×

‘තවත් සැප්තැම්බර් 11 ප්‍රහාර සිදු කරන්න‘- අල්-කයිඩා නායකයා කළ ඉල්ලීම ඵල රහිත වුවත් ලෝකය සීරුවෙන්

එවැනි අවසානාවන්ත සිදුවීමක් ගතවු දින 2 තුළ වාර්තා නොවුවද, තවමත් මෙවැනි ප්‍රහාරවල අවදානම පහව ගොස් නැති බව කියැවේ.


2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානය, පෙන්ටගනය ඇතුළු ඇමරිකානු මර්මස්ථාන කිහිපයකට ප්‍රහාර එල්ලකරමින් ජාත්‍යන්තර ත්‍රස්තවාදය ගැන බිහිසුණුම මතකය මැවූ සැප්. 11 දා, එම ප්‍රහාරයට වසර 18 ක් සපිරෙන විට අල්-කයිඩා නායක අයිමන් අල් ස්වාහිරි මුස්ලිම් ලෝකයෙන් ඉල්ලීමක් කර තිබිණි. 

ඒ, වසර 18 කට පෙර 3000 ක් දෙනා මරා දැමූ ප්‍රහාරයේ සංවත්සරය වෙනුවෙන් බටහිර ජාතීන් ඉලක්ක කරගෙන පහර දිය යුතු බවට ය. ඇමරිකාව, යුරෝපය, ඊශ්‍රායලය සහ රුසියානු හමුදා ඉලක්ක වලට මෙසේ පහර දිය යුතු බව ඔහු සිය සංවත්සර කතාවේදී ප්‍රකාශ කර තිබිණි. 
එවැනි අවසානාවන්ත සිදුවීමක් ගතවු දින 2 තුළ වාර්තා නොවුවද, තවමත් මෙවැනි ප්‍රහාරවල අවදානම පහව ගොස් නැති බව කියැවේ. 

අයිමන් අල් ස්වාහිරි අල්-කයිඩා සංවිධානයේ නායකත්වයට පත් වූයේ 2011 වසරේදී අල් කයිඩා නායක ඔසාමා බින් ලාඩන් පාකිස්ථානයේ ඇබොට්ටාබාද් හිදී ඇමරිකානු නේවි සීල් භටයන් විසින් මරා දැමීමෙන් පසුව ය. 

68 හැවිරිදි වත්මන් අල්-කයිඩා නායකයා ඊජිප්තු ජාතික ශල්‍ය වෛද්‍යවරයෙකි. 
ඇෆ්ගනිස්ථාන – පාකිස්ථාන දේශසීමාවේ ඔහු සැඟව සිටින බව විශ්වාස කෙරේ. 
අල්-කයිඩා සංවිධානයට අයත් මාධ්‍ය සංවිධානය ලෙස සැලකෙන as-Sahab Media Foundation හරහා විනාඩි 33 ක් සහ තත්පර 28 ක වීඩියෝවක් මුදා හරිමින් අල්-කයිඩා නායකයා මෙසේ පවසයි. 

‘‘ජිහාඩය (ශුද්ධ යුද්ධය) හමුදා ඉලක්ක වෙත යොමු කරවන්නට ඔබට අවශ්‍ය නම් ඇමරිකානු හමුදාව ලොව පුරාම නැගෙනහිර සිට බටහිර දක්වාම සිටිනවා.“

එහිදී ඔහු තවදුරටත් කියා සිටින්නේ ඇමරිකානුවන් විසින් ලෝකය අපවිත්‍ර කර ඇති බව සහ, දූෂණය පතුරුවා ඇති බව ය.   Ayman al-Zawahiri, Muslims, ISIL, ISIS, 9/11 anniversary, අල්-කයිඩා

අල්-කයිඩාවේ ඒකාධිකාරය බිඳින අයිසිස්
ගතවූ වසර කිහිපය තුළ දැකගත හැකි වූයේ ඉස්ලාම් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අල්-කයිඩාවේ කිරුළ බිම දමමින් අයිසිස් කණ්ඩායම ලොව පුරා ව්‍යාප්තව ඇති බවකි. ISIL හෙවත් Islamic State of Iraq and the Levant නමැති මෙම ත්‍රස්තවාදී කණ්ඩායම ලොව පුරා ප්‍රචලිතව සිටින්නේ අයි එස් අයි එස් – ISIS හෙවත් අයිසිස් යනුවෙනි. 2014 වසරේදී ඉරාකයේ විශාල කොටසක් අල්ලා ගැනීමෙන් සිය ආක්‍රමණය ආරම්භ කළ අයි එස් අයි එස්, මැදපෙරදිග සහ උතුරු ඇමරිකානු භූමියේ caliphate හෙවත් ‘මුහම්මද් පරපුරේ රාජ්‍යයක්‘ ප්‍රකාශයට පත් කළේය. 
වරක් එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ අල්-කයිඩා සංවිධානයෙන් මේ වන විට ලෝක සාමයට නුදුරේදීම එල්ල විය හැකි අවදානම අපැහැදිලි නමුත් අයි එස් අයි එස් සංවිධානය එසේ නොවන බවයි. නමුත් අයි එස් අයි එස් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයන් පැරණි අල්-කයිඩා සාමාජිකයන් බව පෙන්වා දුන් මෙම වාර්තාව, ඕනෑම අවස්ථාවක අයි එස් අයි එස් සාමාජිකයන් සිය මව් සංවිධානය වෙත නැවත යා හැකි බවට ද අනතුරු අඟවා සිටියේය. 

මේ වන විට ඇෆ්ගනිස්ථානය, සිරියාව සහ යේමනයේ පවතින අර්බුදකාරී වාතාවරණය තුළ අල්-කයිඩා සාමාජිකයෝ වසං වූ ජීවිත ගත කරමින් සිටිති. බෝම්බ, වෙඩි තැබීම් හා ඝාතන රැල්ලක් සමග වඩාත්ම සක්‍රිය අල්-කයිඩා ශාඛාව බවට පත්ව තිබූ යේමන අල්-කයිඩාව ද මේ වන විට බැලූ බැල්මට පවතින්නේ නිෂ්ක්‍රිය තත්වයක ය. 




#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි