×

ලෝක සරණාගතයන්ගේ දිනයේදී අවතැන් වූ LGBTIQ ප්‍රජාව අනුස්මරණය කරයි

හියුමන් රයිට්ස් කැම්පේන් නම් ගෝලීය මානව හිමිකම් සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හා සමස්ත ලොව පුරාම වසන අවතැන් වූ සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාව අනුස්මරණය කිරීම සිදුකරන ලදී.


ලෝක සරණාගතයන්ගේ දිනය යෙදී තිබුණේ ජූනි මස 20 වන ඊයේ දිනටයි.

ලෝක සරණාගතයන්ගේ දිනයට සමගාමීව, හියුමන් රයිට්ස් කැම්පේන් (Human Rights Campaign: HRC) නම් ගෝලීය මානව හිමිකම් සංවිධානය විසින් ඇමරිකා එක්සත් ජනපදයේ හා සමස්ත ලොව පුරාම වසන අවතැන් වූ සමරිසි, ද්විරිසි, සංක්‍රාන්ති සමාජභාවී, අන්තර්ලිංගික හා ප්‍රශ්ණභාවී (LGBTIQ) ප්‍රජාව අනුස්මරණය කිරීම සිදුකරන ලදී. තම ලිංගික දිශානතිය හෝ ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත ප්‍රචණ්ඩත්වයට මුහුණ පාන, නිවාස හා පුරවැසිභාවය අහිමිවී ගිය, මූලික අයිතිවාසිකම් හා ප්‍රජා අයිතිවාසිකම් අහිමි වී ගිය ලොව නන්දෙස LGBTIQ ගෞරවයෙන් යුතුව මෙහිදී සිහිපත් කරන ලදී.

“ලෝක සරණාගතයන්ගේ දිනයේදී, නිවාස සොයා විදේශ ගත වන හා ප්‍රචණ්ඩත්වය හා හිංසනය හමුවේ අසරණභාවයට පත්වූ ලොව LGBTIQ ප්‍රජාව ආදරයෙන් හා ගෞරවයෙන් යුතුව අද දින සිහිපත් කරමු,” හියුමන් රයිට්ස් කැම්පේන් හි ගෝලීය අධ්‍යක්ෂ ටයි කොබ් පවසා සිටියේය.

“ට්‍රම්ප් හා පෙන්ස් පරිපාලනයෙන් තවදුරටත් ප්‍රචණ්ඩත්වයෙන් මිදී ඇමරිකානු සහය පතමින් පැමිණෙන සරණාගතයන් පිටමං කිරීම සිදුකරන බව පෙනෙන්නට තිබේ. එමෙන්ම, දරුවන් නිර්ලජ්ජිත ආකාරයට දෙමාපියන්ගෙන් වෙන්කිරීමත්, ඔවුන් යටතේ ආරක්ෂාව ලබන LGBTIQ ප්‍රජාවට කෘෘර අන්දමින් සැලකීමත් පෙනෙන්නට තිබේ. අද සහ සෑම දිනයකදීම හියුමන් රයිට්ස් කැම්පේන් වශයෙන් අප ඔබ සමඟ සිටින බව පැවසීමට කැමැත්තෙමු. වෛරය සහ පුහු මානයට රටක් වශයෙන් අප දෙකඩ කිරීමට නොහැකි බව ඔවුනට පෙන්වා දෙමු. අප වෙත පැමිණෙන විදේශික සරණාගතයින් ආදරයෙන් හා අභිමානයෙන් භාර ගැනීමට සූදානම් යන පණිවිඩය ඔවුනට ලබා දෙමු,” කොබ් වැඩිදුරටත් පවසා සිටියේය.  

ඇමරිකානු ආගමන බලධාරීන් විසින් අවතැන් ව ඇමරිකානු-මෙක්සිකානු දේශසීමාවට පුරවැසිභාවය පතා පැමිණෙන විදේශිකයන්ගේ මූලික අයිතිවාසිකම් තවදුරටත් උල්ලංඝනය කරන බවක් දක්නට තිබේ. මෙම මස මුල් කාලයේදී, ඇමරිකානු ආගමන හා රේගු අධිකාරියේ (Immigration and Customs Enforcement: ICE) රැඳෙවියකුව සිටි එල් සැල්වදොර් සිට පැමිණි ජොහානා මෙදිනා නම් විසිපස් හැවිරිදි සංක්‍රාන්ති සමාජභාවී කාත්තාව ඈ නිදහස් කර දින කිහිපයක් යන්නට මත්තෙන් ජීවිතක්ෂයට පත් විය. වාර්තා වන අන්දමට, ඈ ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ බන්ධනාගාර ගත කර සිටි අවධියේ ඈ රෝගාතුර වී සිටීමත්, ඊට ප්‍රතිකාර කිසිවක් ලබා දීමට බලධාරීන් කටයුතු කර නොතිබීමත් නිසාය. මේ අන්දමින් ම 2018 වර්ෂයේදී ද හොන්ඩියුරාස් හි සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා වලින් දිවිගලවා ගෙන පලා ආ රොක්සෑනා හර්න්‍යාන්දෙස් නම් සංක්‍රාන්ති සමාජභාවී කාන්තාව ද බන්ධනාගාර ගත කර සිටියදී ජීවිතක්ෂයට පත්විය.

මෑතකදී සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව හෙලිවී ඇත්තේ, 2012 – 2017 දක්වා කාලය තුළ මෙවන් අසාධාරණ සිරගත කිරීම් නිසා ආබාධිත පුද්ගලයන්, සරණාගතයින් හා LGBTIQ ප්‍රජාවේ පුද්ගලයන් 8400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි. මේ අනුව ඇමරිකාවේ ICE ප්‍රතිපත්තීන් නිසි පරිදි ක්‍රියාත්මක නොවන බවටත්, අක්‍රමිකතා බොහොමයක් පවතින බවටත් හෙලිවී ඇත.

LGBTIQ ප්‍රජාව තුළ බහුල අන්දමින් මෙම ඛේදවාචකයට මුහුණපාන්නේ සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාවය. තම ස්ත්‍රී-පුරුෂ සමාජභාවී අනන්‍යතාව හමුවේ නිවෙස් වලින් පිටමං කිරීම, ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට ලක්වීම, සමාජීය ප්‍රචණ්ඩත්වයට ලක්වීම හා අනන්‍යතාවට ගැලපෙන පරිදි පුරවැසියකු ලෙස ජීවත් වීමේ හැකියාව අහිමි කර තිබීම නිසා සරණාගතයන් ලෙස විදෙස් රට වල පිහිට පැතීම සුලභ කරුණකි. නමුත් සිදුවන්නේ තම දොරකඩ අසල පිහිට පතා පැමිණි විදේශිකයා සිරගත කිරීමත්, එහිදී රෝගාතුර වීමත්, නිසි ප්‍රතිකාරයක් නොලැබීමත් හා අවසානයේ මරණයට පත් වීමත්ය.

ඇමරිකානු ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය ප්‍රචණ්ඩත්වයෙන් හා හිංසනයෙන් පලා යන පුද්ගලයින්ට ඇමරිකා එක්සත් ජනපදයේ සරණාගත සහය ලබා ගැනීම වඩාත් අපහසු වන පරිදි ප්‍රතිපත්ති සම්පාදනය කර ඇත. එමෙන්ම ඔවුන් දේශසීමාවට ඇතුළු වීමද වළක්වා ඇත. මෙමඟින් ගම්‍ය වන්නේ ට්‍රම්ප් පරිපාලනය ඇමරිකාව ගොලීය මානව හිමිකම් සඳහා ලබා දී ඇති සහයෝගය සම්බන්ධයෙන් උසුලා ඇති කීර්ති නාමය පාවා දී ඇති බවය; ලොව පුරා වසන ආන්තික ජනකොට්ඨාශ (LGBTIQ ප්‍රජාව ද ඇතුළුව) පිළිබඳ තැකීමක් සිදු නොකරන බවය.

මේ වන විට, හියුමන් රයිට්ස් කැම්පේන් සංවිධානය අවදානම් තත්ත්ව වලට මුහුණ පෑ මානව හිමිකම් ක්‍රියාකාරීන් ආරක්ෂා කිරීම පිළිබඳ 2019 ෆ්‍රන්ට් ලයින් ඩිෆෙන්ඩර්ස් සම්මාන උළෙල මෙහෙයවීමට දායක වී ඇත. මෙම උළෙල තුළ ටුනිසියාව, ඉන්දුනීසියාව, මලාවි, රුසියාව හා ඩොමිනිකන් ජනරජය ආදී රාජ්‍ය පහක් නියෝජනය කරමින් පැමිණි මානව හිමකම් ක්‍රියාකාරීන් පස් දෙනෙකු සම්මානයට පාත්‍ර විය. ඒ තුළ ඔවුන් ලොව වටා සිටින LGBTIQ පුද්ගලයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් අවදානම් තත්ත්වයන් හීදී පවා සිදුකර ඇති අනුපමේය කර්තව්‍යය ඇගයීමට ලක් කරන ලදී.

ජූනි 20 වන දිනට යෙදී ඇති ලෝක සරණාගතයින්ගේ දිනය මුල්ම වරට කැඳවනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සරණාගතයන් පිළිබඳ ඒකකය (UNHCR) විසින් 2000 වර්ෂයේදී ය. UNHCR දත්ත වලට අනුව, දැනට යුධමය තත්ත්ව, ප්‍රචණ්ඩත්වය, ස්වභාවික ආපදා, ත්‍රස්තවාදය ආදී කරුණු මත ලොව පුරා අවතැන් වී ඇති පිරිස මිලියන 69 ක් පමණ වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි