BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

බ්‍රිතාන්‍යය ජරාවාස කිරීම හෙවත්‘බ්‍රෙක්සිට් පෙන්වා ගෙදර යාම‘

මෙයට දෙදිනකට පෙර (ජූලි 10) එංගලන්තයට හිරු උදා වෙද්දී බ්‍රෙක්සිට් ලේකම් ඩේවිඩ් ඩේවිස් ඉල්ලා අස්වුණේය. එදිනම සවස බ්‍රිතාන්‍ය විදේශ ලේකම් බොරිස් ජොන්සන් ද ඉල්ලා අස්විය.

මේ දෙදෙනාගේ දැකිය හැකි ලොකුම සමාන කම් තුනක් තිබේ. එකක් නම්,  ඔවුන් දෙදෙනාම ‘හාඩ් බ්‍රෙක්සිටියර්ස්ලා‘ හෙවත් බ්‍රෙක්සිට් සඳහා දැඩි සේ සහයෝගය පළ කළ අය ය. ඔවුන් සැලකෙන්නේ Leave campaign හෙවත් බ්‍රිතාන්‍යය වෙන් විය යුතුය යන ජනතා ව්‍යාපාරයේ නියමුවන් ලෙස ය. දෙවැන්න නම් මේ දෙදෙනාම ප්‍රොටෙක්ෂනිසම් (Protectionism) හෙවත් ආරක්ෂණවාදය දැඩි සේ විශ්වාස කරන අය වීම ය. තෙවැන්න නම්, බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වී යාම ප්‍රතික්ෂේප කරමින් මේ වන විට එක්සත් රාජධානිය තුළ ඇති වී තිබෙන ව්‍යාපාරය අඩ පණ කිරීම සඳහා හෝ එයට විරෝධය පළකිරීමක් වශයෙන් මෙසේ ඉල්ලා අස්වීමයි.

වෙන් වී නැසෙන්නට මග කියන බ්‍රෙක්සිට්

බ්‍රෙක්සිට් (Brexit) යන කෙටි නාමය බිඳී එන්නේ බ්‍රිටේන් එක්සිට් (Britain Exit) හෙවත් බ්‍රිතාන්‍යය ඉවත්වීම යන වචන දෙකෙනි. බ්‍රිතාන්‍යය ඉවත් වන්නට හදන්නේ සිය දිගුකාලීන ආර්ථික දේශපාලන සගයා වූ යුරෝපා සංගමයෙනි. 2016 ජූනි මාසයේ එක්සත් රාජධානිය, බ්‍රෙක්සිට් සඳහා ජනමත විචාරණය පැවැත්වීය. එහිදී සුළු බහුතරයක් සහිතව ලද අනපේක්ෂිත ජනමතය වූයේ ද බ්‍රෙක්සිට් හොඳ බව ය. එදා බ්‍රෙක්සිට් පෙන්වා සුරපුරයක් මවා, ජනමතය විකල් කළේ බොරිස් ජොන්සන්ලා ඇතුළු පිරිසයි. 2016 වසර ආරම්භය වන විට බොරිස් ජොන්සන් යනු, බ්‍රිතාන්‍යෙය් සිටි ජනප්‍රියම දේශපාලනඥයා විය. ඔහු එන තෙක් ඔහුගේ ආධාරකරුවෝ ද ඡන්ද දායකයෝ ද බ්‍රෙක්සිට් පණ්ඩිත්ලා ද හුරේ දමමින් බලා සිටියහ. බ්‍රිතාන්‍ය කොන්සවේටිව් පක්ෂයට කිසිදා ළඟා විය නොහැකි ගම් නියම් ගම්වලට කොන්සවේටිව්වරුන් ගියේ බ්‍රෙක්සිට් කරපින්නාගත් බොරිස් ජොන්සන් සමග ය. බ්‍රෙක්සිට් නිසා බ්‍රිතාන්‍යය ධනවත් වන බවද, තව ටිකක් ස්වාධීන වන බවද, එන්එච්එස් හෙවත් ලොව පිළිගත් ජාතික සෞඛ්‍ය සේවයට වැඩිපුර මුදල් ලැබෙන බවද, සංක්‍රමණික ගැටළු සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා විශාල පාලනයක් ලැබෙන බවද, යුරෝපය සමග පවතින වෙළඳ බාධකවලින් නිදහස් වන බව ද එදා කියැවුණි.

බොරිස් ජොන්සන්ගේ ඉල්ලා අස්වීම, ආර්ථික අර්බුදයකට මුහුණ පෑම අවම කරමින් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන්වීම සඳහා අගමැතිනී තෙරේසා මේ ගේ කර මත පැටවී ඇති වගකීම මහා බරක් බවට පත් කරයි. බ්‍රිතාන්‍යය තවදුරටත් දේශපාලනික වශයෙන් අඩපණ කරන මෙම සිදුවීම, දක්ෂිණාංශයට ආවඩන යුරෝපය තුළ බ්‍රිතාන්‍යය තවදුරටත් අඩපණ කිරීමට සමත් වනු ඇත. එන පොට හොඳ නැති බව දැනෙන විට, ‘මහා පිපුරුම‘ සිදුවීමට පෙර බොරිස් ජොන්සන් සහ ඩේවිඩ් ඩේවිස් ‘ෂේප් එකේ පැත්තකට වීම“ මගින් පෙන්වා දෙන්නේ අවස්ථාවාදී දේශපාලනයක් වෙනුවෙන් රටක් පාවා දීමේ සුපුරුදු කතාව හැර අන් දෙයක් නොවේ.

ආරක්ෂණවාදයට ආවැඩීම

ආරක්ෂණවාදය හෙවත් ප්‍රොටෙක්ෂනිසම් යනු ලිබරල් ලෝකය තුළ යල් පැන ගිය සංකල්පයකි. එය කෙටිකාලීන ව හොඳ ය. නමුත් දිගු කාලීන ව හොඳක් නැත. ආරක්ෂණවාදය කෙටිකාලීනව ජනතාවට සතුට දනවන්නේ, ‘‘අපිට වෙන අය එක්ක ඩීල් එකක් නෑ, අපි අපේ දේවල් බලාගන්නම්‘‘ යන ප්‍රාථමික අදහස ඒ තුළ ගැබ්ව ඇති නිසා ය. යම් රටක් සැලකූ විට ආරක්ෂණවාදය නඩත්තු කරන විට ඒ රට දියුණු වන බවක් මුලින් පෙනේ. එය කෙටි කාලීන ව සුන්දර ය.

ආර්ථික විද්‍යා බසින් පවසන්නේ නම් එවිට ගෙවුම් ශේෂය (Balance of Payment) පිළිබඳ අර්බුදය වැනි දෑ විසඳා ගත හැකි ය. ගෙවුම් ශේෂ අර්බුදය, ධනවාදය තුළ ලෝකයේ බොහෝ රටවල් අද වන විට මුහුණ පා ඇති ගැටළුවකි. උදාහරණයක් වශයෙන් ඇමරිකා එක්සත් ජනපදය මේ වන විට දැඩි ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ පා සිටියි. චීනය සහ ජපානය සමග ඔවුන්ට විශාල ‘ඇරියස්‘ එකක් කවර් කර ගැනීමට තිබේ. එහිදී චීනය, මීට වඩා විශාල ගෙවුම් ශේෂ අර්බුදයකට ලෝකයේ රටවල් යාම වළක්වා ගනිමින් සිය යුවාන් ඒකකයේ අගය පාලනය කරගෙන සිටින බව ඇමරිකාව අමතක කරයි. ලෝකයට ලිබරල්වාදය බිහිවන්නේම, ආරක්ෂණවාදයට පිළිතුරක් ලෙස බව ද ඔහු හිතාමතාම අමතක කරයි.

අද වන විට ට්‍රම්ප්, බදු (ටැරිෆ්) ඉහළ දැමීම හරහා චීනය සමග වෙළඳ යුද්ධයක් ආරම්භ කර තිබෙන්නේ ඔහු ද ආරක්ෂණවාදයේ රසිකයෙකු වන නිසා ය. සැබවින්ම, ‘මේක් ඇමරිකා ග්‍රේට් අගේන්‘ (ඇමරිකාව නැවත ශ්‍රේෂ්ඨ කරමු) යැයි නොකඩවා මුර ගාන ට්‍රම්ප්, ආරක්ෂණවාදය නඩත්තු කරන්නේ දේශමාමකත්වය සහ ජාතිආලය ඉදිරියට දමමිනි. ඔහු සංක්‍රමණිකයන්ට සිය රටේ දොරගුළු වසා දමන්නේත්, සංක්‍රමණික දරුවන් දෙමාපියන්ගෙන් වෙන් කරමින් ඔවුන් ඇමරිකාවට පැමිණීම තවදුරටත් අධෛර්යමත් කරන්නේත්, සුදු ජාතිවාදය අවුස්සන්නේත් ආරක්ෂණවාදය ද නඩත්තු කර ගන්නට ය. මෙක්සිකානු සංක්‍රමණික අර්බුදය විසඳීමට හිටපු ජනපති බරාක් ඔබාමා පවා යම් වෙහෙසක් ගත්තේය. නමුත් ඔහුට ට්‍රම්ප් තරම් නරුමවාදී වන්නට බැරි විය. සැබවින්ම ට්‍රම්ප් මේ වන විට සංක්‍රමණික අර්බුදය විසඳමින් සිටින විදිය ගැන බලන විට පෙනී යන්නේ, එවැනි තීරණ ගන්නට නම් ට්‍රම්ප් වැනි සිත් පිත් නැති භූතයෙක්ම සිටිය යුතු බව ය. ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගත්විට අන් අයට නින්ද අහිමි වන නමුත් ඔවුන්ට නිදි සුව ලැබේ.

නමුත් ‘කිසිවෙකුට අනෙකා නැතිව ජීවත් විය නොහැකිය සහ එසේ ජීවත් නොවිය යුතුය‘ යන දියුණු ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණය තුළ එය ‘කැත්තට පොල්ල‘ වැනි නොදියුණු තත්වයකි. ඒ බව ට්‍රම්ප්ලාට බොරිස් ජොන්සන්ලාට නොතේරෙන්නේ එහි ආනිශංස ලැබෙන විට තව දශකයක් දෙකක් ගතවන නිසා ය.

රට රටවල් අතර සහයෝගිතාවය බිඳ දැමීම, රටවල් හුදෙකලා කිරීම සහ අවසානයේ අර්බුද තුළ හුදෙකලා වීම ආරක්ෂණවාදයේ නියත ආනිශංසයන් ය. නමුත් ට්‍රම්ප් දැන් ජීවිතයේ 7 වන දශකය ගත කරමින් සිටින මහල්ලෙකි. එනිසා ඔහුට සිය ජීවිත කාලය තුළ එහි ආනිශංස අත්විඳින්නට සිදු නොවනවා වන්නට පුළුවන. එහෙත් රටක නායකයෙකු තීන්දු තීරණ ගත යුත්තේ ඉදිරි පරම්පරා ගැන සිතමිනි. ඉදිරි ලෝකය ගැන සිතමිනි. මේ ලෝකයේ අවාසනාවට, විශේෂයෙන්ම ඒ ඒ රටවල අවාසනාවේ පරිමාණය අනුව ට්‍රම්ප්ලා, බොරිස් ජොන්සන්ලා අද හැසිරෙන්නේ සමස්ත ජාතියටම අවුරුදු හැත්තෑවයි කියා සිතාගෙන ය. අද උපදින- හෙට උපදින එවුන් ගැන වගක් ඔවුන්ට නැත.

කියවන්න- බොරිස් ජොන්සන් විසින් බ්‍රිතාන්‍යය ජරාවාස කළ හැටි (නිව්යෝක් ටයිම්ස් ලිපිය) 


‘Strep A’ නව බැක්ටීරියා ආසාදනය වීමක් හේතුවෙන් එක්සත් රාජධානියේ ළමුන් හය දෙනෙකු මිය යයි.

ප්‍රචණ්ඩත්වය වැපිරීම හා උසිගැන්වීම සම්බන්ධයෙන් මස්ක් කන්යේ වෙස්ට්ගේ ටුවිටර් ගිණුම අත්හිටුවයි.

එක්සත් ජනපදය පකිස්ථාන සන්නද්ධ කණ්ඩායම් සාමාජිකයන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කරයි

චීනය, මාධ්‍ය සඳහා වන ප්‍රවේශය වාරණය කරයි

ස්පාඤ්ඤයට එරෙහි පාපන්දු සටනේ ජය ජපානයට.

නිව් යෝර්ක් සහ සිංගප්පූරුව ලෝකයේ ජීවන වියදම් ඉහළම නගර ලැයිස්තුවේ ඉහලින්ම

කෲර යුද්ධයෙන් අවතැන් වූ යුක්රේනයට සහාය දැක්වීමට එක්සත් ජනපදය සහ ප්‍රංශය ප්‍රතිඥා දේ.

ඇෆ්ගනිස්ථානයේ පාසල් බෝම්බ ප්‍රහාරයකින් 15 දෙනෙකු මියගොස් 20 දෙනෙකුට තුවාල

error: Content is protected !!
error: Content is protected !!