×

ලෝකයේ දීර්ඝතම නොනවතින මගී ගුවන් ගමන සාර්ථකයි – එක දිගට පැය 19 ක්

ලෝකයේ දීර්ඝතම නොනැවතෙන මගී ගුවන් ගමන පසුගියදා ක්වන්ටාස් ගුවන් සේවය විසින් සාර්ථක ලෙස සිදුකරන ලදී.


ඔස්ට්‍රේලියාවේ ක්වන්ටාස් ගුවන් සේවය විසින් ලෝකයේ දීර්ඝතම නොනැවතෙන (නන්ස්ටොප්) මගී ගුවන් ගමන සාර්ථක ලෙස නිම කළේය.

මේ අනුව බෝයිං වර්ගයට අයත් Boeing 787-9 යානය මිනිසුන් 49 දෙනෙකු සමග පැය 19 ක් සහ විනාඩි 16 ක් උඩු ගුවනේ නොනැවතී පියාසර කළේය. ගුවන් ගමනේ ආරම්භය නිව්යෝක් නුවර වූ අතර, එය කිලෝමීටර 16,200 ක් දුර ගෙවා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරින් ගොඩබැස්සේය.

මේ අනුව මෙය සැතපුම් 10,066 ක ගුවන් ගමනක් විය.

මෙය ඔවුන් විසින් සිදුකර තිබුණේ අත්හදා බැලීමක් ලෙස ය.

එනම්, ගුවන් නියමුවන්, ගුවන් කාර්ය මණ්ඩලය සහ මගීන්ට නොනැවතී කොතරම් වේලාවක් ගුවනින් ගමන් කළ හැකිද සහ, එමගින් සිදුවන බලපෑම පිළිබඳ අධ්‍යයනය කිරීමේ පර්යේෂණයක කොටසක් ලෙස ය. මේ නිසා මෙම පියාසැරිය යම්කිසි අවදානමකින් ද යුතු එකක් විය.

ලබන මාසයේදී ක්වන්ටාස් ගුවන් සමාගම, මෙවැනිම නොනවතින ගුවන් පියාසැරියක් ලන්ඩන් නුවර සිට සිඩ්නි බලා සිදුකිරීමට බලාපොරොත්තු වෙයි. වසර 2019 අග භාගය වන විට මෙම දිගු දුර – නොනවතින ගුවන් සේවා ආරම්භ කළ හැකිදැයි සොයාබැලීමට ක්වන්ටාස් ගුවන් සේවය අදහස් කරයි. එය සාර්ථක වුවහොත් ලෝකයේ නිත්‍ය ගුවන් සේවා කාලසටහන් අතරට වසර 2022 දී හෝ 2023 දී පැය 20 ක් හෝ ඊටත් වඩා වැඩි දිගු දුර ගුවන් සේවා නිත්‍ය වශයෙන්ම ආරම්භ වනු ඇත.

ලෝකයේ ඉතා ඈතින් පිහිටා තිබෙන රටකට සංචාරය කිරීමේදී මේ වන විට සිදුව තිබෙන්නේ ගුවන් යානා කිහිපයකින් එම ගමන සම්පූර්ණ කරන්නට ය. එහිදී මගීන්ට ගුවන් තොටුපොළවල විශාල කාලයක් රැඳී සිටීම, මීළඟ ට්‍රාන්සිට් ගුවන් යානය අතපසු වීමේ සම්භාවිතාව අධික වීම වැනි දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදු වේ.

මේ නිසා ක්වන්ටාස් ගුවන් සේවය විසින් පිහිටුවා තිබෙන්නේ අනාගත ගුවන් ගමන් සඳහා වන ඓතිහාසික වාර්තාවකි.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ මේ දක්වා ලෝකයේ භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ගුවන් යානාවක් පවා මෙතරම් දුරක් තනි ගුවන් ගමනක් ලෙස සිදුකර නොමැති බවයි.

මෙහිදී ක්වන්ටාස් ගුවන් සේවය, යානය අතරමගදී ගොඩබෑමක් සිදුනොවන නිසා විශේෂ උපක්‍රම කිහිපයක් භාවිතා කර තිබිණි. ඒ අනුව, ඉන්ධන ටැංකියට උපරිම ලෙස ඉන්ධන ගබඩා කර ගැනීම සහ බැගේජ් සීමා කිරීම, භාණ්ඩ ගෙන නොයාම වැනි පියවර ගෙන තිබිණි.

Qantas Boeing 787 Dreamliner plane landS at Sydney international airport after completing a non-stop test flight from New York
Boeing 787-9 යානය සිඩ්නි ගුවන් තොටුපොළ වෙත ජයග්‍රාහී ලෙස පැමිණි අවස්ථාව
AFP/HANDOUT

මගීන් සඳහා විශේෂ සූදානමක්

jetlag ලෙස හඳුන්වන, ගුවන් ගමනකින් පසුව ඕනෑම මගියෙකුට දැනෙන සහ දීර්ඝ ගුවන් ගමනකින් පසුව දැඩි වශයෙන් දැනෙන අපහසුතාවය අවම කර ගැනීම සඳහා ක්වන්ටාස් ගුවන් සේවය කල් තබාම උපදෙස් නිකුත් කර තිබිණි. ඒ අනුව, මගීන්ට ඔවුන්ගේ අත්ඔරලෝසුවල වේලාව සිඩ්නි වේලාවෙන් තබාගැනීමට උපදෙස් දෙන ලදී. ඉන්පසුව නැගෙනහිර ඔස්ට්‍රේලියාවට අඳුර වැටෙන තෙක්ම කිසිදු මගියෙකුට ගුවන් යානය තුළ නින්දට නොවැටෙන ලෙසට ද ඔවුන් විසින් උපදෙස් ලබා දී තිබිණි.

ගුවන් ගමන ආරම්භ වී පැය 6කට පසුව මගීන්ට අධි කාබෝහයිඩ්‍රේට ආහාර වේලක් ලබාදීම සිදුවිය. අනතුරුව යානයේ විදුලි පහන් අඩ වශයෙන් නිවා දමා ඔවුන්ට නින්දට සුදුසු පරිසරයක් නිර්මාණය කිරීම සිදුවිය.

මෙයට අමතරව මගීන් ලවා ගුවන් යානාව තුළදී ව්‍යායාම පංති පැවැත්වීම ද සිදුවිය. කාල කලාප (ටයිම් සෝන්ස්) රාශියක් පසුකර යන විට මිනිස් ශරීරවල සිදුවන වෙනස්කම් නිරීක්ෂණය සහ අධ්‍යයනය කිරීම සඳහා මෙම දත්ත යොදාගැනීම ද සිදුවිය.

ගුවන් නියමුවන් ගැන නිරන්තර සෝදිසියෙන්

ගුවන් නියමුවන්ගේ මොළයේ තරංගවල ක්‍රියාකාරිත්වය, ඔවුන්ගේ මෙලටොනින් මට්ටම් සහ මනසේ අවදිය තහවුරු කර ගැනීම සඳහා විශේෂ පරීක්ෂා නිරන්තරව සිදුකරනු ලැබිණි.

ක්වන්ටාස් සමාගම් සමූහයේ විධායක අධ්‍යක්ෂ ඇලන් ජොයිස් පැවසුවේ ‘මිනිසුන් පෘථිවියේ එක් පැත්තක සිට අනෙක් පැත්තට පියාසර කරන විට ඔවුන් ප්‍රතික්‍රියා කරන්නේ කෙසේදැයි හඳුනා ගැනීමට මෙය හොඳම අවස්ථාවක් බව‘යි.

එදාමෙදාතුර සිදුකළ ලෝකයේ දීර්ඝතම නොනවතින පියාසැරි

flights

මෑත ඉතිහාසය තුළදී දීර්ඝ – නොනවතින ගුවන් ගමන් සේවා සඳහා ගුවන් සේවා සමාගම් වැඩි වශයෙන් උනන්දු වන බව පෙනෙන්නට තිබේ.

පසුගිය වසරේ සිංගප්පූරු ගුවන් සේවය විසින් සිංගප්පූරුවේ සිට නිව්යෝක් නුවර දක්වා පැය 19කට ආසන්න ගුවන් ගමනක නියැළුණේය. කෙසේ නමුත් එය වාණිජ ගුවන් ගමනක් විනා සාමාන්‍ය මගී ප්‍රවාහන ගුවන් ගමනක් වූයේ නැත.

මේ අතර ක්වන්ටාස් ගුවන් සේවය පසුගිය වසරේ පැය 17 ක නොවතින මගී ගුවන් සේවයක් ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට ලන්ඩනය බලා ආරම්භ කළේය. මේ අනුව ඔවුන් විසින් ලෝකයේ දී්ර්ඝතම නොවතින මගී ගුවන් ගමනට හිමි වාර්තාව අලුත් කිරීමක් මෙවර සිදුකර තිබේ.

කටාර් ගුවන් සේවය විසින් ද පැය 17.5ක ගුවන් ගමන් සේවයක් ඕක්ලන්ඩ් සහ දෝහා කටාර් අතර සපයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි