×

කැලෑ නීතිය රජකරන මින්ඩනාවෝ

මින්ඩනාවෝහි ඉස්ලාමීය විමුක්තිකාමීහු ත්‍රස්ත ක්‍රියාවලට යොමු වී සිටිති. මින්ඩනාවෝ.. Mindanao .. එය දකුණුදිග පිලිපීනයේ ත්‍රස්ත රජදහනයි.


දකුණුදිග පිලිපීනයේ මින්ඩනාවෝ Mindanao පළාත දුප්පත්ය. එහි නීතිය වල් වැදී තිබේ. දශක ගණනාවක් මුළුල්ලේ එහි රහස් ලෙස රජ කරන්නේ භීෂණයයි.

ගිනි අවිවලින් කරන මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීම් හා මංකොල්ලකෑම් මින්ඩනාවෝහි වැසියන්ට අලුත් අත්දැකීම් නොවේ. ඔවුන්ගේ මෙම ක්‍රියාවල අරමුණ කුමක්ද? ඉස්ලාමික සමූහාණ්ඩුවක්පිහිටුවීමද? අවි ගැටුමක් හෝ බෝම්බ පිපිරීමක් වාර්තා නොවන දින හතක් එහි වැසියන්ට ගෙවීමට හැකියාව ලැබේ නම් එය පුදුමයකි. සාමාන්‍යයෙන් මෙහි අණසක පතුරුවාගෙන සිටින මෝරෝ ඉස්ලාමීය විමුක්ති සංවිධානය (MILF) හිස ඔසවන හැම විටමකම, ප්‍රදේශවාසීන් හතළිස් දහසකටවත් සිය ගම්බිම් අතහැර පළා යාමට සිදු වේ.

රාජ්‍ය ආරක්ෂක අංශ විසින් කොතරම් ප්‍රති ප්‍රහාර එල්ල කළත් මෝරෝ ඉස්ලාමීය විමුක්ති සන්ධානයේ සාමාජිකයන් ලෙහෙසියෙන් පසු බසින්නේ නැත. ඉතා ගැඹුරින් කරුණු විග්‍රහ කිරීමේදී මොවුන් හා ගිනිකොනදිග ආසියාවේ ත්‍රස්තවාදීන් අතර සම්බන්ධයක් සොයාගැනීම අපහසු නොවේ.

බාලි බෝම්බ සිද්ධියෙන්ද හෙළිදරව් වන පරිදි මොවුන් හා ජෙමාහ් ඉස්ලාමීය (JI) ත්‍රස්තවාදීන් සමගත් අල්-කයිඩාවට සම්බන්ධ අනෙකුත් ත්‍රස්තවාදීන් සමගත් සම්බන්ධයක් තිබේය යන්න සැකයක් පමණක් නොවේ. නිල ආරංචි මාර්ගවලින් පැවසුණේ පෙබරවාරි මැද සතියේ ඇති වූ තත්ත්වයත් සමග ‘පෙන්ටගන්’ නමැති ව්‍යාජ නාමයෙන් හැඳින්වෙන කොල්ලකාර කණ්ඩායමක්ද මොරෝවරුන් අතරම සිටිනා බවයි. මේ අතර ඉන්දුනීසියානු සහ මලයාසියානු ඉල්ලාමික් භටයින් MILF හි වනගත කඳවුරුවලට සංක්‍රමණය වෙමින් හමුදාවල උකුසු ඇසෙන් බේරෙන බවද වාර්තා වෙයි. විශේෂයෙන්ම පසුගිය මාස තුන ඇතුළත මෙම තත්ත්වය බෙහෙවින් ව්‍යාප්ත වී තිබේ. මොවුන් අතරින් බොහෝ දෙනෙකුගේ ගමන් අවසානය ඇත්තේ JI කඳවුරක වීමට ද පුළුවන. මෙම විශේෂිත JI කඳවුරු මෙහෙයවනු ලබන්නේ සායිෆුල්ලාහ් ‘මක්ලිස්’ යූනෝස් විසිනි. පිලිපීනයට වඩාත්ම අවශ්‍ය කර ඇති ත්‍රස්තවාදියා ද මොහුය. “JI සංවිධානය සැකයකින් තොරවම මින්ඩනාවෝ හි ක්‍රියාත්මක වෙනවා…’’ බටහිර බුද්ධිමය ඒජන්සියක නියෝජිතයෙකු පවසයි. “මෙම පළාතේ මෙවැනි සිදුවීම් සිදුවීමේ රහස එයයි.’’

මින්ඩනාවෝ පළාතේ සිදුවන ත්‍රස්ත ක්‍රියා ඉන්දුනීසියාවේ මෙන්ම මලයාසියාවේ අද ආරක්ෂක අංශ සීරුවෙන් තැබීමට සමත් වී තිබේ. මෙම රටවල් දෙකෙහිම සමුද්‍රාසන්න දේශ සීමා කලාපයේ මින්ඩනාවෝ පිහිටා තිබේ. පසුගිය දිනවල දී මලයාසියානු පොලිසිය බෝර්නියෝ දූපතේ පිහිටි සන්ඩකෑම් නගරයේ දී ත්‍රස්තවාදී සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්තේය. ඔවුන් අත්අඩංගුවට ගනිද්දී සිටියේ අලුත බඳවා ගත් JI භටයින් මින්ඩනාවෝ කරා ප්‍රවාහනය කිරීමට සැරසෙමිනි. මේ අතර ඉන්දුනීසියානු පොලිසිය පවසන්නේ දකුණු සුලාවෙසි පළාතේ මකාස්සාර් හි මැක්ඩොනල්ඩ් අවන්හලක පිටවීමේ දොරටුවේ සිදුවූ දෙසැම්බර් 5 බෝම්බ සිද්ධියට වගකිවයුතු ත්‍රස්තවාදීන් ද මින්ඩනාවෝ හි පුහුණුව ලද අයයි. මේ දිනවල පර්යේෂකයන් තම අවධානය යොමු කර ඇත්තේ බාලි බෝම්බ සිද්ධියත් මින්ඩනාවෝත් අතර සම්බන්ධතාවක් තිබෙන්නේ ද යන්න තහවුරු කරගැනීමටය. “බාලි බෝම්බකරුවන් තම ප්‍රහාරයට අවශ්‍ය ආයුධ සපයාගෙන තිබෙන්නේ මින්ඩනාවෝවලින්’’ පර්යේෂක කණ්ඩායමේ එක් සාමාජිකයෙක් පවසයි. බාලි සිද්ධියට යොදාගත් ඇතැම් අවි ආයුධ MILF වලට සම්බන්ධිත බව ද දැන් හෙළි වී තිබේ. “JI සංවිධානය මලයාසියාව සහ සිංගප්පූරුව භාවිත කරන්නේ තම ත්‍රස්ත කටයුතුවලට අවශ්‍ය මුදල් උපයන්නට. ඔවුන් තමන්ගේ පුහුණු කටයුතු කරන්නෙ පිලිපීන දූපත්වල.. සියලු අත්හදා බැලීම් කරන්නේ ඉන්දුනීසියාව තුළ…’’ තත්ත්වයේ බැරෑරුම් බව පහදන්නට තවත් අටුකා ටීකා අවශ්‍ය වන්නේ නැත.

ඉන්දුනීසියානු, මලයාසියානු පමණක් නොව අරාබි ත්‍රස්තවාදීන් පවා මින්ඩනාවෝවල සැඟවී ආරක්ෂාව ලබනා වගක් පෙනෙන්නට තිබේ. උදාහරණයක් වශයෙන් 1990 දශකයේ අගභාගයේ මැනිලා නුවර දී මින්ඩනාවෝ බෝම්බ පිපිරීම් මාලාවට වගකිව යුතු යැයි සැකපිට අත්අඩංගුවට ගත් ත්‍රස්තවාදීන් දෙදෙනා වූ අගුස් ඩවිකර්නා සහ ෆාතුර් රෝහ්මාන් අල් – ඝෝසි ද ආරක්ෂාව පතා සැඟව සිටියේ මින්ඩනාවෝවලය.

MILF නිතරම විදේශීය සටන්වාදීන් සඳහා පුහුණු පහසුකම් ලබාදීමට උත්සුක වෙයි. එහෙත් ඇෆ්ගනිස්ථානයේ සෝවියට් හමුදා සටන් වැදී සිටින කල, මෙම සන්ධානයේ සංග්‍රහශීලී බව, ආගන්තුක සත්කාරශීලී බව බටහිර විරෝධී ජිහාඩ්වරුන් සම්බන්ධයෙන් තව තවත් කුළුගැන්විණි. 2000 වර්ෂයේ පිලිපීනයේ මිලිටරි හමුදාව MILF හි ප්‍රභවයන් රාශියක් වෙතම තම වැටලීම් සිදු කළේය. එම වැටලීම්වලට MILF හි විශාලතම පුහුණු කඳවුරු දෙක වන අබුබකාර් සහ බුෂ්රා ද අයත් විය. මෙම කඳවුරු දෙකෙන් විදේශීය ත්‍රස්තවාදීන්ට පවා රැකවරණය සැපයෙයි. එහෙත් මලයාසියාවේ, ඉන්දුනීසියාවේ හා සිංගප්පූරුවේ සිදු කෙරෙන ත්‍රස්ත ක්‍රියාවලින් 9/11කටම වගකිවයුත්තන් තවමත් සිටින්නේ මින්ඩනාවෝවලය. එකී කඳවුරුවල සිට මින්ඩනාවෝවලට එතරම් දුරක් නැත. ඒවා පිහිටා ඇත්තේ එකිනෙකට ඉතා සමීපයෙනි. මින්ඩනාවෝහි වෙරළ තීරය හඳුන්වා දිය හැක්කේ පොලිස් ආරක්ෂාවෙන් තොර කලාපයක් ලෙසටය. “මේවා ඔවුන්ට නැවුම් කුඩා බෝට්ටුවලින් හොර රහසේම පැමිණෙනවා. රහසිගත ලෙසට රට අභ්‍යන්තරයට ගමන් කරනවා.’’

මින්ඩනාවෝ සිට ක්‍රියාත්මක වන ත්‍රස්තවාදී කල්ලි මෙසේය.

මෝරෝ ජාතික විමුක්ති සන්ධානය (MNLF in Mindanao)

Moro National Liberation Front| AWESOMEADRIEHL Wiki – Fandom

රටෙහි විශාලතම මුස්ලිම් ගරිල්ලා සංවිධාන අතරින් එකකි. ඔවුන්ගේ අරමුණ දකුණුදිග පිලිපීනයේ මින්ඩනාවෝ පළාත්වාසීන්ට ස්වාධීන පාලනයක් උරුම කරදීමයි. මෙය 1996 වර්ෂයේ දී රජය සමග සාම ගිවිසුමකට අත්සන් තැබීය. එම ගිවිසුමේ ස්වාධීනත්වය වෙනුවට යොදා තිබුණේ ‘නිදහස් බව’යන්නයි.

මෝරෝ ඉස්ලාමීය විමුක්ති සන්ධානය (MIF in Mindanao)

COTABATO, PHILIPPINES: A member of the Moro Islamic Liberation Front (MIF) demonstrates the use of a sniper rifle during a press conference, 04 June 2005 at Camp Darapanan, on the southern Philippine island of Mindanao. The show of force was intended to strengthen the Muslim separatist group in their peace negotiations with the Philippine government to settle their almost three-decade long war for a separate state in the southern Philippines. AFP PHOTO / MARK NAVALES (Photo credit should read MARK NAVALES/AFP/Getty Images)

මෙය මෝරෝ ජාතික විමුක්ති සංවිධානයෙන් කැඩී ගිය කොටසකි. මෙම සන්ධානය, රජය සමග මැදිහත් ආකාරයට ක්‍රියා කිරීමට ද යම් ආකාරයක නැඹුරුවක් දක්වයි. ඒ නිසාමදෝ මෙම පක්ෂයේ වඩාත් රැඩිකල් සාමාජිකයෝ ගිනිකොනදිග ආසියානු සහ අල්-කයිඩාවට සම්බන්ධ ත්‍රස්ත ජාල සමග සම්බන්ධතා ඇති කර ගැනීමට උත්සුක වෙති.

අබු සයේෆ් (Abu Sayef)

THE PHILIPPINES MATRIX PROJECT

වතාවක් අල්-කයිඩාවේම කොටසක් ලෙසට සිටි මුස්ලිම් අන්තවාදී කණ්ඩායමකි. එහි ක්‍රියාකාරකම් බොහෝ විට දේශීය හා විදේශීය වශයෙන් පැහැර ගැනීම් සිදුකර වන්දි මුදල් ඉල්ලා සිටීමට සීමා වෙයි. නමුත් ප්‍රචණ්ඩ ලෙස ත්‍රස්තවාදයේ නිරත වන අවස්ථා ද දැකගත නොහැකිවා නොවේ.

පෙන්ටගන්

MILF සංවිධානයෙන් කැඩී ගිය කොටසකි. එනම් MILFට ද්‍රෝහි වූවන්ගෙන් සමන්විත කණ්ඩායමකි. මොවුන් ප්‍රසිද්ධ වී සිටින්නේ මධ්‍යම මින්ඩනාවෝ ප්‍රදේශයේ සිදු කරන කුලියට මිනීමැරුම් සහ වන්දි පිණිස පැහැර ගැනීම් සඳහාය.

නව ජනතා හමුදාව

පිලිපීනයේ කොමියුනිස්ට් පක්ෂයට අනුබද්ධිත යැයි කියාගන්නා සන්නද්ධ කොටසකි. මෙම ගත වූ දශක කිහිපය ඇතුළත ඔවුන් විසින් මරා දමා ඇති මිනිසුන්ගේ සංඛ්‍යාව හතළිස් දහස ඉක්මවයි.

මින්ඩනාවෝ යළිත් වතාවක් විදේශ ත්‍රස්තවාදී කණ්ඩායම්වලට මෙතරම් සංග්‍රහශීලී වී ඇත්තේ, මෙතරම් සත්කාරශීලී වී ඇත්තේ ඇයි? පිළිතුර නම් එයට හේතුව පිලිපීන රජය කොටස්වලට බෙදී MILF සාමාජිකයන්ව කොටු කර ගැනීමට උත්සාහ කිරීමයි. පිලිපීන ආරක්ෂක ලේකම් ඇන්ජිලෝ රේයිස් ද හමුදාව මෙන්ම අපේක්ෂා කරන්නේ හමුදාමය, යුද්ධමය විසඳුමකි. එහෙත් ඒ අතරම MILF සංවිධානය සමග යම් ගිවිසුමකට එළඹීමටද මධ්‍යම රජය සැලසුම් සකසයි. පිලිපීන දූපත්වල රඳවා පුහුණු කරන ඇමරිකානු එක්සත් හමුදා බලඇණි තුන්සියය ද වොෂින්ටන් හිතකාමී මෙම තීරණය ගැනීමට මධ්‍යම රජයට බලපෑම් කළ බවට සැක නැත. මේ අතර පිලිපීන ජනාධිපති ග්ලෝරියා මැක්කැපගාල් අර්රෝයෝ MILF සන්ධානය, ත්‍රස්ත සංවිධානයක් ලෙස හංවඩු ගැනීම අනුමත නොකරයි. තවද එම සන්ධානය සමූල ඝාතනය කිරීම වැනි බරපතල ක්‍රියා මාර්ගයකට ඔහු කෙදිනකවත් නොපෙළඹෙනු ඇත. කාලයකට ඉහත දී MILF හි ද මව් සංවිධානය වූ මෝරෝ ජාතික විමුක්ති සන්ධානය සමග පැවැත්වූ සාකච්ඡා පිළිබඳව සිතීමේ දී ඉදිරියට ද එවැනි සාකච්ඡා මාර්ගවලට ඔවුන් එළඹෙතැයි අනුමාන කිරීමට පුළුවන. කෙසේ නමුත් නායකත්වය සාකච්ඡා මාර්ගයට පෙළඹෙන ප්‍රමාණයටම, අවශේෂ සාමාජිකයෝ නායකත්වය හෙළ දකිති. එවිට සිදුවන්නේ ඔවුන් තව තවත් රැඩිකල් ක්‍රියාමාර්ගවලට නැඹුරු වීමයි. “තරුණ සාමාජිකයන් මන්දගාමී සාකච්ඡාවලට අකැමැතියි’’ එසේ පවසන්නේ ජනාධිපති උපදේශක නෝර්බර්ටෝ ගොන්සාලේස්ය. “මම ඇෆ්ගන් පුහුණුව ලැබූ තරුණ ගරිල්ලන් MILF හි නායකත්වය ලබාදෙන වියපත් හා දූරදර්ශී අණ පිළිගන්නට කැමැති නැහැ. මෙවැනි පිරිස දැනට සිටින්නේ ඉතා සුළු ප්‍රමාණයකින්. නමුත් ඔවුන් ඉක්මනින්ම වර්ධනය වෙනවා…’’

ගොන්සාලේස්ට සහ පිලිපීනයේ බුද්ධිමය ආරංචි මාර්ගවලට අනුව නායකත්වය ලබාදෙන අණ ද නොපිළිගන්නා, වඩාත් රැඩිකල් MILF ගරිල්ලන් පිරිසක් ඇතිවීමට හේතුව, පිලිපීනයට වඩාත්ම අවශ්‍ය කරන සිටින ත්‍රස්තවාදියා වන මක්ලිස්ය. පකිස්ථානයේ දී ඉස්ලාම් නීතිය හැදෑරු මෙම තරුණ ත්‍රස්තවාදිය, මධ්‍යම මින්ඩනාවෝහි වාසය කළ, කලින් ඉස්ලාම් ආගමික ගුරුවරයෙකි. 1933 වසරේදී ඔහු හා අල්-ගෝසි ඇෆ්ගනිස්ථාන් දේශ සීමාව තරණය කළේ පුපුරණ ද්‍රව්‍ය සහ ත්‍රස්තවාදී පහරදීම් පිළිබඳ විශේෂඥ දැනුම තමන් සතු කර ගන්නටය. නැවත මින්ඩනාවෝවලට පැමිණි ඔහු බෂ්රා කඳවුරේදී MILF හි විශේෂ ක්‍රියාන්විත කණ්ඩායමේ නායකත්වය ඉසිලීය. එහෙත් සැම විටම MILF වලට මුවා වී රැකවරණය ලැබුවත් ඔහු සත්‍ය වශයෙන්ම ප්‍රධාන JI සාමාජිකයෙකි. 2000 වසරේ දෙසැම්බර් 30 දා මැනිලා නුවර ඇති වූ බෝම්බ සිද්ධි පසුපස සිටි ප්‍රධාන බලවේගය ද මුක්ලිස් බව සැක කරයි. තවද පිලිපීන බුද්ධිමය ආරංචි මාර්ග පවසන ආකාරයට 2002 ඔක්තෝබරයේ දී සිදුවූ බස් බෝම්බ සිද්ධිය පසුපස සිටින්නේද ඔහුය. “මින්ඩනාවෝවලට ඉන්දුනීසියානු සබඳකම් තිබෙනවා නම් එයට වගකිව යුතු වන්නේ මෙම ත්‍රස්ත කණ්ඩායමයි…’’ ගොන්සාලේස් පවසයි.

“ඔවුන්ගේ නායකයා මක්ලිස්… අපට මේ මිනිසාව අල්ලා ගැනීමට ලැබුණොත් මෙම ත්‍රස්ත කණ්ඩායමම සුණුවිසුණු කර දැමිය හැකියි.’’

බොහෝ හමුදා වාර්තාවලින් කියැවෙන්නේ වළාකුළුවලින් වැසී ගිය කඳු ශිඛර, ශීතල ලැනැවෝ විල් ජලය ආදියෙන් පොහොසත් මධ්‍යම වින්ඩනාවෝ ප්‍රදේශයේ මක්ලිස් සැඟ වී කල් ගෙවන බවකි. “මෙම ප්‍රදේශය වැටලීම ඉතාම… ඉතාම අසීරු කටයුත්තක්…’’ මරාවි ප්‍රදේශය මූලික කොටගෙන ක්‍රියාත්මක වන හමුදා කණ්ඩායම් අණදෙන නිලධාරි කොමදෝරු අර්ෆස්ටෝ බොවැක් ප්‍රකාශ කරයි. “අපිට මේ ප්‍රදේශයේදී රේඩියෝ පණිවුඩ හුවමාරු කරගන්නත් බැහැ… මුක්ලිස් ආරක්ෂාව පතා සැඟවී ඇත්තේ කළු කුහරයක් තුළ…’’

Mindanao: a Safe Places for terrorists? | Love Mindanao

මුක්ලිස් පමණක් නොව ගිනිකොණදිග ආසියාවේ සියලු ත්‍රස්ත ජාල ක්‍රියාත්මක වන්නේ ‘කළු කුහර‘වල සිට යැයි ත්‍රස්ත ක්‍රියා දෙස බැලීමේ දී අපට සිතේ.

පිලිපීන ජනපති ඩුටර්ටිගේ අවධානය ද මින්ඩනාවෝ වෙත තදින්ම යොමු වී ඇතත්, මනුෂ්‍ය ඝාතනයන් හැර ත්‍රස්ත උවදුර මැඬලීම සඳහා ඔහු තුළ සාධනීය වැඩපිළිවෙළක් සඳහා අවශ්‍යතාවයක් ද මෙතෙක් දැකගන්නට ලැබී නැත.

පෙර ලිපි‍:

දෙවියන් වහන්සේ අඥානයෙක් – පිලිපීන ජනපති කියයි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි