×

චීනයේ මානව හිමිකම් ගැන කතා කළ කෝටිපති ව්‍යාපාරිකයෙකු වසර 18කට හිරේ !

චීනයේ අංක එකේ කෘෂි ව්‍යාපාරිකයා ලෙස සැලකෙන සුන් ඩාවු, චීන බලධාරීන් විසින් වසර 18කට සිරගත කර ඇත.


67 හැවිරිදි සුන්, මානව හිමිකම් සහ දේශපාලන වශයෙන් සංවේදී මාතෘකා ගැන නොබියව අදහස් පළ කළ, හෙයිබෙයි පළාත කේන්ද්‍රකරගත් බිලියනපතියෙකි.

නඩු විභාගයේදී ඔහු ‘රණ්ඩුවලට පැටලීම සහ කුපිත කිරීම‘ යන චෝදනාවලට වැරදිකරු බවට පත් කර තිබේ.

මෙය, චීනය විසින් සමාජ ක්‍රියාකාරීන් මර්දනය කිරීම සඳහා නිරන්තරයෙන් යොදාගන්නා චෝදනාවකි.

ඔහුට එරෙහිව නගා තිබූ සෙසු චෝදනා අතර නීතිවිරෝධී ලෙස ගොවිපොළ බිමක් අත්පත් කර ගැනීම, රාජ්‍ය ආයතන වලට පහරදීම සඳහා මිනිසුන් එක්රැස් කිරීම සහ රජයේ සේවකයන් සිය රාජකාරි ඉටු කිරීම වැළැක්වීම ද වේ.

නඩු විභාගයේදී ඔහුට යුවාන් මිලියන 3.11 ක අති දැවැන්ත දඩ මුදලක් ද නියම කෙරිණි. මෙය ඇමරිකානු ඩොලර් ලක්ෂ 5 කට ආසන්න ය.

මාංශ සැකසුම් කිරීම සහ සත්ව ආහාර නිෂ්පාදනය ඔහුගේ ප්‍රධානතම ව්‍යාපාරයක් වූ අතර, චීනයේ රෝහල් හා පාසල්වලට ඔහු ප්‍රධාන සැපයුම්කරුවෙකු ලෙස කටයුතු කළේය.

පසුගිය වසරේදි පවුලේ ඥාතීන් සහ ව්‍යාපාර සහකරුවන් 20 දෙනෙකු සමග ඔහුව බලහත්කාරයෙන් රඳවා තැබීමට ද චීන බලධාරීන් ක්‍රියා කර තිබිණි.

2019 වසරේදී සිය ගොවිපොළ සතුන් සම්පූර්ණයෙන්ම විනාශ කළ අප්‍රිකානු ස්වයින් ෆ්ලූ වසංගතය බලධාරීන් විසින් වසං කළ බවට ඔහු විවෘතව ම චෝදනා නගා තිබිණි. 2003 වසරේදී නීති විරෝධී ලෙස අරමුදල් රැස් කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. මෙය ද, චීනය විසින් හිමිකම් ක්‍රියාධරයන් මර්දනයේදී බහුල ලෙස යොදාගන්නා චෝදනාවකි.

තමන් ‘කොමියුනිස්ට් පක්ෂයේ ‘විශිෂ්ට‘ සාමාජිකයෙකු බව කියමින් සුන්, පූර්ව නඩු විභාගයේදී මේ නව චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කර තිබුණත් එයින් පලක් වුයේ නැත.

චීනය පසුගිය සමයේදී මහා පරිමාණ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකුම මේ ආකාරයෙන් මර්දනයට ලක් කළේය. සුප්‍රකට අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා ඒ අතරින් ප්‍රධාන ය.

 

පෙර ලිපි

තුන් මසක් අතුරුදන් වී ජැක් මා, මක් කළාද?

තුන් මසක් අතුරුදන් වී, ජැක් මා මක් කළාද?



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි