×

ටජ්මහල ගියොත්, ආයෙ එන්නෙ නෑ! – ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් බලධාරීන්ට මතක හිටින පාඩමක්!

ටජ්මහල සංරක්ෂණය කර ගැනීම සඳහා දෙවැනි අවස්ථාවක් නැවත කිසිදා නොලැබන බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (28) බලධාරීන්ට පැවසුවේය. ඒ අනුව ඉන්දීය අධිකරණය අවධාරණය කළේ වායු දූෂණය සහ හරිත වැස්ම අහිමි වීම පිළිබඳ වහාම පියවර ගන්නා ලෙසයි.


මේ අනුව ටජ්මහල (Taj Mahal) පිහිටා තිබෙන අග්‍රා නගරය උරුම නගරයක් (heritage city) බවට පත් කිරීමට ඉන්දීය අධිකරණය යෝජනා කරයි. අහ්මදාබාද් වරාය නගරය සුරක්ෂා කර ගැනීම ට හැකිවුණේ මේ ක්‍රමය මගින් බව ද එහිදී  ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දුන්නේය.

ඒ අනුව 17 වන සියවසේ බිහි වූ මෝගල් සලකුණ වන ටජ්මහල රැක ගැනීම සඳහා ටජ් ට්‍රැපෙසියම් කලාපය (Taj Trapezium Zone (TTZ)) වටා බිහිව තිබෙන කර්මාන්ත සහ ඒවායින් සිදුවන දූෂණය පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් එය පෙන්වා දුන්නේය.

“If Taj Mahal goes once, you will not get a second chance,” ‘‘ටජ්මහල නැති වුණොත්, ඔබට දෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ“ යන මේ ඓතිහාසික ප්‍රකාශය ඊයේ සිදුකරන ලද්දේ ඉන්දීය විනිසුරු එම්බී ලොකූර් විසිනි. ඔහු එය පවසන ලද්දේ සංරක්ෂණය පිළිබඳ විශේෂඥවරියක වන මීනක්ෂි දෝත් වෙත ය. ඇය පැමිණ සිටියේ සැලසුම් සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පාසලෙනි. උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත ආණ්ඩුවේ නියමය පරිදි ඇගේ මූලිකත්වයෙන් යුත් කණ්ඩායම විසින් මේ වන විට ටජ්මහල සුරැකීම සඳහා කෙටුම්පත් දැක්මක් (draft vision) පිළියෙළ කරමින් සිටියි.

එහිදී විනිසුරුවරිය මීනක්ෂි අමතා අවධාරණයෙන් කළ ප්‍රකාශ පහත පරිදි ය.

‘‘ඔබ අවසන් ලේඛනය විශ්වාසයෙන් යුතුව පිළියෙළ කළ යුතුයි. එය මසක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කළ යුතුයි.“

‘‘රජයේ නිලධාරීන්ගෙන් ප්‍රමාණවත් සහායක් නොලැබෙන බව හැඟී ගියහොත් ඕනෑම සහයෝගයක් ලබාගැනීම සඳහා අධිකරණයට පැමිණීමට ඔබට පුළුවන්!‘‘

මෙවිට රජයේ නිලධාරීන්ගේ ලෝකයේ කොහෙත් දැකිය හැකි මන්දගාමී ස්වරූපය එළිදක්වමින් උත්තර් ප්‍රදේශ් හි අතිරේක නීතිපතිනි අයිශ්වර්යා භාති පැවසුවේ ප්‍රාන්ත රජයට මධ්‍යම රජය වෙත අදාළ ව්‍යාපෘති යෝජනාව ඉදිරිපත් කිරීමට අවම වශයෙන් මාස 2 ක කාලයක් අවශ්‍ය බව ය.

මෙවිට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දීපක් ගුප්තා (Justice Deepak Gupta) අපූරු ප්‍රශ්නයක් ඇගෙන් ඇසුවේය. එනම්, අග්‍රාවේ උරුමය වන ටජ්මහල සුරැකීම සඳහා මධ්‍යම රජයට යෝජනා කරන්නට මෙතරම් කාලයක් ගත්තේ මන්ද යන්නයි. එය පුදුම දෙයක් යැයි ද ඔහු පැවසුවේය.

‘‘අහ්මදාබාද් නුවර පසුගියා යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කළා. ඒ ටැග් එක අග්‍රාවට ලබාගැනීමට තිබෙන ගැටළුව මොකක්ද? අහ්මදාබාද් නගරය නූතන නගරයක්. අග්‍රාවට ඒ ප්‍රශ්නයත් නැහැනෙ..“ යැයි ඔහු සිය විරෝධය පළ කරමින් පැවසුවේය.

මේ අතර අතිරේක සොලිසිටර් ජනරාල් ඒ.එස්. නද්කාර්නි අධිකරණයට දැනුම් දුන්නේ මධ්‍යම රජය මෙයට තුන් දිනකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත රජයට මේ ගැන ලියා දන්වා ඇති අතර, පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින බවයි. සැලසුම සෑදිය යුත්තේ මධ්‍යම රජයේ උපදෙස් සමග බව ද ඔහු පැවසුවේය.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිරණය සිය අධිකරණය කෘත්‍යයේ ගුණාත්මය අතින් කවදත් ලෝකයේ ඉදිරියෙන් සිටින්නකි. විශේෂයෙන්ම ලංකාව වැනි රටවල්වලට ඉන්දියානු අධිකරණ භාවිතාවේ අසලකින්වත් යා නොහැක. මහජන අර්ථ සිද්ධි නඩුකර පිළිබඳ ඉන්දීය අධිකරණ සම්ප්‍රදාය තුළින් මේ බව මොනවට පැහැදිලි වේ. ඔවුන් බොහෝ විට සලකන්නේ පොදු යහපත හෙවත් මහජන අර්ථ සිද්ධිය මිස බලධාරීන්ගේ-නිලධාරීන්ගේ නිදහසට කාරණා නොවේ.

මේ නිසා බලධාරීන් කී නිදහසට කාරණාවලින් පලක් වුණේ නැත. සැප්තැම්බර් 25 වනදාට පෙර ටජ්මහල සුරැකීමේ වැඩපිළිවෙළ පිළිබඳ වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලෙස අවසානයේ දැනුම් දීම සිදුවිය.

‘‘ආණ්ඩුව විසඳුම් ඉදිරිපත් කරන්නෙ නැතිනම්, අධිකරණයෙන් උපදෙස් ලබාගන්න..“ යැයි අවසාන වශයෙන් ද විනිසුරු ලොකූර්, සංරක්ෂණ විශේෂඥවරිය අමතා පැවසුවේය.

2017 වසරේදී අහමදාබාද් නගරය ඉන්දියාවේ පළමු යුනෙස්කෝ ලෝක උරුමය බවට පත්විය. ඒ අනුව එය පැරිස්, වියානා, රෝමය, එඩින්බර්ග් සහ බ්‍රසල්ස් යන ලෝක උරුම නගර සමග විශේෂ සංරක්ෂණ සහ ආරක්ෂණ වැඩපිළිවෙළේ ප්‍රතිලාභ ලබයි. ඉන්දියාව කී සැණින් ප්‍රේමයේ සදාකාලික සංකේතය වන ටජ්මහල ලෝකයේ කොයි කාගේත් සිතට නැගුණත් ඉන්දීය දේශපාලකයන්ට නම් එය රැක ගැනීමට මෙතෙක් කිසිදු උනන්දුවක් තිබුණේ නැත. එය එසේ වූවා නම් ඉන්දියාවේ පළමු යුනෙස්කෝ ලෝක උරුම නගරය බවට පත්විය යුතුව තිබුණේ ටජ්මහල පිහිටා තිබෙන අග්‍රා නගරයයි. ටජ්මහල ඒ අවට ඇති කර්මාන්ත කලාපය නිසා හටගත් අධික වායු දූෂණයෙන් දුර්වර්ණ වෙමින් යන බව ඉන්දියාවේ පරිසර සංවිධාන කොතරම් පෙන්වා දුන්නත් බලධාරීන් මෙතෙක් සිටියේ නෑසූ කනෙනි.

අවසානයේ ඉන්දීය අධිකරණය, ඒ යුතුකම ඉටුකරන්නට ඉදිරියට පැමිණියේ රාජ්‍යය අසමත් වන තැන, අධිකරණයට තිබිය යුතු පිට කොන්ද ගැන ඉඟියක් ලබා දෙමිනි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි