×

නිව්ගිනියාවෙන් හමුවූ සැබෑ ලෝකයේ පිනෝකියෝ

පිනෝකියෝ ව හමුවුණේ සත්ව විද්‍යාඥයන්ට ය. නිව්ගිනියාවේ කඳුකරබද කැලෑවකිනි.


මේ හාදයාගේ නාසය අසාමාන්‍ය ලෙස දිගු වී තිබෙන්නේ ඉතාලි ජාතික කාලෝ කොලොඩි (Carlo Collodi) විසින් 1883 වසරේදී ලියූ ‘පිනෝකියෝගේ වීරක්‍රියා‘ (The Adventures of Pinocchio) කතාවේ එන, බොරුවක් කී විට නාසය දිගු වන ලී බෝනික්කාව අපට සිහිගන්වමිනි.

metro.co.uk

විද්‍යා ලෝකය කුල්මත් කළ මේ සොයාගැනීම, Pinocchio frog ගැන ය. එනම්, ‘පිනෝකියෝ ගෙම්බා‘ ගැන ය. සාමාන්‍ය ව්‍යවහාරයට අනුව නම් ඔහු ‘ගස් ගෙම්බෙකි‘. අතිශය කුතුහලයක් ඔහුගේ මුහුණෙන් දිස් වේ. මේ නවතම ගෙඹි විශේෂය සොයාගත් විද්‍යාඥයෝ පසුව මෙසේ කීය. ‘‘ඇත්ත වශයෙන් අපි ඔහුව හොයාගත්තා කියනවාට වඩා, ඔහු අපිව හොයාගත්තා කීවොත් නිවැරදියි!“.

පිනෝකියෝ නමැති ගෙඹි හාදයා ගැන කියන විට කියන්නට තවත් වැදගත් කතාවක් තිබේ. එනම්, මේ නවතම ගෙඹි විශේෂය මුලින්ම විද්‍යාඥයන්ගේ ඇස ගැටුණේ 2008 වර්ෂයේදී බව ය. ඔස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් කෞතුකාගාරය සහ ග්‍රිෆිත් සරසවිය යන ආයතන දෙකෙහිම සේවය කරන පෝල් ඔලිවර් (Paul Oliver) ඇතුළු කණ්ඩායම එක වරම නිව්ගිනියාවේ වනයක් තුළ දැක තිබෙන්නේ ෆෝජා කඳුකරයේ ජීවී විවිධත්වයෙන් අතිශයින්ම පොහොසත් වැසි වනයේ සිට මහත් කුතුහලයෙන් තමන් දෙස බලා සිටින නහය දිග හාදයෙකි. විද්‍යා ලෝකයේ නව ජීවී විශේෂයක් සොයාගත් විට අනුගමනය කළ යුතු සංකීර්ණ සහ බැරෑරුම් ක්‍රියාදාමය අනුව මේ විද්‍යාඥයන්ගේ මීළඟ එකොළොස් අවුරුද්දම ගෙවී ගියේ, මෙය කිසියම් විකෘති මැඩියෙකු නොව, නව ගෙඹි විශේෂයක් බව විද්‍යාත්මකව තහවුරු කර ගැනීම සඳහා ය.  

මේ වන විට සත්ව විද්‍යා ලෝකය විසින් මේ පිනෝකියෝ හාදයාට ගැළපෙන හොඳම විද්‍යාත්මක නාමය ද ලබා දී තිබේ. එය වන්නේ ‘ලිටෝරියා පිනෝකියෝ ‘ Litoria pinocchio ය. ජීව විද්‍යාත්මක නාමකරණය අනුව මේ අනුව මේ අමුත්තාගේ විශේෂ නාමය ‘ලිටෝරියා‘ වන අතර, ගණ නාමය ‘පිනෝකියෝ‘ ය.

වක් වූ දිගු නාසයන් (spiky noses, or rostrums) ඇති මේ ආකාරයේ පිනෝකියෝ හාදයන් රැසක් නිව් ගිනියාවේ වැසි වනාන්තරවල ජීවත් වෙති. විද්‍යාඥ ඔලිවර්, සූටැක්සා නමැති සත්ව ලෝකයේ නවතම සොයාගැනීම් ඇතුළත් වන විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාවේ තවත් පිනෝකියෝලා ගණ 2 ක් අවම වශයෙන් නිව්ගිනියාවෙන් හමු වී ඇති බව සඳහන් කරති.

නිව්ගිනියාව ලෝකයේ දෙවැනියට විශාල දූපත වේ. එහි ලෝකයේ අන් කිසිදු රටකට වඩා ගෙඹි විවිධත්වයක් තිබේ. එනිසාම මේ දකුණුදිග පැසිෆික් දූපත උභයජීවීන් ගැන උනන්දුවක් දක්වන විද්‍යාඥයන් අතර ප්‍රචලිතව තිබනේනේ ‘අයිලන්ඩ් ඔෆ් ඔපචුනිටි‘ හෙවත් ‘අවස්ථාවේ දූපත‘ යනුවෙනි.

නැෂනල් ජියෝග්‍රැෆික් සඟරාව සඳහන් කරන අන්දමට ලෝකයේ ලොකුම සහ වැඩිම ජීවී විවිධත්වයක් ඇති ඇමසන් වැසි වනාන්තරයේ තරමටම නිව්ගිනියාවේ වැසි වනාන්තරවල ගෙඹි සහ මැඩි විශේෂ ජීවත් වෙති. නව ගෙඹි විශේෂ සොයායන පර්යේෂකයන්ට සිය පර්යේෂණ සඳහා ලෝකයේ ඇති හොඳම ස්වභාවික විද්‍යාගාරය මෙයයි.

නමින් පිනෝකියෝ වුවත් මේ ගස්ගෙඹි හාදයා නම් අපට කියා තිබෙන්නේ බොරුවක් නොවේ. එනම් ඔහුගේ නාසය දිගු වී තිබෙන්නේ බොරුවක් කියන නිසා නොවේ. ප්‍රබන්ධ ලෝකයේ පිනෝකියෝගේ මෙන්ම නාසය දිගු වී ඇතත්, සැබවින්ම ඔහු අපට සොබාදහම ගැන අසිරිමත් ඇත්තක් කියා දෙයි. එය නම්, මිනිස් පහසින් සැඟවුණු ඝන වනාන්තරවල තවමත් මිනිසාගේ පරීක්ෂණ හෝ නිරීක්ෂණවලට විෂය නොවන මහා ජීව සම්පතක් සැඟවී නිසොල්මනේ ගිමන් හරින බව ය. නිව් ගිනියාව මේ අහිංසකයන්ට සුරැකි දෙව් විමනකි. මතු පරපුර වෙනුවෙන් එය රැක ගැනීමේ පණිවුඩය ද පිනෝකියෝ හරහා විද්‍යා ලෝකය අපට නැවත වරක් සිහිපත් කර දෙයි.

ප්‍රධාන ඡායාරූපය – PHOTOGRAPH BY TIM LAMAN, NAT GEO IMAGE COLLECTION



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි