×

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් අත්අඩංගුවට

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක් (Najib Razak) ඊයේ රාත්‍රියේ දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන රඳවා තැබීමෙන් අනතුරුව මේ වන විට අධිකරණයට ඉදිරිපත් කර තිබේ. 


ඔහුට මේ අනුව සාපරාධී විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් චෝදනා 3 ක් ද, බලය අපහරණය කිරීම සම්බන්ධයෙන් එක් චෝදනාවක් ද මේ වන විට ගොනු වී තිබේ. පෙර පැවති නඩු විභාගයේදී ඔහු සියලු චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඇප මත මුදා හැරිණි. එම ඇප මුදල මැලේසියානු මුදල් එ්කකය වන රිංගිත්වලින්, රිංගිත් මිලියනයක් විය.

දිගු කලෙක පටන් නජීබ් රසාක් හට පැවති දූෂණ චෝදනාවලින් එකක් වූයේ 1MDB නමැති, ඔහු ම පිහිටුවීමට මුල් වූ රාජ්‍ය සංවර්ධන අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් වංචා කර එය සාක්කුවේ දමාගත් බව ය.

නජීබ් ට ධුරය අහිමි වූයේ ලෝකයේ වයස්ගතම අගමැතිවරයා බවට පත්වෙමින් මහතීර් මොහොමඩ් මෙයට මාස දෙකකට පෙර බලයට පැමිණීමත් සමග ය. මෙම අනපේක්ෂිත පරාජයෙන් පසුව ඔහුට විරුද්ධව නව විමර්ශනයක් ආරම්භ කෙරිණි. ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගැනීම සිදුවූයේ එම විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස ය.

පෙරේදා, එනම් අත්අඩංගුවට ගැනීමට පෙර දිනයේ ට්විටර් හරහා වීඩියෝවක් පෝස්ට් කරමින් නජීබ් මහජනයාගෙන් ඉල්ලීමක් කර තිබුණේ ඔහුට විරුද්ධව පළ වන වාර්තා විශ්වාස නොකරන ලෙස ය. සියලු චෝදනා සත්‍ය නොවන බවත්, තමන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට අවස්ථාවක් නොලැබුණු බවත් එහි සඳහන් කර තිබිණි.

මෙම චෝදනාවලට වරදකරු වුවහොත් හිටපු අග්‍රාමාත්‍යවරයා වසර 20 දක්වා වූ සිර දඬුවමකට යටත් කෙරෙනු ඇත. නඩු විභාගය පැවැත්වෙන ක්වාලාලම්පූර් මහාධිකරණය අවට නජීබ්ගේ ආධාරකරුවන් සිය ගණන් දෙනා රැස්ව සිටියහ.

මහතීර් මොහොමඩ් බලයට පැමිණීමෙන් පසු නජීබ්ට එරෙහිව තිබූ විමර්ශනය නැවත ආරම්භ වූ අතර නජීබ් හට රටින් පිටවීම ද තහනම් කෙරිණි. ගතවූ සති කිහිපය තුළ නජීබ් සහ ඔහුගේ බිරිඳට අයත් නිවාස වැනි දේපළ කිහිපයක් සෝදිසියට ලක් වූ අතර, එහිදී ඩොලර් මිලියන 273 ක් වටිනා රන් භාණ්ඩ ඇතුළු මිලාධික භාණ්ඩ රාශියක් සොයා ගැනිණි. එය මැලේසියානු ඉතිහාසය තුළ සොයාගත් වටිනාකමෙන් අධිකතම වැටලීම් බඩු තොගය වශයෙන් සැලකෙයි.

මේ සම්බන්ධයෙන් නජීබ් කියා තිබුණේ ඒවායින් බහුතරය තමන්ට තෑගි වශයෙන් ලැබුණු ඒවා බවත්, ඉතිරිය ඔහු විසින් මිලදී ගත් ඒවා බවත් ය.

1MDB නමැති අරමුදල 2009 වසරේ පිහිටුවනු ලැබුවේ ක්වාලාලම්පූර් අගනුවර රටේ මූල්‍ය සහ ආයෝජන අගනගරය බවට පත් කිරීමේ අරමුණිනි. උපාය මාර්ගික ආයෝජන එහි තේමාව වශයෙන් සැලකිණි. නමුත් 2015 වසර වනවිට එය ඇමරිකානු ඩොලර් මිලියන 11 ක් තරම් දැවැන්ත මුදලක් බැංකු සහ කොටස්කරුවන්ට ගෙවීම පැහැර හැරි බවට වාර්තා පළ වන්නට විය.

පසුව වෝල් ස්ට්‍රීට් ජර්නලය කියා තිබුණේ එම අරමුදලින් ඩොලර් මිලියන 700 ක මුදලක් නජීබ්ගේ පුද්ගලික බැංකු ගිණුමට යැවූ බවට සාක්ෂි තිබෙන බවයි.

වයස අවුරුදු 93 ක් මහතීර් මොහොමඩ් මෙවර මහමැතිවරණයෙන් කැපී පෙනෙන ජයග්‍රහණයක් ලබාගැනීමට ද නජීබ් ලක් වූ මෙම දූෂණ චෝදනා හේතු වූ බව දේශපාලන විචාරකයන්ගේ මතයයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි