ආර්තවය පවතින කාලයේදී කාන්තාවන්ට නිවසේ මුළුතැන්ගෙය තහනම් කලාපයක් කළ කාලයක් ද ඉන්දියාවේ තිබුණු බව කේරළ මහ ඇමතිවරයා වන පියනරායි විජයන් (Pinarayi Vijayan) සිහිපත් කළා. සබ්රිමාලා පුදබිමේ තිබුණු ඔසප් ස්කෑන් යන්ත්‍රය ඉවත් කරමින්, ස්ත්‍රීන්ට පුද බිමට ඇතුළත් වීමට තිබූ බාධකය ඉවත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයට තමන් අභියෝග කරන්නේ නැති බවත් ඔහු කිව්වා.
‘‘ඉස්සර කාලෙ ආර්තවය හැදුණු කාන්තාවන්ට අපි කුස්සියටවත් එන්න දුන්නෙ නෑ. ඔවුන්ව ඒ කාලයට ගෙදරිනුත් යැව්වා… ඒ ඔවුන් අපිරිසිදු බව සලකමින්. නමුත් අවුරුදු ගණනක් ඇතුළත තත්වය වෙනස් වෙලා. සමාජයේ විවිධ කොටස් ඒ වගේ වැරදි සම්ප්‍රදායන්ට විරුද්ධව විප්ලව කරනවා.,“
කොහොම වුණත් බැතිමතුන්ගේ ඇදහීම් සහ විශ්වාස ආරක්ෂා කළ යුතු බවත්, ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට ආණ්ඩුව සූදානම් බවත් කේරළ මහඇමතිවරයා නැවත නැවතත් කියා සිටියා. සබ්රිමාලා කෝවිලේ සහ පන්ඩලම් පැලස් හි නියෝජිතයන් මේ සාකච්ඡාවලට ආවේ නැහැ. ඔවුන් ඒ ගැන සාකච්ඡා කිරීමටවත් කැමති නැති ගානයි.
භාරතීය ජනතා පක්ෂය කියන්නේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ නායකයත්වය දරන පක්ෂය. බීජේපී හෙවත් භාරතීය ජනතා පක්ෂය මේ වගේ දේවල්වලදී දිව දෙකේ කතා කියන බව කේරළ මහඇමතිගේ අදහසයි.
කේරළ මහඇමතිවරයා ප්‍රගතිගාමී විදිහට එහෙම කිව්වත් කේරළයේ සමස්ත දේශපාලන චිත්‍රය කියන්නේ වෙන මතයක්. කේරළයේ හොඳ වෙලාවට තිබෙන්නේ LDF ආණ්ඩුවක් මිසක් බීජේපී ආණ්ඩුවක් නෙවෙයි. නමුත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කිරීමට කඩිනම් වුණා කියා, භාරතීය ජනතා පක්ෂය මේ වන විටත් කේරළ මහඇමතිවරයාට චෝදනා කරමින් සිටිනවා.
ගෑණුන්ට සබ්රිමාලා පුද බිමට ඇතුල් වෙන්න ඉඩ දුන්නොත් අපේ ක්‍රියාකාරීන් සිය දිවි නසා ගන්නවා – කේරළ ශිව සේනා පක්ෂය මේ අතර පැවසුවා.
භාරතීය ජනතා පක්ෂයත් කේරළය තුළ මේ තීන්දුවට එරෙහිව විරෝධතා පවත්වන්නට පටන් අරන්. නමුත් 2016 වසරේ බොම්බේ මහාධිකරණය විසින් ලබාදුන්, ශානි ෂින්ගපූර් ගමේ කෝවිලට ගැහැණුන්ට ඇතුල් වීමේ අවසරය සහිත නියෝගය, එදා භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ක්‍රියාත්මක කළ බවත් කේරළ මහඇමතිවරයා මෙහිදී සිහිපත් කළා. (ෂානි සින්ගපූර් ගමේ කතාව මෙතැනින් කියවන්න..)
ඉන්දියාවේ ඇදහීමේ නිදහස කියන දේ ජෙන්ඩර් කියන රාමුව ඇතුළෙ විවිධ විදිහට අර්ථකථනය වෙනවා. ඒ නිසාම, ඇදහීමේ නිදහස ගැහැණුන්ට නැත්තේ ඇයි කියන ප්‍රශ්නය සමාජ ගත වී තිබෙනවා. ඉන්දියාවේ දෙවියන් වැඩ සිටිනවා යැයි කියන බොහෝ පුද බිම් තවමත් ගැහැණුන්ට තහනම් කලාප. කේරළයේ සබ්රිමාලා කෝවිලේ ඔසප් ස්කෑන් යන්ත්‍රය ගැන කතාව අලුත්ම තත්වය වුණත්, ඉහත කී අන්දමට 2016 බොම්බේ මහාධිකරණ තීන්දුව වගේම, තවත් අවස්ථා ගණනාවකදී කාන්තාවන් තමන්ගේ සංස්කෘතික හෝ ආගමික නිදහස, ස්ත්‍රී පුරුෂ බෙදීම නිසා අහිමි නොකළ යුතු බව කියමින් අරගල කළා.
ඒ වගේ අයිතිවාසිකම් දිනාගැනීම්වලට තවමත් සාමාන්‍ය ඉන්දීය සමාජයේ ලැබෙන්නේ පසුගාමී පිළිගැනීමක්. ශිවසේනා පක්ෂය, භාරතීය ජනතා පක්ෂය වැනි ඉන්දීය දේශපාලනයේ ප්‍රබල බලවේග තවත් සටන්කරන්නේ ගතානුගතිකත්වය ආරක්ෂාකර ගැනීමේ අරමුණින්.
ඒ වගේම ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට තත්වය වෙනස්. උදාහරණයක් විදිහට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ දර්ගා කෝවිලට (හජි අලි දර්ගා) සෑම කාන්තාවකටම වයස් භේදයකින් තොරව ඇතුල් වෙන්නට පුළුවන්. නමුත් මේ නිදහස කේරළයේ ගැහැණුන්ට නැහැ.
පසුගිය සතිය පුරාව සබ්රිමාලා කෝවිලට ඔසප් හැදුණු ගැහැණුන්ටත් ඇතුළු විය හැකි බවට වූ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාවට නැංවීමට එරෙහිව රට පුරාම උද්ඝෝෂණ ගණනාවක් දැක ගන්නට ලැබුණා.
මේ උද්ඝෝෂණවල දැකගත හැකි වුණු තත්වයක් වුණේ, කාන්තාවන්ම මේ උද්ඝෝෂණවලට සහභාගි වී සිටීම.
ඒ වගේම ජාතික අයියප්පා බැතිමතුන්ගේ සංගමයේ සභාපති ශීලජා විජයන් කියා සිටියා, අයියප්පා දෙවියන් (Lord Ayyappa) ඇදහීම සඳහා කාන්තාවන් සම්බන්ධයෙන් පැවතුණු වයස් සීමාව ඉවත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත්කිරීමට සූදානම් වන බවත්. එම පෙත්සමෙන් ඔවුන් බලාපොරොත්තු වන්නේ, අයියප්පා දෙවියන්ගේ මිලියන ගණනක් වන බැතිමතුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවුණු බව ඔප්පු කරන්නටයි!. මේ ලෝකයේ සිටින ලොකුම නීතිවිද්වතාට වුණත් ජනතාවගේ විශ්වාසයන්ට අභියෝග කරන්න බැහැ කියා ඔහු පැවසුවා.
ඔවුන් කියන මේ අයියප්පා දේවාලය පිහිටා තිබෙන්නේ සබ්රිමාලාව තුළයි. ඒ නිසා, දැන් පෙනෙන්නට තිබෙන හැටියට, සබ්රිමාලාවේ කතාව තවත් දුරදිග යන්නට නියමිතයි. ඉන්දියාවේ පුරුෂ මූලික සමාජය තවමත් කාන්තාවන්ගේ ආර්තවය කියන ජීව විද්‍යාත්මක කතාව, කිල්ලක් විදිහට සලකමින් ගැහැණුන් නිසා ‘දේව උදහසට‘ ලක් වන්නට බයයි. සබ්රිමාලා නඩු තීන්දුවට එරෙහිව පාරට බසින සියලු පිරිමින්, ඒ නිසා පසුගාමී පුරුෂෝත්තමයන් විදිහට හැඳින්වීමේ කිසිම වරදක් නැහැ.
පෙර ලිපිය