ඇගේ නම මරිජුවානා පෙප්සි. හරි නම් ඇය කළ යුතුව තිබුණේ යමක් කමක් තේරෙන වයසේදීම තමන්ගේ නම වෙනස්කර ගැනීමයි. නමුත් ඇය එසේ කළේ නැහැ. ඒ වෙනුවට වෙනත් දෙයක් කළා.
තමන්ගේ නම නිසාම දහසක් වධ වේදනා, හිරිහැරවලට සමාජයෙන් මුහුණ දුන් ඇය, PhD උපාධිය සාර්ථකව නිම කර ආචාර්යවරියක් බවට පත් වුණා.
මේ ඇගේ කතාව.
මරිජුවානා පෙප්සි වැන්ඩික් ගේ ළමා කාලය ගැන ඇගෙන් ඇහුවොත්, ළමයින්ගේ හා සමස්ත සමාජයේ උසුළු විසුළු වලට තමන් ලක් වූ හැටි ගැන ඇර වෙනත් මතකයක් ඇයට නැහැ.. ‘‘ඕකත් නමක්ද?“ ‘‘ඔයගෙ නම මරිජුවානාද පෙප්සිද?“ ලෝකයේ ප්‍රකටම මත්ද්‍රව්‍යයක් සහ ලෝකයේ ප්‍රකටම බීම වර්ගයක සන්නාමයක් ඇගේ නමට තැබූ දෙමාපියන්වත් ඇයට මේ තරම් ප්‍රශ්නවලට නම නිසාම මුහුණ දෙන්න සිද්ද වෙයි කියා හිතන්න නැතිව ඇති. ‘‘ඔය නම නිසා නුඹට කවදහරි ලෝකයේ ඉහළටම යන්න පුළුවනි.‘‘ ඇගේ කළු ජාතික මව ඇය කුඩා කාලයෙදි කිව්වේ උජාරුවෙන්. නමුත් ඒ නම නිසාම ඇය කී වතාවක් සිත රිදවාගෙන හඬන්නට ඇතිද?
කොහොම වුණත් මරිජුවානා පෙප්සි තීරණයක් ගත්තා. අද වන විට වයස අවුරුදු 46 ක ආචාර්යවරියක් වන ඇය, තමන්ගේ පර්යේෂණයේ ආචාර්ය උපාධි නිබන්ධනයට තෝරාගත් මාතෘකාව අපූරු එකක්. ඒ මාතෘකාව වුණේ ‘‘කළු ජාතිකයන්ගේ නම් සහ, ඇමරිකා එක්සත් ජනපදය තුළ ඔවුන්ගේ අධ්‍යාපනයට එයින් ඇති වන බලපෑම‘‘
තමන්ට තියෙන නමේ මොකක් හරි ප්‍රශ්නයක් තිබෙන බව මරිජුවානා පෙප්සිට මුලින්ම තේරුණේ වයස අවුරුදු 9 දියි. ඇය පාසල් ගියේ විස්කොන්සින් පළාතෙ. ලමයි විතරක් නෙවෙයි, ගුරුවරු වුණත් නිතර නිතර ඇගෙන් නම මොකක්ද කියල අහන්න පටන් ගත්තා. නමක් එක සැරයක් කිව්වම මතක තියාගන්න පුළුවන්. හැමදාම, එකම කෙනා, ඇගෙන් නම අහන්නෙ ඒකෙන් නරුම විනෝදයක් ලබාගන්න බව ඇය තේරුම් ගත්තා. සමහර වෙලාවට ගුරුවරු ඇයට මෙහෙම කියනවා. ‘‘ඔයාගෙ නම කියන්න පැටියෝ…!‘‘ ‘‘මරිජුවානා විතරක් තිබ්බ නම් තව කමක් නෑ. ඒකට පෙප්සි කියලත් එකතු වුණාම…!“
‘‘ඉස්කෝලෙ අය ඇහුව අපි ඔයාට මේරි කියන්නද කියලා..“ තවත් මතකයක් ආචාර්ය මරිජුවාන පෙප්සි ආවර්ජනය කරනවා. ඇයට පාසලේ පැවැත්වුණු ස්පලෙිං බී තරගයෙන් සහතිකයක් ලැබුණා. ඇය එය ගිහින් ඇගේ අම්මාට දුන් විට අම්මා සහතිකය අල්ලා වහලයේ ගෑවෙන්න විසි කළා. සතුටින් නෙවෙයි, තරහෙන්. ඒකෙ ඇගේ නම ලියල තිබුණෙ ‘මේරි ජැක්සන්‘ කියලයි.
ඇය පවසන අන්දටම මේ නම නිසා ඇතැම් අවස්ථාවල පාසලේ ප්‍රාථමික අංශයේ ගුරුවරුන්ගේ අනුකම්පාව සහ ආදරය ඇයට ලැබුණා. නමුත් උසස් පාසලට ඇතුල් වුණාම තත්වය වෙනස් වුණා. ඇය ගැටවරයන්ගේ විතරක් නෙවෙයි, තරුණියන්ගේත් උසුළුවිසුළු වලට ලක්වුණා.
ඇය ඒ අසාධාරණයට විරුද්ධව කොහොම හරි ලෝකයේ ඉස්සරහට යන බව හිතුවා. අන්තිමට පසුගිය මාසයේ විස්කොන්සින් ප්‍රාන්තයේ Cardinal Stritch සරසවියෙන් ඇය ආචාර්ය උපාධිය ලැබුවා. ඇගේ නිබන්ධනයේ මාතෘකාව වුණේ “Black names in white classrooms- teacher behaviours and student perceptions”.
ඇය ඇකඩමීය විදිහට මේ ගැටළුවේ වෙනත් මානයන් කෙරෙහිත් යොමු වුණා. උදාහරණයක් විදිහට ඇගේ නම නිසා ඇයට විඳින්නට සිදුවන හිරිහැර ඇය හොදින්ම දැන සිටියා. නමුත් ඇගේ නම ඇසෙන විට සෙස්සන්ටත් යම් බලපෑමක් සිදුවන බව ඇය සිතන්නට පටන් ගත්තා. ඒ බලපෑම කුමක්දැයි විග්‍රහ කර ගත යුතුයි.
ඇය වෘත්තියෙන් ගුරුවරියක්. පාසලට ගිය පළමු දිනයේදී ඇය තමන්ගේ පාසලේ සිසු සිසුවියන්ගේ නම් ලැයිස්තුව ලබා ගත්තා. ඒ නම් ලැයිස්තුව දෙස බැලීමෙන් ඇයට කළු ජාතිකයන් කවුදැයි කියන්නට පුළුවන් කම ලැබෙනවා. ඒ ගැන යමක් ලිවිය යුතු යැයි ඇය සිතුවා.
ආචාර්ය මරිජුවානා පෙප්සි විවාහකයි. ඇය ඉලිනොයි ජනපදයේ සිය සැමියා සහ පුතුන් සමග ජීවත් වෙනවා. පාසල් සිසුන්ට උපකාර වන පාඨමාලා සකස් කිරීමේ ද ඇය නිරත වනවා.
‘‘අපි මනුෂ්‍යයන්. මුල් වතාවට අපට නමක් ඇසෙන විට අපි ඒ ඇසුරින් යම් යම් මතයන් උත්පාදනය කර ගන්නවා. විනිශ්චයන්ට එළඹෙනවා. එයින් අප තුළ වෙනසක් ඇති වෙනවා.“
කෙනෙකුට ලැබෙන නම, දෙමාපියන් හෝ වැඩිහිටියන් විසින් ලබාදෙන නම මිස ඒ කෙනාගේ කැමැත්ත ඇතිව ලැබෙන නමක් නෙවෙයි. කොහොම වුණත් ඇගේ මව කී එක අනාවැකියක් හරි ගියා. ආචාර්ය මරිජුවානා පෙප්සි, මේ වන විට මේ නම සහ මේ නමෙන් මිදෙන්නට ඇය කළ අරගලය නිසාම ලෝක ප්‍රසිද්ධයි. ඇතේතෙන්ම එය නමෙන් මිදීමක් නෙවෙයි, තමන්ව තමන් ලෙස පිළිගැනීමක්.