×

ඉතිහාසයේ ප්‍රථම වතාවට අයිස්වල තිඹිරි ගෙය, ශීත සෘතුවේදීත් මිදී යාම ප්‍රතික්ෂේප කරයි!

ආක්ටික් ගෝලයට අයත් ලැප්ටාව් මුහුද හරිනම් මේ කාලයට සම්පූර්ණයෙන්ම හිම තලාවක් බවට පත් විය යුතුය.


නමුත් එය දැන් හිම මිදීම ප්‍රතික්ෂේප කර තිබේ. මේ ප්‍රමාද වූ ‘සිසිල් මිදීම‘ මගින් ඉඟි කරන්නේ නුදුරු අනාගතයේදීම එහි අනිටු පල විපාක ධ්‍රැව කලාපයෙන් දිස්වීමට පටන් ගනු ඇති බවයි.

‘ශීතනය‘ හෙවත් ‘සිසිල් මිදීම‘.. සෘතු භේදය අනුව, ද්‍රව තත්වයට පත් වූ ආක්ටික් හිම වැස්ම, ශීත සෘතුවේ ආරම්භයත් සමග නැවතත් මිදී යාම හැඳින්වෙන්නේ එසේ ය. නමුත් මෙවර එය අසාමාන්‍ය ලෙස ප්‍රමාද වෙමින් තිබේ.

ලැප්ටාව් මුහුදේ මේ අසාමාන්‍ය හැසිරීමට හේතුව අන් කිසිවක් නොව, උතුරුදිග රුසියාවෙන් වාර්තා වන අසාමාන්‍ය සහ දික්ගැස්සෙන උණුසුම් බවයි. අත්ලාන්තික් සාගර ජලයේ රැළි රටාවන් ද පවතින්නේ වෙනස් වෙමිනි. එ් බව අනාවරණය කරන්නේ ධ්‍රැවාසන්න කලාපයේ රටවල්වලට නුදුරේදීම මෙහි අනිටු විපාක විඳීමට සිදුවනු ඇතැයි අනතුරු අඟවන පර්යේෂක Zachary Lab විසිනි.

මේ කලාපයේ මුහුද, ගතවූ කාලය තුළ සෙල්සියස් අංශක 5 කට ද වඩා රත් වී තිබේ. සෙල්සියස් අංශක දශමයකින් වුවත් ජලය උණුසුම් වීම බරපතළ ගැටළුවකි.

ගතවූ ශීත සෘතුවේ අයිස් දිය වීම වේගවත් වී තිබිණ. එය අසාමාන්‍ය විය. එහි විපත දෙගුණ කරමින් මේ වසරේදී තාප තරංගයක බලපෑමට ද ධ්‍රැව ප්‍රදේශ ලක්විය.

ජල අංශු තුළ සිරවී තිබෙන තාපය සෙමෙන් වායුගෝලයට මුදා හැරීම සාමාන්‍ය ගතියයි. මේ සිරවූ තාපය හඳුන්වන්නේ ‘උගුල්ගත තාපය‘ trapped heat යනුවෙනි.

‘අයිස් නැති ගිම්හානයක්‘ !

‘‘2020, ආක්ටික් කලාපය වේගයෙන් වෙනස් වෙමින් යන තවත් අවුරුද්දක් බවට පත් වෙලා. හරිතාගාර වායු විමෝචනය ක්‍රමිකව අඩු කර නොගන්නේ නම්, අපේ අනාගතය ‘අයිස්වලින් තොර‘ ගිම්හානයක් බවට පත් වේවි.‘‘

ඒ පළමු අයිස්වලින් තොරව ගිම්හානය 21 වන සියවසේදී උදා වීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් කියයි. එය සිදුවනු ඇත්තේ වසර 2030 ත් 2050 ත් අතර කාලයේ ය.

සයිබීරියානු තාප තරංග

මේ වසරේ සයිබීරියානු තාප තරංග, 600 ගුණයක වැඩි බලපෑමක් කරමින් තිබේ. එයට හේතු වී තිබෙන්නේ කාර්මික, කෘෂිකාර්මික වායු විමෝචන බව මේ වසරේ මුල එළිදැක්වුණු පර්යේෂණ පත්‍රිකා සනාථ කරයි.

වායුගෝලය මේ අන්දමින් උණුසුම් වීම තාප තරංග නිසා සිදුවද්දී, දේශගුණික විපර්යාස එයට තවදුරටත් රුකුල් දෙයි. එහි ප්‍රතිඵලයක් ලෙසට අයිස් තට්ටුවලට යටින් පිහිටා ඇති ජල තල වඩාත් උණුසුම් වී තිබෙන්නේ මිදීයාම ප්‍රතික්ෂේප කරමිනි.

ආක්ටික් හිම තලයේ ඇති පරණ අයිස් දැන් තුනී වී අතුරුදන් වෙමින් යයි. එසේත් නැතිනම් ඉතා තුනී තට්ටු ලෙස පමණක් ඉතිරි වෙමින් තිබේ. දැන් ආක්ටික් හිම තලයේ ගනකම, 1980 දශකයේ තිබූ ගනකමට වඩා බාගයකින් පමණ අඩු වී ඇත.

ලැප්ටාව් මුහුද හෙවත් අයිස්වල තිඹිරිගෙය

මෙහිදී ලැප්ටාව් මුහුද මේ නිගමනය ලබාදීම සඳහා තෝරාගෙන තිබෙන්නේ මන්ද යන්න ද පැහැදිලි කළ යුතුය. ලැප්ටාව් මුහුද සැලකෙන්නේ අයිස්වල තිඹිරිගෙය වශයෙනි.

එනම් ශීත සෘතුවේ ආරම්භය පැමිණෙනවාත් සමග ලැප්ටාව් මුහුදේ වෙරළ තීරය දිගේ අයිස් හැදෙන්නට පටන් ගන්නා අතර, ඉන්පසු ඒවා බටහිර දෙසට සාගර දියවැල් ඔස්සේ ආක්ටික් කලාපය පුරා ගෙන යනු ලබයි. ග්‍රීන්ලන්තය සහ ස්ලැව්බාද් අතර පිහිටා තිබෙන ෆ්‍රේම් සමුද්‍ර සන්ධිය වෙතට මෙම අයිස් ගලා යන විටදී වසන්ත සෘතුව උදා වී ඇති හෙයින් ඒවා දියවී යයි.

මේ අනුව, ලැප්ටාව් මුහුදේ අයිස් සැදීමට ප්‍රමාද වන විට සිදුවන්නේ වඩාත් තුනී අයිස් තට්ටුවක් හෝ හිම තට්ටුවක් නිර්මාණය වීමයි. එවිට ඒවා ෆ්‍රේම් සමුද්‍ර සන්ධිය වෙතට ළඟා වීමට පෙරම දියවී යයි. එසේ වූ විට ආක්ටික් සාගරයේ තිබෙන ප්ලැන්ටන් නමැති මුහුදු ශාකයේ සාරය එම අයිස් වතුරට ලැබෙන්නේ අඩුවෙනි. එහි ප්‍රතිඵලය වන්නේ මේ සාගර ජලයට වායුගෝලයෙන් කාබන්ඩයොක්සයිඩ් උරා ගැනීමට ඇති හැකියාව අඩු වන බවයි.

සරල බසින් කියන්නේ නම් වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් උරා ගැනීම ජලය විසින් අඩු කරන විට ජල තලයම සෙමෙන් සෙමෙන් රත් වෙන්නට පටන් ගනියි.

‘‘මේක පුදුම වෙන්න දෙයක් නෙවෙයි..‘‘ එසේ පවසන්නේ සාගර අයිස්වල භෞතිකය පිළිබඳ විශේෂඥයෙක් වන ඇල්ෆ්‍රඩ් වෙග්නර් ආයතයේ ආචාර්ය ස්ටීවන් හෙන්ඩ්‍රික්ස් විසිනි.

‘‘මේක පුදුම වෙන්නට දෙයක් නොව, තැති ගැනෙන්නටත් කම්පාවට පත් වෙන්නටත් කාරණයක්. මේ අනුමානය මීට බොහෝ කලකට කලින් කර තිබුණා… නමුත් ඒකට ලැබුණු ප්‍රතිචාරය ඉතාම දුර්වල එකක්.. අද අපි භුක්ති විඳින්නේ ඒ නොසැලකිල්ලේ ප්‍රතිඵලයයි..‘‘

ජලය ලෝකයේ හොඳම සිසිල් කාරකයයි. මිහිතලයෙන් 2/3 ක් වසා පැතිර තිබෙන මහා සාගර ජල තලය විසින් ලෝකයේ උෂ්ණත්වය අඩු කර දමන්නේ අති දැවැන්ත ලෙස ය. නමුත් දැන් එහි සිසිලකාරක ගුණයත් විනාශ වෙමින් යයි.

ඒ නිසා, මිහිතලය ඒ සා උණුසුම් කළේ කවුදැයි අප විසින් දැන්වත් කල්පනා කර බැලිය යුතුය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි