව්ක්වාෆිනා හට මෙවර උළෙලේදී නාමයෝජනා ලැබී නොමැති වීම විචාරකයන්ගේ අවධානය දිනාගෙන තිබේ.

2020 ඇකඩමි සම්මාන උළෙල ඇමරිකාවේ ලොසැන්ජලීස් හි ඩොල්බි තියටර් හි පැවැත්වීමට නියමිත ය.

Cover Photo : Comic Book



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි