×

සිගරට් කොටවල ප්ලාස්ටික් තිබේ!

පරිසරයට වින කටින සිගරට් කොට පිළිබඳ යථාර්ථය බොහෝ දෙනෙකු දන්නේ නැත.


දුම්වැටි භාවිතයෙන් පසු එහි අග කොටස හෙවත් “සිගරට් කොටය” කොහේ හෝ තැනෙකට විසිකර දැමීමට දුම්පානය කරන්නෝ පුරුදුව සිටිති. සිගරට් කොටය එසේ විසිකර දැමීම ලෙහෙසිය; පහසුය. විසිකර දමන එවැනි සිගරට් කොට නිසා පාරිසරික හානියක් සිදුවන බව ඔබ දන්නවද?. පාරිසරික හානිය වැඩිපුරම සිදුවන්නේ එම සිගරට් කොට ජල ධාරා වෙත එකතු වී අවසානයේදී ඒවා මුහුදට ගසාගෙන යෑම නිසයි. මේ අන්දමට මුහුදට එකතුවන සිගරට් කොට, මුහුදු ජීවීන්ගේ පැවැත්මට අන්තරාකාරී බව විද්‍යාඥයෝ පෙන්වා දෙති. ඒ ගැන විශේෂ පර්යේෂණයක්, බ්‍රිතාන්‍යයෙහිදී සිදු කෙරිණ. එම පර්යේෂණය කළේ “කීප් බ්‍රිටේන් ටයිඩ්” (Keep Britain Tidy) නමැති සමාජ සත්කාරක ආයතනයකි.

සිගරට් කොට පරිසරයට එකතු කිරීම, දිනපතා දුම්පානය කරන්නන්ගෙන් 52%ක්ම ගැටළුවක් ලෙස නොදකින බව “කීප් බ්‍රිටේන් ටයිඩ්” ආයතනයේ පර්යේෂකයෝ පවසති. ජල ධාරා ආශ්‍රිත පරිසරයන්ට විසි කර දමන සිගරට් කොට අවසානයේදී එකතු වන්නේ මුහුදට බැව් අවබෝධ කරගෙන තිබුණේ පර්යේෂණයට යොදාගත් නියැදියෙන් 53%ක පමණ පිරිසක් බව පර්යේෂකයන්ගේ නිගමනයයි. දුම්පානය කරන සෑම පුද්ගලයන් පස්දෙනෙකුගෙන් දෙදෙනෙක් හෙවත් 39%ක පමණ ප්‍රතිශතයක් තැනක් නොතැනක් ගැන නොසිතා කිසිදු ඉවක් බවක් නැතිව සිගරට් කොට පරිසරයට එකතු කරති. සිගරට් කොටවල ඇති විෂ සහිත රසායනිකයන්වලින් සාමුද්‍රික ජීවීන්ට හානියක් සිදුවන බව එයින් සෑහෙන පිරිසක් අවබෝධ කරගෙන නොසිටීම කණගාටුවට කාරණයක් බව “කීප් බ්‍රිටේන් ටයිඩ්” ආයතනයේ බලධාරීහු පවසති.

“ … මේ අන්දමට සිගරට් කොට ජල ධාරාවලට විසි කිරීමෙන් විශාල පරිසර හානියක් සිදුවන බව එහෙම කරන අයට පෙනෙන්නේ නැහැ. සිගරට් කොට මේ විධියට ඉවත හෙලීමෙන් වන ජීවීන්ට ඍජුව සහ නිරන්තයෙන්ම මහා විශාල බලපෑමක් වන බව දුම්පානය කරන අයට අවබෝධ කරවන්න අපට වුවමණා වෙලා තියෙනවා. සිගරට් කොට පරිසරයට එකතු කිරීම නොසලකා හැරීම, අභියෝගයට ලක් කරන්න අපට වුවමණයි. මේ වැඩෙත් පරිසරයට කැළි කසළ එකතු කිරීමකැයි කියන පණිවුඩය දුම්පානය කරන්නන් අතරට රැගෙන යන්න අප උත්සාහ කරනවා. …” කියා ඇලිසන් ඔග්ඩෙන් නිව්ටන් පවසන්නීය. ඇලිසන්, “කීප් බ්‍රිටේන් ටයිඩ්” ආයතනයේ ප්‍රධාන විධායක නිළධාරිණියයි.

බ්‍රිතාන්‍ය ජාතික පරිසරවේදී ජේසන් ඇලෙක්සැන්ඩර් “රබිෂ් වෝක්” (Rubbish Walk) නමැති සය දින වැඩ සටහන පසුගිය දා ඇරඹුවේය. ඔහු මේ වැඩසටහන ආරම්භ කළේ බ්‍රිතාන්‍යයයේ සෆෝ(ල්)ක් වෙරළ තීරය පිරිසිදු කිරීමට මූලිකත්වය දෙමිනි. සය දින වැඩසටහනෙන් ඔහු බලාපොරොත්තු වූයේ පරිසරයට ප්ලාස්ටික් එකතුවීමෙන් සිදුවන ව්‍යසනය පෙන්වා දීමටයි. වෙරළෙහි දමා ගොස් තිබුණු සිගරට් කොට එකතු කිරීමටත් ජේසන් මේ වැඩසටහන් අතරතුරදී පසුබට නොවුණේය. දින තුනක් ඇතුළතදී තමන් එකතු කළ සිගරට් කොට සංඛ්‍යාව බී.බී.සී. මාධ්‍ය සේවයට ඔහු පවසා තිබිණ. ඒ අනුව පසුගිය අගෝස්තු 14වැනිදා සිගරට් කොට 1789ක් ස(ෆෝ)ල්ක් වෙරළ තීරයෙන් ඔහු එකතු කරගෙන තිබුණේය. අගෝස්තු 17වැනිදා සිගරට් කොට 2696කුත්, අගෝස්තු 24වැනිදා සිගරට් කොට 3804කුත් වෙරළ තීරයෙන් ඉවත් කරන්නට ජේසන්ට හැකි වී ඇත. ස(ෆෝ)ල්ක් වෙරළ තීරයේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙලට සිගරට් කොට එකතු කිරීම, ජේසන් ඈඳා ගත්තේ සිගරට් කොටවලත් ප්ලාස්ටික් අඩංගු බැවිනි.

“කීප් බ්‍රිටේන් ටයිඩ්” සමාජ සත්කාරක ආයතනය පවසන්නේ සිගරට් කොටවල ප්ලාස්ටික් අඩංගු බව දුම්පානය කරන්නන්ගෙන් 38%ක්ම නොදන්නා බවකි.

සිගරට්ටුවක ප්‍රධාන සංඝටක හතරක් දැකිය හැකිය. ෆිල්ටරය (Filter), දුම්කොළ (Tobacco), ආකලන (Additives), සහ සිගරට් දවටනය (Cigarette Wrapper) යනු එම සංඝටක හතරයි. සිගරට් කොටය යනු ෆිල්ටරයයි. සාමාන්‍යයෙන් සිගරට්ටුවක් මිලිමීටර 85ක් හෝ මිලිමීටර 100ක් හෝ දිගැතිය. ෆිල්ටරය කොටස මිලිමීටර 20ත් 30ත් අතර දිගකින් යුක්ත බව සඳහන් වේ. මේ ෆිල්ටරය කොටසෙහි 95%ක්ම තිබෙන්නේ සෙලියුලෝස් ඇසිටේට් ය. වෙනත් විධියකින් කිවහොත් ප්ලාස්ටික් ය. ඉතිරි 5%හි තිබෙන්නේ කඩදාසි සහ රෙනෝන් (Rayon) බව සඳහන් වේ. සෙලියුලෝස් ඇසිටේට්, කෙඳි වශයෙන් ඇත. මේ කෙන්ඳක්, අප මැහුම් කටයුතු සඳහා යොදාගන්නා නූලකට වඩා සිහින් ය. එසේම ඒවා සුදු පැහැයෙන් යුක්තය. එවැනි තන්තු ඉතා තදින් ඇසිරීමෙන් “සිගරට් කොටය” යන කොටස සකසා ඇත. මේ තන්තු ඇසුරුම හරියට පෙනේනේ පුළුන් ගොඩක් මෙනි. පුළුන් ගොඩක් මෙන් දැනුණත් අප සාමන්‍යයෙන් භාවිතයට ගන්නා ප්ලාස්ටික් භාණ්ඩ තැනීම සඳහාත් එම සෙලියුලෝස් ඇසිටේට් ම භාවිත කරන බව සමහරවිට ඔබ නොදන්නවා ඇත. බොත්තම්, ඇස් කණ්නාඩි රාමු, සෙල්ලම් බඩු, ශල්‍ය උපකරණ, ඇඳුම් ආදිය සෙලියුලෝස් ඇසිටේට්වලින් තැනෙන භාණ්ඩ අතර ප්‍රධාන තැනක් ගනී. සෙලියුලෝස් ඇසිටේට්හි අණුක සැකැස්මට අනුව ඒවා පහසුවෙන් දිරාපත් නොවන බව විද්‍යාඥයෝ පවසති. සිගරට් කොටයක් වසර 15කට අධික කාලයක් පරිසරයේ පැවතිය හැකි බව විද්‍යාඥයන් පවසන්නේ එනිසයි.

එංගලන්තයේ පමණක් මිලියන 7කට අධික වැඩිහිටියන් සංඛ්‍යාවක් දුම් පානයෙහි යෙදෙන බව එංගලන්ත මහජන සෞඛ්‍යය ආයතනය පසුගිය සමයේදී ප්‍රකාශ කර තිබිණ. එය ජනගහනයේ ප්‍රතිශතයක් හැටියට දැක්වුවහොත් 16.9%ක් තරම් ප්‍රමාණයකි. මේ තරම් පිරිසක් දුම්පානයේ නියැලෙමින් පරිසරයට හෙලන සිගරට් කොට සංඛ්‍යාව වසරකට මිලියන 244ක් පමණ වෙතැයි කියා “කීප් බ්‍රිටේන් ටයිඩ්” ආයතනය පවසයි. මේ සිගරට් කොට සංඛ්‍යාවේ ස්කන්ධය තට්ටු දෙකේ බස් රථ හෙවත් ඩබල් ඩෙකර් බස් රථ 13ක බරට සමානය. ලෝකය පුරා සිටින දුම් බොන්නන් පරිසරයට වසරකට එකතු කරන සිගරට් කොට සංඛ්‍යාවත් ඒ සමඟම පැවසිය යුතුව ඇත. එම සංඛ්‍යාව සිගරට් කොට ට්‍රිලියන 4.5ක් තරම් ඉහළ අගයක පවතින බව කිවහොත් සමහර විට ඔබ විශ්වාස නොකරනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි