×

‘‘මේ දවස් හරි අමුතුයි!“ – නෙල්සන් මැන්ඩෙලා සියවස් සැමරුමේදී ඔබාමාගෙන් සෙන්චරියක්

අප්‍රිකාවෙන් වර්ණ භේදවාදය තුරන් කිරීමට මුල් වූ මහා ජන නායකයා හෙවත් ‘අප්‍රිකාවේ පියා‘ නෙල්සන් මැන්ඩෙලාගේ සිය වැනි ජන්ම සංවත්සරය යෙදී තිබෙන්නේ ජූලි 18 වැනිදාට හෙවත් අද දිනයට ය. එනිසා අද දිනය, ‘මැන්ඩෙලා දිනය‘ නම් වේ.


දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ හි ඒ වෙනුවෙන් ඊයේ (17) පැවති මහා ජන හමුවේදී ලෝකය වෙනස් කළ තවත් කළු ජාතික නායකයෙකු වූ හිටපු ඇමරිකානු ජනපති බරාක් ඔබාමා (Barack Obama) ඓතිහාසික කතාවක් පැවැත්වීය. මේ කතාව ජාත්‍යන්තර ජනමාධ්‍ය විසින් හඳුන්වා දෙන්නේ ජනපති පදවියෙන් විශ්‍රාම ලැබීමෙන් පසු ඔබාමා විසින් පැවැත්වූ පළමු ප්‍රධාන පෙළේ කතාව වශයෙනි.

අතිශය බුද්ධිමත් අයුරින් සහ සුමට අයුරින් ඔහු සිදුකළ ඒ කතාව තුළින් ඇමරිකානු දේශපාලනයේ වර්තමාන පරිහානිය පිළිබඳ ඉඟි රැසක් පළ විය.

මානව හිමිකම්වලට සහ, අවදානමේ හෙළී තිබෙන සෙසු වටිනාකම්වලට ගරු කරන ලෙසට ඔහු ලෝකයෙන් එහිදී දයාබර ලෙස ඉල්ලා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදය, විවිධත්වය සහ සැමට හොඳ අධ්‍යාපනයක් ඇතුළුව මැන්ඩෙලා වෙහෙස වූ අරමුණු ජීවමාන ලෙස පවත්වාගෙන යන ලෙසට ද ඔහු දයාබර ඉල්ලීමක් කළේය.

‘මේ දවස්‘ ගැන කතා කරන්නට ඔහු පටන් ගත්තේ, ‘මේ දවස් හරි අමුතුයි, අවිනිශ්චිතයි‘ යනුවෙන් පවසමිනි. එසේම ‘හැම දිනයක්ම හිස කැරකැවිල්ල ඇති කරවන දේවල් සහ කරදරකාරී ශීර්ෂපාඨ ගෙන එන බව ද ඔහු තවදුරටත් කීවේය.

‘‘මේ දවස්වල ලෝකය වඩාත් භයානක, බිහිසුණු තැනක් බවට නැවත පත්වෙමින් යනවා..“ යැයි ඔබාමා කීවේය.

ඒ සමගම ජොහැනස්බර්ග් ක්‍රිකට් ක්‍රීඩාංගනයේ රැස් කමින් සිටි 14,000 ක් වූ මහා ජන කැළ අතරින් පැන නැගුණේ යථාර්ථයක් ඒ අයුරින්ම කියා පෑමට කථිකයා සමත්වීම නිසා ඇති වූ සතුට සහ අස්වැසිල්ලයි.

‘‘නෙල්සන් මැන්ඩෙලාට ගරු කරමින් වේදිකාවේ සිටගෙන සිටීමෙන්ම ඔබාමා ට්‍රම්ප් හට ව්‍යක්ත තරවටුවක් (an eloquent rebuke) කළා..“ ජොහැනස්බර්ග් හි විට්වෝටර්සැන්ඩ් සරසවියේ අන්තර්ජාතික සබඳතා පිළිබඳ මහාචාර්ය ජෝන් ස්ට්‍රීම්ලෝ පසුව කියා සිටියේය. ඔහු එසේ පැවසුවේ ඇමරිකාව තුළ මෙන්ම ලෝකයේ අන් තැන්වලදීත් මැන්ඩෙලාගේ ජීවිතය අර්ථ දැක්වීමට හේතු වූ මහා කැපකිරීම්වලට බැට වදිමින් තිබෙන බව සිහිපත් කරමිනි.

1990 වසරේදී රොබින් දූපතේ  ජනෙල් කූරු අතරින් සුසුම් හෙළූ, හුණුගල් කැඩූ ජීවිතය අවසන් කළ නෙල්සන් මැන්ඩෙලා අවසානයේ දකුණු අප්‍රිකාවේ පළමු කළු ජාතික ජනාධිපතිවරයා බවට පත්විය. 2013 වසරේදී මැන්ඩෙලා මෙලොව හැර ගියද, ඔහු විසින් ශේෂ කළ මහා මිනිස් දායාදය අදට ද ලෝකයට නිදසුන් සපයයි.

‘‘ඊයේ අප දුටුවා ට්‍රම්ප් සහ පුටින් එකට සිටගෙන සිටින අන්දම. දැන් අපි දකිනවා එහි ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වන ඔබාමා සහ මැන්ඩෙලා එකට සිටගෙන සිටින ආකාරය“ යැයි ද මේ මහාචාර්යවරයා පැවසුවේය.

2017 මුල භාගයේ ධවල මන්දිරය හැරයාමෙන් පසු ඔබාමා දකුණු අප්‍රිකාව බලා පැමිණි පළමු වතාව මෙයයි. මෙයට සතියකට පමණ පෙර ඔබාමා සිය මුතුන් මිත්තන් පැවතඑන කෙන්යාවේ නතර වීමටත් අමතක කර තිබුණේ නැත.

පුරා 27 වසරක් සිරබත් කෑ නෙල්සන් මැන්ඩෙලා නමැති නොබෙල් සාම ත්‍යාගලාභියා ඇපාතයෙිඩ් හෙවත් වර්ණභේදවාදය කුළු ගැන්වූ නීති රටෙන් අතුගා දැමෙන තෙක්, පාලක සුදු සුළුතරය පාලනය අත්හරින තෙක් සිය සටන අත් නොහළ අන්දම ඔබාමා සිය කතාවේදී සිහිපත් කළේය. ඇමරිකාවේ ප්‍රථම කළු ජාතික ජනාධිපතිවරයා වූ ඔබාමා සිහිනෙන් දුටු ‘සමානාත්මතාවය අගයන රට‘, අද වන විට ට්‍රම්ප් පාලනය යටතේ එකම අවුල් ජාලයකි. 2015 වසරේ ඔබාමා අත්සන් කළ පැරිස් දේශගුණික සම්මුතිය ට්‍රම්ප් හකුළා ගත්තේය. ඉරාන න්‍යෂ්ටික ගනුදෙනු පිළිබඳ සම්මුතියට ද අත් වූයේ ඒ ඉරණමම ය. ඔබාමා විසින් ලක්ෂ ගණන් ඇමරිකානුවන් වෙත ගෙන ආ ‘ඔබාමා කෙයා‘ සෞඛ්‍යාවරණය, ට්‍රම්ප් එක පෑන් පහරින් කටු ගා දැමුවේ ‘ආණ්ඩුවට පාඩු බව‘ කියමිනි.

ඔබාමා කිසි විටෙක සිය ප්‍රතිවාදියා වන ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නම සඳහන් කළේ නැත. ට්‍රම්ප් මෙන් අපහාස පරිහාස කරන අයෙකු නොවේ, ඔහු. ඒ වෙනුවට ඔහු පුළුල් තේමාවන් රැසක් සිය කතාවට වස්තුබීජ කර ගත්තේය. ඇමරිකාවේ ප්‍රථම කළු ජනාධිපතිවරයා, දකුණු අප්‍රිකාවේ ප්‍රථම කළු ජනාධිපතිවරයාව විස්තර කළේ සිය ඇදුරුතුමා ලෙස ය.

Madiba – Obama | The South African

ඔබාමා ඇමරිකානු සෙනෙට් සභිකයෙකුව සිටියදී, ජනාධිපති වීමේ සිහිනය තව දුර තිබියදී ද ඔහු නිතරම මැන්ඩෙලාගේ ඡායාරූපයක් ළඟ තබාගත්තේය. ජනපති වීමෙන් අනතුරුව ඔබාමා එහි පිටපතක් මැන්ඩෙලා වෙත යැව්වේය. එදා මැන්ඩෙලා, ලොවේ ඉහළම පුටුවේ සිටින්නේ තමන්ගේම දරුවෙක් බව පසක් කරගන්නට ඇත. මැන්ඩෙලාගේ සිර කුටිය නැරඹීමට යාමට ද ඔබාමා අමතක කළේ නැත. දකුණු අප්‍රිකානු නායකයා තමන්ගේ ජීවන උත්තේජනය බව නොවළහා පවසන්නට ද ඔබාමා කිසි විටෙක මැලි වූයේ නැත.

ඇමරිකා එක්සත් ජනපදය තුළ වාර්ගික සමානාත්මතාවය ඇති කිරීම ද ඔබාමාගේ න්‍යායපත්‍රයේ ඉහළින්ම තිබුණේය. හරියට, සුදු ජාතිකයෙකු බස් එකට නැගුණු විට කල්ලන් නැගිට අසුන දිය යුතු යැයි නියම වී තිබූ දකුණු අප්‍රිකාව තුළ මැන්ඩෙලා එදා සමානාත්මතාවය ඇති කළාක් මෙනි.

මේ සියලු කරුණු නිසා බරාක් ඔබාමා, මැන්ඩෙලාගේ අනුප්‍රාප්තිකයා ලෙස සැලකෙන්නේ නිසගයෙනි. අවිවාදයෙනි. නමුත් ඔබාමාට මෙන්ම මැන්ඩෙලාට ද තමන් සිහින දුටු දේශය නොමිනිස්කමෙන් අවලස්සන වන අන්දම සියැසින් දැක ගන්නට සිදුවිය. අද ඔබාමා ට්‍රම්ප් පාලනය තුළ ඇමරිකාව බිඳ වැටෙන හැටි සංවේග සිතින් බලා සිටියි. එදා මැන්ඩෙලා ද, තමන්ගේ දරුවෙකු බඳු අප්‍රිකානු කොංග්‍රසය විසින් ම, රට අන්ත දූෂිත තැනකට යන සැටි බලා සිටියේ සංවේග සිතිනි. කාලයට කළ හැකි දේ මෙන්ම නොකළ හැකි දේ ද තිබේ. මෙවැනි අවිනිශ්චිත – හරි අමුතු දවස්වල උපේක්ෂාවෙන් සිටීම හැර වෙන කළ හැකි දෙයක් නොවේ.

බරාක් ඔබාමා අති ආකර්ෂණීය කථිකයෙකු වන්නේ හුදෙක් මුඛරි කම නිසාම පමණක් නොවේ. ඔහුගේ පෞරුෂය සහ මනුෂ්‍ය ගුණාංග ද නිසා ය. එනිසා, 2017 ජනවාරියේ බරාක් ඔබාමා ධවල මන්දිරයට සමු දුන් දිනයේ ලියූ වැකියෙන්ම මේ ලිපිය අවසන් කිරීමට සිත් දේ.

‘‘ඔබාමා ඔබ මහා- විසල් මිනිසෙක් ය“ – මැන්ඩෙලා තරමටම…

බරාක් ඔබාමා විසින් මැන්ඩෙලා සියවස් සැමරුමේදී කළ සම්පූර්ණ කතාව මෙතැනින්..

[embedyt] https://www.youtube.com/watch?v=XkHjrKDrhjg[/embedyt]



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි