×

පෘථිවි කේන්ද්‍රයට දෙවන ආසන්නතම ගොඩබිම් ලක්ෂ්‍යය – කෘබෙරා ගුහාව (Krubera Cave)

. 1960 දී සුප්‍රසිද්ධ රුසියානු භූගෝල විද්‍යාඥයෙකු, මහාචාර්යවරයෙකු සහ රුසියානු karstology හි නිර්මාතෘ ඇලෙක්සැන්ඩර් කෘබර් විසින් තමයි මේ ගුහාව සොයාගන්නෙ. ඔහුට උපහාරයක් විදියට මේ ගුහාව ඔහුගේ නමින් නම් කරලා තියෙනවා.


වොරොන්යා හෝ වොරොන්ජා ගුහාව විදියටත් හඳුන්වන මීටර් 2,197 (අඩි 7,208) ක විස්මිත ගැඹුරකින් යුත්, ‘ගුහාවල එවරස්ට්’ ලෙස විරුදාවලී ලද කෘබෙරා ගුහාව තමයි මෙතෙක් දන්නා දෙවන ගැඹුරුම ගුහාව වෙන්නෙ.

මේ ගුහාව පිහිටලා තියෙන්නේ කළු මුහුද අද්දර ජෝර්ජියාවට මායිම් වන කලාපයක් වන අරාබිකා මැසිෆ් (Arabika Massif) වලයි. 1960 දී සුප්‍රසිද්ධ රුසියානු භූගෝල විද්‍යාඥයෙකු, මහාචාර්යවරයෙකු සහ රුසියානු karstology හි නිර්මාතෘ ඇලෙක්සැන්ඩර් කෘබර් විසින් තමයි මේ ගුහාව සොයාගන්නෙ. ඔහුට උපහාරයක් විදියට මේ ගුහාව ඔහුගේ නමින් නම් කරලා තියෙනවා.

ගුහාව සොයා ගත් දා පටන් ගවේෂකයන් සහ විද්‍යාඥයන් ගුහාවේ සත්‍ය ගැඹුරට මැනීමට උත්සාහ කර ඇති අතර 2001 දී Krubera ගුහාව නිල වශයෙන් මිනිසා දන්නා ගැඹුරුම ගුහාව බවට නම් වෙනවා. ඒ මිනුම් අනුව මේ දැවැන්ත ගුහාව මීටර් 1,710 (අඩි 5,610) ගැඹුරකින් යුක්ත වෙනවා සහ, එතෙක් සොයාගෙන තිබූ ගැඹුරුම ගුහාව වූ Lamprechtsofen මීටර් 80 කින් පරදවනවා කියලා වාර්තාව සඳහන් කරනවා.

ඊට වසර තුනකට පස්සෙ මේ ගුහාව පෘථිවියේ මීටර් 2,000 ට වඩා ගැඹුරක් සහිත දන්නා එකම ගුහාව බවට පත්වෙනවා. ඒ යුක්රේනියානු කිමිදුම්කරුවෙකු වන Gennadiy Samokhin 2012 දී ගුහාව එහි වත්මන් වාර්තාගත ගැඹුරට කිමිදී ලබාගත් මිනුම් අනුවයි. සම්පුර්ණයෙන්ම ජලයෙන් යට වූ ප්‍රදේශයක් වන පතුලේ ඇති පතුවළවල් තෙක් කිමිදී කල ගවේෂණය, ලෝක වාර්තා බිඳ දැමූ නිර්භීත ක්‍රියාවක් ලෙස ඉතිහාසගත වෙනවා.

2017 දී , වෙරියොව්කිනා ගුහාව කෘබෙරා අභිබවා ගිය ගැඹුරක් වාර්තා කරන අතර ඒ අනුව කෘබෙරා දෙවන ගැඹුරුම ගුහාව බවට පත් වෙනවා. ඒ වගේම පිවිසීමේ ඇති අති දුෂ්කරතාවය නිසා මෙය ලොව භයානකම ගුහාව ලෙසත් හඳුන්වනවා.

ගවේෂණවලදී ලබාගත් ඡායාරූප වලින් මේ අති විශාල භූගත ගුහාව ආශ්චර්යය පිරුණු තැනක් බව කියාපානවා. ඉහළින් බැලුවම ගුහාව පෙනෙන්නේ එය ඉහළ සිට පෘථිවි මධ්‍යය දෙසට කෙළින්ම ගමන් කරන මාර්ගයක් විදියටයි. නමුත් අභ්‍යන්තර අඳුරේදී එය මිදුණු භූගත දිය ඇල්ලක්, ජලයෙන් පිරී ඇති විවිධ ගැඹුරින් යුත් පතුවළවල් සහ ඉතා පටු උමං මාර්ග සහිත එයටම අනන්‍ය පරිසර පද්ධතියක් බව ගවේෂකයන් පවසනවා. වසර සිය දහස් ගණනක් පුරා ගලා යන ජලය නිසා එහි හුණුගල් බිත්ති ඛාදනය වී ඇති අතර, එයින් අභ්‍යන්තරයේ ලෙන් පද්ධතියක් නිර්මාණය වෙලා තිබෙනවා. ලෝකයේ කෙටිම ගංගාවන්ගෙන් එකක් වන රෙප්රුවා ගඟ ගුහාවෙන් ආරම්භ වී කළු මුහුද දෙසට ගලා යනවා.

1864 දී එලිදක්වන ලද ජූල්ස් වර්න්ගේ “පෘථිවි කේන්ද්‍රයට ගමන” නවකතාව සිහිපත් කරවන කෘබෙරා ගුහාව වසර මිලියන පහකට ආසන්න කාලයක් තිස්සේ නිර්මාණය වෙමින් පවතින අතර එය මෙතෙක් සොයාගෙන ඇති වඩාත්ම කැපී පෙනෙන භූගෝලීය ලක්ෂණ වලින් එකක් වෙනවා. වසර 20 කට වැඩි කාලයක් ගවේෂකයන් කෘබෙරා ගුහාවේ සංකීර්ණ මාර්ග සහ පතුවලවල් අධ්‍යයනය කර, අවසානයේ ගුහා සිතියමක් සකස් කර ඇති අතර, ඔවුන් විශ්වාස කරන්නේ එහි ගැඹුර තුළ තවමත් ගවේෂණය නොකළ ප්‍රදේශ විශාල ප්‍රමාණයක් ඇති බවයි. ඉහළ උන්නතාංශයක පිහිටීම සහ තුනී වායුගෝලය නිසා ඔක්සිජන් හිඟකම, කෘබෙරා ගුහාව ගවේෂණය කිරීම සඳහා බාධාවන් වෙනවා.

ඒ වගේම මේ ස්ථානය බොහෝ දුර්ලභ සතුන්ගේ නිවහනක්. ගුහා පද්ධතිය කාණ්ඩ කිහිපයකට අයත් ආත්‍රපෝඩාවන් විශේෂ 12 කට වඩා වැඩි ගණනකට නිවහන වන අතර පෘථිවියේ මෙතෙක් සොයාගෙන ඇති ගැඹුරුම භෞමික සත්වයා වන Catops cavicis කුරුමිණියා මේ ගුහාවෙන් හමුවෙනවා. ඒ, ගුහා දොරටුවට මීටර් 1,980 (අඩි 6,500) පමණ පහළින් ඇති ඔර්ටොබලගන් නිම්නය අවට ප්‍රදේශයෙන්.

විද්‍යාඥයන්ට සහ එහි භූගත උමං මාර්ග ප්‍රස්ථාරගත කරන කිමිදුම්කරුවන්ට අනතුරක් නොවන පරිදි ගවේෂණය කිරීමට ක්‍රමයක් සොයා ගන්නා තෙක් කෘබෙරා තවත් අභිරහස් ගණනාවක් පොළෝ කුස තුල සඟවාගෙන සුවසේ පසුවෙනු ඇති…

Naturalia Group – පිටුවෙනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි