×

ලස්සන ගෑණු දූෂණය වෙනවා තමයි. ඉතිං මොකද? – පිලිපීන ජනපති අසයි!

ස්ත්‍රී දූෂණය විහිළුවකට ගත් පිලිපීන නායකයා


පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටර්ටේ (Rodrigo Duterte) කරුණු 2 ක් නිසා ප්‍රධාන වශයෙන් ප්‍රසිද්ධ ය. එකක්, ඔහු මතට එරෙහි යුද්ධයක් ප්‍රකාශයට පත් කර තමන්ගේම රටේ පුරවැසියන් දහස් ගණනක් මේ වන විට අමු අමුවේ මරා දමා ඇත. දෙවැනි කාරණය, ස්ත්‍රීන් සම්බන්ධයෙන් අපහාසාත්මක විහිළු කරන්නෙකු ලෙස ඔහු ප්‍රකට ය. පසුගිය බ්‍රහස්පතින්දා ඔහු දෙවැනි වරද නැවත නැවතත් කළේ, සමච්චල් සහගත සිනහවක් සමග ය.

තමන් අතීතයේ ඩාවායෝ නගරයේ පුරපතිවරයා ව සිටි සමයේ සිදුවූ දේවල් ගැන ඩුටර්ටි මහත් සේ තළු මරමින් කතා කිරීමට ප්‍රිය කරයි. ඩායාවෝ ඔහුගේ උපන් නගරය ද වේ. ඒ කාලයේ ඔහු ම්ලේච්ඡ සහගත ලිංගික ප්‍රචණ්ඩත්වයන් දැක්වූ බව ද ප්‍රකට ය.

‘‘ඩාවායෝ වල ස්ත්‍රී දූෂණ සිදුවීම් ගොඩක් තිබෙනවා කියල ඒ කාලයේ පොලිස් නිලධාරීන් මට කිව්වා..‘‘ ඩුටර්ටි පැවසුවේය. ‘‘ලස්සන ගෑණු ඉන්නකල් ස්ත්‍රී දූෂණ වැඩි වෙනව තමයි!!“

“They said there are many rape cases in Davao, As long as there are many beautiful women, there will be more rape cases.”

මෙම දූෂණ සිදුවීම් පිළිබඳ ඩුටර්ටි මීට පෙර ද අවස්ථා කිහිපයක සෝපහාසයෙන් යුතුව කතා කර තිබේ. මෙවර සිදුවූයේ ඒ පිළිබඳ දීර්ඝ වශයෙන් කරුණු දැක්වීමකි. ‘‘පළමු ඉල්ලීමෙදි ඒකට එකඟ වෙන්නෙ කවුද ඉතිං..? ගෑණු ඕක කරන්න ඉඩ දෙයිද? නෑ.. නෑ.. ආහ්… කිසිම කෙනෙක් පළවෙනි වතාවෙ ඕක කරන්න ඉඩ දෙන්න කැමති නෑ. ඉතිං ඒක තමයි ස්ත්‍රී දූෂණය කියන්නෙ..“

මේ බව මුලින්ම වාර්තා කර තිබුණේ පිලිපීනයේ ප්‍රවෘත්ති වෙබ් අඩවියක් වන Rappler හි ය.

ඩුටර්ටි, කැමැත්තෙන් සිදුවන ලිංගික එක්වීම් පිළිබඳ කිසිදු අත්දැකීමක් නොමැති අයෙකු සේ කතාකිරීම පුදුමයක් නොවන බව මෙම ප්‍රකාශ පිළිකුළෙන් යුතුව හෙළා දකින කාන්තා ක්‍රියාකාරීහු පෙන්වා දෙති. මන්ද යත්, ඔහු කිසිදු විටෙක කාන්තාවගේ කැමැත්ත ගැන නොසිතා බලහත්කාරයෙන් එය සිදුකරන අයෙක් විය හැකි නිසා ය!

ස්ත්‍රී දූෂණය කිසිසේත්ම විහිළුවට කරුණක් නොවේ. නමුත් 2016 වසරේ බලයට පත්වූ දා පටන්ම අවස්ථා කිහිපයකදීම ඩුටර්ටි කාන්තා විෂයෙහි මහත් නරුමවාදී මත පළ කළේය. ඔහු පෙළෙන මේ බරපතළ ‘සංස්කෘතික අසනීපය‘ එළියට පැන්නේ වරක් දෙවරක් නොවේ. පසුගිය වසරේ ඔහු පැවසුවේ පිලිපීනයේ හමුදා නීතිය සහිත ප්‍රදේශවල සේවය කරන්නන්ට කිසි කරදරයක් නැතිව, එනම් කිසි දඬුවමක් නැතිව ස්ත්‍රීන් 3 දෙනෙකු දූෂණය කරන්නට අවස්ථාව ලබාදිය යුතු බ ය. ‘‘නුඹලා තුන් දෙනෙක්ව රේප් කරල තියෙනව නම්, මම ඒක පිළිගන්නවා. ඒක වරදක් නෙවෙයි.“ යැයි ඔහු එවර පවසා තිබිණි.

1989 වසරේ දී සිරගෙදර කැරැල්ලකට හසු වී මිය ගිය ඔස්ට්‍රේලියානු ජාතික මිෂනාරිවරියක වන ජැකලීන් හැමිල් පිළිබඳ සිදුවීම ද ඔහු පසු කලෙක තළු මරමින් කීවේය. මෙම කාන්තාව සමූහ දූෂණයට ලක් වී සිරගත කළ අයෙකි.

‘‘ඇය දූෂණය කිරීම ගැන මට තරහයි. ඒක එක දෙයක්“ යැයි ඩුටර්ටි පසුව කීවේය. ‘‘නමුත් ඇය හරිම ලස්සනයි. නගරාධිපතිවරයාට තමයි, මුලින්ම අවස්ථාව දෙන්න තිබුණෙ.. මොන තරම් අපරාධයක්ද?“

“I was angry because she was raped, that’s one thing, But she was so beautiful, the mayor should have been first. What a waste.”

මෙම කාන්තාව දූෂණයට ලක් වූයේ ඩුටර්ටි ඩාවායෝ නුවර පුරපතිව සිටි සමයේ ය. ඔහු උපහාසයෙන් යුතුව ඒ කීවේ, ඇය ලස්සන කාන්තාවක් වන හෙයින්, තමන්ට ‘චාන්ස්‘ එකක් නොලැබීම ගැන දුක්වන බව ය!

2017 වසරේදී ලිංගික හිංසනය පිළිබඳ ඩුටර්ටි කීවේ, ළමුන් දූෂණය වීම ට තමන් කැමති නැති නමුත්, එයට ව්‍යාතිරේඛ ඇති බව ය. විශ්ව රූ රැජින වැනි කෙනෙක් නම් දූෂණය කළාට කමක් නැතැයි ඔහු පාදඩ භාෂාවක් පාවිච්චි කරමින් කීවේය.

ඇතැම් විචාරකයෙකුට අනුව ඩුටර්ටි යනු අති බරපතළ ලෙස ‘නාරි ද්වේෂයෙන්‘ හෙවත් කාන්තාවන් පිළිකුළෙන් සහ ද්වේෂයෙන් යුතුව බලන අයෙකි. වරක් පිලිපීනය සඳහා පත්කර තිබෙන ඔස්ට්‍රේලියානු තානාපතිවරිය ඇමන්ඩා ගොර්ලි, ඩුටර්ටි ඉලක්ක කරගනිමින් ට්විටර් පණිවුඩයක් තැබුවේ, “rape and murder should never be joked about or trivialised,” ‘‘දූෂණය හෝ මිනීමැරුම් ගැන කිසිදා විහිළු කිරීම හෝ ඒවා හෑල්ලුවට ගැනීම නොකළ යුතුයි‘ යනුවෙනි. එයට ඩුටර්ටි තැබූ පිළිතුරු ට්වීටය මෙසේ ය. “This is politics,” “Stay out. Stay out Australian government. Stay out.” ‘‘මේ තමයි දේශපාලනය. ඔස්ට්‍රේලියා ආණ්ඩුව ඈතින් හිටියොත් හොඳයි!“

ඔහුගේ දියණිය තමන් ලිංගික අපයෝජනයට ලක්වූ බව පැවසූ විට ඔහු කීවේ ඊටත් වඩා විහිළු කතාවකි. නිව්යෝක් ටයිම්ස් පුවත්පත වාර්තා කරන අන්දමට ඔහු සිය දියණිය ගැන කීවේ ඇය රඟපාන්නට දක්ෂය කියා ය. (“drama queen)

නමුත් කිසිදු සංයමක් නැති, අවකැපෙන කතා කියන මේ පුද්ගලයා පිලිපීන ජනතාව අතරින් බහුතරයක් සලකන්නේ ‘ජනකාන්ත නායකයෙක්‘ ලෙස ය. කරුමයක මහත! ආසියානු රටවල වැසියෝ කොහොමටත් ‘කරා – මරා‘ ජාතියේ මිනිසුන්ට ආකර්ෂණය වෙති. මේ ප්‍රදර්ශනාත්මක පුහු ගතිය බොහෝ අය අර්ථ දක්වා ගන්නේ ‘පිරිමි කමක්‘ ලෙස ය.

ඩුටර්ටි යනු පිලිපීනය විසින් ගෙවමින් සිටින කරුමයට කියන තවත් නමකි!

පෙර ලිපි-

දෙවියන් වහන්සේ අඥානයෙක් – පිලිපීන ජනපති කියයි.

ඩුටර්ටිගේ කැත හාද්ද



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි