×

පුතුගේ හදවත් සැත්කම වෙනුවෙන් ඔලිම්පික් පදක්කම වෙන්දේසි කළ අම්මා

 අස්ථි පිළිකාවකින් පීඩා විඳ තිබියදීත් මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී හෙල්ල විසිකර රිදී පදක්කමක් දිනාගත්තී ඇයයි.


25 හැවිරිදි ඇගේ නම මරියා ඇන්ඩ්‍රෙස්කික් ය.

නමුත් සිය මාස අටක බිළිඳි පුතාට බරපතළ හෘද සැත්කමක් කරන්නට ඇමරිකාවට යාමට සිදුව ඇති බව දැනගත් විට, අවසාන විකල්පය වශයෙන් ඇය ඒ මාහැඟි රිදී පදක්කම වෙන්දේසි කරන්නට තීරණය කළාය. එනිසා මව්රට වන පෝලන්තයේ ‘සබ්කා‘ නමැති වෙළඳ ජාලයට රිදී පදක්කම භාර දුන්නාය.

පුතුගේ ඉරණම ගැන දැනගත් මොහොතේ පටන් ඇගේ පවුලේ අය Facebook ද ඇතුළු නොයෙක් මාර්ගවලින් අරමුදල් එක්රැස් කිරීමට වෙහෙසුණහ. නමුත් ඇමරිකාවේ කැලිෆෝනියා ජනපදයේ ස්ටැන්ෆෝර්ඩ් රෝහලේදී හෘද සැත්කමක් කිරීමට අවශ්‍ය වන්නේ සුළුපටු මුදලක් නොවේ. ස්ලොටි මිලියන එකහමාරක් හෙවත් පවුම් ලක්ෂ 3 කට ආසන්න මුදලක් ඒ සඳහා උවමනා ය. ඔවුන්ට රැස් කර ගැනීමට හැකි ව තිබුණේ ඒ මුදලින් හරි අඩක් පමණි.

මරියාට 2016 රියෝ ඔලිම්පික් උළෙලේදී පදක්කම අහිමි වූයේ සෙන්ටිමීටර දෙකකිනි. 2017 වසරේ සියලු තරග අහිමි වූයේ උරහිස තුවාළ වීම නිසා ය. 2018 වසරේදී තරග බිම දෙස බලන්නටවත් ඇයට නොහැකි වුණේ අස්ථි පිළිකාවක් වැළඳී ඇති බව සොයාගත් නිසා ය. මේ වසරේ ඇය තෝකියෝව බලා ආවේ ඒ සියලු කඩුළු සුණු විසුණු කර දමන දුරකට ආත්ම ශක්තියේ හෙල්ලය විසි කරමිනි.

‘‘මම රිදී පදක්කම වෙන්දේසි කරන්න හිත හදාගන්න වැඩි වෙලා ගත්තෙ නෑ..‘‘ යැයි මරියා කියන්නීය.

ඔව්. අම්මා කියන්නේ එහෙම කෙනෙකුට ය.

වෙන්දේසියෙන් ඇයට පවුම් 125,000 ක් ලැබිණි. සම්පූර්ණ මුදල දැන්, පුතුගේ ජීවිතය බේරාගන්නට සෑහේ.

මේ අතර, ඇගේ පදක්කම වෙන්දේසියෙන් හිමි කර ගත් පෝලන්තයේ සබ්කා සුපිරි වෙළඳසැල් ජාලය, හදවතක් ඇති සමාගමක් සේ හැසිරුණේය. ඔවුන් කළේ, වෙන්දේසිය දිනාගැනීමෙන් පසුව, එම මුදල් මරියාට සහ ඇගේ පවුලේ අයට පරිත්‍යාගයක් ලෙස ලබාදෙන්නට ය.

එනිසා, වීසි කළ හෙල්ලය ආපසු පැමිණ හදවතේ ඇමිණෙන වේදනාව ඔන්න මෙන්න තිබියදී ඇය දැන් සිය පුතු සහ රිදී පදක්කම යන දෙකම තුරුළු කරගෙන සිටින්නීය.

මේ ලෝකයට ඇවැසි වන්නේ මෙවැනි අම්මලා ය, හදවත් ඇති සමාගම් ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි