×

‘‘බිල් ක්ලින්ටන් මගෙන් සමාව ගත යුතුයි!“ – මොනිකා ලෙවින්ස්කි

මේ බිඳුණු ගැහැණියකගේ හදවත කතා කරන හෝරාවද..?


මොනිකා ලෙවින්ස්කි-ක්ලින්ටන් අපවාදය ඇමරිකානු දේශපාලන ඉතිහාසය තුළ සන්ධිස්ථානයක් සටහන් කළේ, ධුරය දරමින් සිටියදී අයථා ලිංගික හැසිරීම්වල යෙදීම ජනාධිපතිවරයකෙුට කොතරම් නොමනාද යන්න ගැන සංවාදයක් සහ පූර්වාදර්ශයක් ලබාදෙමිනි.

එදා 49 හැවිරිදි ඇමරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් සහ 22 හැවිරිදි ධවල මන්දිරයේ ආධුනික සේවිකාව අතර 1995-97 අතර කාලසීමාවේ පැවති ලිංගික සබඳතාවය හෙළිදරව් වූයේ 1998 වසරේදී ය. 1998 ජනවාරි මාසයේ බිල් ක්ලින්ටන් රූපවාහිනී සාකච්ඡාවකදී පැවසුවේ තමන් ‘‘අර ගැහැනිය, ලෙවින්ස්කි සමග ලිංගික ඇසුරක් පැවැත්වූයේ නැති බව‘‘ ය. නමුත් එයින් පලක් වූයේ නැත. අවසානයේ ඇමරිකානු පාර්ලිමේන්තුවේ නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඔහුව දෝෂාභියෝගයකට ලක් කළේය. දින 21 ක සෙනෙට් විමර්ශනයකට ද ලක්වන්නට ඔහුට සිදුවිය.ඔහු පසුව සියලු වැරදි පිළිගත්තේය.

ලෙවින්ස්කි අරබයා වැරදි සාක්ෂි දීම ගැන සිවිල් නඩුකරයකට ද යටත් වන්නට ඔහුට සිදුවිය. විනිසුරු සුසාන් වෙබර් රයිට් ඔහුට ඩොලර් 90,000 ක දඩයක් ද නියම කළාය. ආර්කැන්සාස් ජනපදය තුළ නීතීඥ වෘත්තියේ යෙදිය නොහැකි වන පරිදි ඔහුගේ නීතීඥ බලපත්‍රය වසර 5කට අහෝසි කෙරිණි. එසේම ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පෙනී සිටීමටද ඔහුට ඒ සමගම තහනම් කෙරිණි.

biobiochile

biobiochile

බිල් ක්ලින්ටන්ගේ ජීවිතය උඩු යටිකුරු කළ මොනිකා ලෙවින්ස්කි හට දැන් නැවතත් ඒ අතීතය ගැන කතා කිරීමට අවස්ථාවක් ලැබී තිබේ. ඒ, කොටස් 6 කින් යුත් වාර්තා චිත්‍රපට මාලාව The Clinton Affair වෙත පැය 20 ක සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිනි. වසර 20කට පෙරාතුව ඇගේ ජීවිතය පීලි පැන්නවූ අපවාදය හේතුවෙන් ඇය ගත කළ ජීවිතය සහ, ඇගේ පැත්තෙන් ඇගේ කතාව මේ තුළින් ඇය හෙළිදරව් කරන්නීය.

අද වන විට මොනිකා ලෙවින්ස්කි හිංසනයට විරුද්ධව සටන් වදින ක්‍රියාකාරිනියකි. ඇමරිකාවේ #MeToo සමාජ ව්‍යාපාරයේ ද ඇය ප්‍රබල හඬක් නංවමින් සිටියි.

“Bye-bye, Lewinsky scandal,” යනුවෙන් ඇය පසුගිය සතියේ වැනිටි ෆෙයා සඟරාවට ලිපියක් ලියුවාය. ඒ, මෙම වාර්තා වැඩසටහනට දායකත්වය ලබාදීමට ගත් තීරණය විග්‍රහ කරමිනි. ‘‘මං හිතන්නෙ අවුරුදු 20 ක් හොඳටෝම ඇති…“

මෙම වාර්තා වැඩසටහන් මාලාවේ දැනට නිකුත් කර ඇති වීඩියෝවලට අනුව ලෙවින්ස්කි සිය ඕවල් කාර්යාලයේ තමන්ට වෙන් වී තිබූ පුද්ගලික කාමරය තුළ සිදුකළ ලිංගික හැසිරීම් පිළිබඳ ඇය මතකය අවදි කරන්නීය. එසේම ඒ සබඳතාවය පුද්ගලිකව ගෙන යාමට ගත් අසාර්ථක උත්සාහයන් ද සිහිපත් කරන්නීය.

‘‘අපි දෙන්නම පරිස්සම් වුණා. නමුත් ඒ පරිස්සම ප්‍රමාණවත් වුණේ නැහැ.“ යැයි ගුඩ් මෝර්නින් ඇමරිකා වැඩසටහන හරහා විකාශය වූ එහි එක් වීඩියෝ ක්ලිපයකදී ඇය කියන්නීය.

The Independent

The Independent

තවත් කාන්තාවක් වූ පෝලා ජෝන්ස් විසින් ගෙන ආ ලිංගික අපචාර නඩුවකදී තමන්ව ප්‍රශ්න කිරීමට ඇති ඉඩකඩ ගැන ක්ලින්ටන් අනතුරු ඇඟවූ ආකාරය ද ලෙවින්ස්කි එහිදී සිහිපත් කරයි. ‘‘මම ගල් ගැහුණා. මගෙ පවුලෙ අය ගැන හිතමින් මම දුක්වුණා. මේක ප්‍රසිද්ධ වුණොත් මොනවා වේවිද?“ ඇය තවදුරටත් පැවසුවේ දිවුරුම් පෙත්සමක් ලබාදීම මගින් ඇයට සාක්ෂි දීමෙන් වැලකී සිටිය හැකි යැයි ක්ලින්ටන් පැවසූ ආකාරයයි. ‘‘මට බොරු කියන්න සිද්ධ වෙනවා කියල ඔහු කිව්වෙ නෑ. ඒ වගේම මට ඇත්ත කියන්න කියලත් ඔහු කිව්වෙ නෑ..“

ඒ අනුව ලෙවින්ස්කි එම සබඳතාවය ප්‍රතික්ෂේප කරමින් ලේඛනයට අත්සන් කළ අතර, ක්ලින්ටන් උසාවි දිවුරුමේදී ද ප්‍රසිද්ධ වේදිකාවේ දී ද එවැනි සබඳතාවක් තමන් අතර නැතැයි දිවුරුවේය. අවසානයේ ක්ලින්ටන් දෝෂාභියෝගයට මුහුණ දෙන්නේ සබඳතාවය ගැන බොරු කී නිසා ය. නමුත් සෙනෙට් සභාව ඔහුව ධුරයෙන් ඉවත් කිරීමට මැලි වූ අතර, ඔහුට දෙවැනි වාරය සම්පූර්ණ කිරීමට ඉඩ ලබාදීමට සිතුවේය.

‘‘මගේ ළඟම හිතවතුන් මගෙන් ඇහුවා, ජීවිතයේ වඩාත්ම වේදනාකාරී සහ භ්‍රාන්තිමය කොටස නැවත සිහිපත් කරන්නේ ඇයිද කියලා.. නැවතත්, ප්‍රසිද්ධියේ එවැනි දෙයක් කරන්නේ ඇයිද කියා ඔවුන් මගෙන් ඇසුවා..“ ලෙවින්ස්කි වැනිටි ෆෙයා සඟරාවට ලියයි.

‘‘වාර්තා චිත්‍රපටය රූගත කිරීම මගින් මට මේ කතාවේ මගේ කොටස පිළිගන්නට බල කළා. මා තවමත් පසුතැවෙන හා ලැජ්ජා වන කොටස ගැන. මේ වැඩසටහනට සහභාගි වීම ගැන මගේ තීරණය ගැන විතරක් නෙවෙයි, මා හොඳ සිහියෙන්ද ඉන්නෙ කියලත් මා මගෙන්ම ප්‍රශ්න කළා..“

සිය ධුර කාලයෙන් පසුව ජනපති ක්ලින්ටන් පුණ්‍ය ආයතනයක් පිහිටුවා ගත්තේය. ඉන්පසු සිය බිරිඳ වන හිලරි ක්ලිනටන් ජනාධිපති ධුරයට පත් කිරීම වෙනුවෙන් කැප විය. එයින් පසුව ලෙවින්ස්කි සමග පැවති සබඳතාවය සහ පෝලා ජෝන්ස් විසින් ඔහුට චෝදනා නැගූ ලිංගික අඩන්තේට්ටම් පිළිබඳ ඔහුගෙන් ප්‍රශ්න කෙරුණේ ඉඳහිට ය.

#MeToo ස්ත්‍රී අයිතිවාසිකම් ව්‍යාපාරය කරළියට පැමිණීමත් සමග, එදා විසි වසරකට පෙර ක්ලින්ටන්වරුන් ගැන අචල විශ්වාසයෙන් පසුවූ ඩිමොක්‍රටික් බලකණු පවා දැන් නැවතත් යම්කිසි සැක සහිත බවකින් පසුවෙති.

‘‘මා සමාව ගත යුතුද යන්නට වඩා මගේ පැත්තෙන් මට වැදගත් කියා හැඟෙන්නේ බිල් ක්ලින්ටන් මගෙන් සමාව ගැනීමට අවශ්‍ය බවයි. මම ඔහු ගැන ඉතාම බලාපොරොත්තු කඩවීමෙන් සිටින්නේ. යහපත් සමාජයක මෙවැනි දේ සිදුවිය යුතුයි..“

එක්තරා සම්මුඛ සාකච්ඡාවකදී මෙවැනි නොගැළපෙන පටලැවිල්ලක බැඳුණේ මන්දැයි බිල් ක්ලින්ටන්ගෙන් ප්‍රශ්න කළ විට ඔහු කියා තිබුණේ, ‘‘මට පුළුවන් නිසා..“ යනුවෙනි. මේ පිළිතුර ද මොනිකා ලෙවින්ස්කිගේ දැඩි අවධානයට ලක් වෙයි.

‘‘මේ වාර්තා චිත්‍රපටවලට මා සම්බන්ධ වන්නේ ඇයි,.. හේතුව.. මට පුළුවන් නිසා..“ යැයි ඇය වැනිටි ෆෙයා සඟරාවට ලියයි. ‘‘ඉතිහාසය පුරාවටම ස්ත්‍රීන් අපකීර්තියට පත් කර නිහඬ කරවනු ලැබුවා. දැන්, අපේ කතාන්දර අපේම වචනවලින් කීමට අපේ වාරය ඇවිත්..“



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි