“අපේ අම්මා උසයි… සුදුයි.. හරි ලස්සනයි.. අම්මා අපිට ගොඩක් ආදරය කළා.. අපිව හොඳට බලාගත්තා..”
“අපි අම්මගෙ මිනිය දැක්කා… ගුවන් හමුදාවෙන් අම්මට වෙඩි තිබ්බට පස්සෙ…”
කුඩා ප්‍රාණීන් පස් දෙනාට දැන් මේ කතාව දෑසේ කඳුළු රහිතව කිව හැකිව ඇත. වේදනාව නුහුරු දෙයක් නොවේ. ඉඳහිට ඇතිවන ඉකිබිඳුමක් නිසා පමණක් කතාව බිඳී යයි.
“අපේ තාත්ත මැරුණෙ බෝම්බයකින් ආව විෂ දුම වැදිලයි. විප්ලවය පටන් ගනිද්දිම..” කුඩා ප්‍රාණීන් කණ්ඩායම අතර සිටින කුඩා කොලුවා කතාවට ඉඳහිට පමණක් සම්බන්ධ වෙමින් අඩුවැඩිය එක් කරයි.
“අසාද් තමයි අපේ තාත්තව මැරුවෙ..!”
සටාරි සරණාගත කඳවුර ලෝකයේ දෙවැනුවට විශාලතම සරණාගත කඳවුරයි. 2011 වසරේ සිරියානු සිවිල් යුද්ධය පුපුරා යාමත් සමඟ 2012 ජූලි මාසයේදී ජොර්දානය, අමෙරිකා එක්සත් ජනපදය සහ එක්සත් ජාතීන්ගේ සරණාගතයන් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයේ මැදිහත්වීමෙන් මේ තාවකාලික කූඩාරම් බිම ඉදි කෙරිණි. සරණාගතයෝ එක්ලක්ෂ හතලිස් හතර දහසක් එහි වෙසෙති.
ජගත් සංවිධානයේ සහ බලවත් රාජ්‍යවල ආධාර උපකාර ලැබෙතත්, සටාරිය නඩත්තු කිරීමට එය ප්‍රමාණවත් නැත. අද වන විට ජෝර්දානය, සිය ජාතික ධනයට වැය බරක් වූ සටාරිය සලකන්නේ රටේ සිවුවැනි විශාලතම නගරය ලෙස ය. එහි කඩවීදි තිබේ. බදින ලද මස්, එළවළු, පළතුරු, ඇඳුම් පැලඳුම් සහ පාපන්දු පිටි ආදිය ද තිබේ. සැනසිල්ල හැර සෙසු සියල්ල මෙහි ඇත.
අපේ කතානායක දරුවන් කණ්ඩායම සටාරියට පැමිණි පසු කාරුණික ජෝර්දාන් කාන්තාවකගේ සෙවණ ඔවුන්ට ලැබිණි. ඇත්ත වශයෙන්ම ඇයට අවශ්‍ය වී තිබුණේ එම දරුවන්ගේ ඥාතීන් කිසිවෙක් ජීවතුන් අතරදැයි සොයාගැනීමට ය. එහෙත් එය සාර්ථක වූයේ නැත. කිසිවකු හට එම දරුවන් හඳුනාගැනීම ට පවා ඇවැසි නොවී ය. අනෙක් අතට, සරණාගත කඳවුරක් තුළ වෙසෙන සියල්ලන් ම අනාථයන් ය. එසේ තිබිය දී අනාථයන් දරුකම හදා ගැනීමට ඉදිරිපත් වන්නේ කවුද..?
දරුවන් අතරින් වැඩිමල් දැරිය දොළොස් හැවිරිදි හනීන් ය. ඇය සිය මවට වෙඩි තබන ආකාරය සියැසින් දැක තිබිණි. ජෝර්දානයට පැමිණි පසු පවා ඒ මතකයෙන් මිදෙන්නට ඇයට හැකි වූයේ නැත. අද පවා ඇයට රාත්‍රියට නින්දක් නැත. ඇගේ සොයුරු සොයුරියන්ට මෙහි පැමිණි පසු සිය ළමා කාලය ඉක්මනින් අහිමි වනු ඇත. මෙවැනි දරුවෝ බොහෝවිට ජීවිකාව ලෙස කුමක් හෝ දෙයක නිතර වීමට පෙලඹෙති. ඒ, වැඩි වශයෙන් ඔවුන්ට මෙහි කළ හැකි දෙයක් නැති නිසා ය. ඒ අතර ම, දවස ගෙවා ගැනීම සඳහා කුමන හෝ දෙයක් කළ යුතු ද වන නිසා ය. ඒ අනුව මේ දරුවන් ඉක්මනින්ම ‘පුංචි ගැහැණු සහ පිරිමි’ බවට පත්වනු ඇත.
කපිතාන් ඈන් ක්ලැරී, ප්‍රංශ ජාතික හමුදා මනෝ වෛද්‍යවරියකි. ඇය දැන් වසර දෙකක් තිස්සේ මේ සරණාගත කඳවුරේ සේවය කරයි. “මේ දරුවන්ගෙන් අති බහුතරය කාංසාවෙන් පීඩා විඳීනවා. කාංසාව සමඟ තවත් බොහෝ මානසික රෝගී තත්ත්වයන් ද මතුවෙන්නට පුළුවන්..” ඇය කියන්නීය.
“සමහර දරුවන් ශ්වසන පද්ධතියේ කිසිම ආබාධයක් නැතිවත් හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළෙනවා.. සමහර දරුවන් හිටිහැටියේ වෙවුලනවා. ඔවුන් නිතරම කියන්නේ තමන්ට හිසේ කැක්කුම බවයි.
“මේ ජීවිතය හරියට සිර දඬුවමක් වගෙයි..” සාටාරියා හි වෙසෙන ඇය පවසයි.
“සිරියාවට වඩා මෙහි දේශගුණය කටුකයි. කාන්තාර ප්‍රදේශයක කටුකම්බිවලින් වටවූ බිමක ජීවත් වීම ප්‍රසන්න අත්දැකීමක් නෙවෙයි..” මෙහි වෙසෙන සරණාගතයන් කිසිවකු හට බලධාරීන්ගේ අවසරයකින් තොරව කඳවුරෙන් පිටතට පය තැබීම තහනම් ය.
සාටාරි සරණාගත කඳවුර තුළ පිරිසුදු පානීය ජලයේ විශාල හිඟයක් තිබේ. ජල නළ පවා තිබෙන්නේ කිහිපයකි. එනිසාම ජලය වෙළඳාම් කරන්නන් ද බිහිව තිබේ.
‘සබ්රීන් වතුර සාප්පුව’ බිහිවූයේ ඒ අනුව ය. සිරියාවේ ගැටුම් බහුල දේරා නගරයේ පදිංචිකරුවකු වූ ඔහු අද කෑන් කර මුද්‍රා තබන ලද ජලය ගැලුම් වශයෙන් සරණාගතයන්ට විකුණයි. අම්මාන් අගනුවරින් ගෙන එන ලද ජලය පිරිසුදු කිරීමේ ටැංකි, නළ පද්ධතියක් සහ ශීතකරණ හැර අන් දෙයක් එහි නැති නමුත් ඔහුගේ ජලයට ඉල්ලූම අධික ය. සරණාගත කඳවුර තුළ ශීතකරණ නැති නිසා අයිස් විකිණීමේ ව්‍යාපාරයක් ද ඔහු විසින් පවත්වාගෙන යයි.
කෙදිනක හෝ තමන්ට මවුරට බලා යාමට හැකි වනු ඇතැයි මෙහි වෙසෙන සියල්ලෝම සිතති. එහෙත් වසර දෙකක අනවරත සිවිල් යුද්ධය, ඔවුන් ට පොරොන්දු දේශයක් ඉතිරි කරාවිද? ඔවුන් අදහන දෙවියන් වහන්සේ පවා එය නොදන්නවා විය යුතුය. ජෝර්දාන් කාන්තාරයට සෑම දිනක්ම එක වැනි ය. මැදියම් රැය සහ අලුයම අතර පරතරය පියවමින් ඉක්මනින් හිරු නැඟෙයි. එහෙත් මේ ජීවිතවලට කිසිදා හිරු පායාවිදැයි කිසිවකු දන්නේ නැත.
කියවන්න-
”මායා මෙර්හි” තුර්කියේදී තටු ලද සිරියානු සමනළිය
ලෝක ජනගහනයෙන් මිලියන 68ක් අවතැන්